මොකක්ද මේ GSP+ – 03 කොටස

Syndicated from samabima,

“මොකක්ද මේ GSP+?” යන ලිපි මාලාවේ පසුගිය කොටස් වලින් අපි GSP+ සහනය සම්බන්ධයෙන් වූ මූලික කාරණා පිළිබඳව අවධානය යොමු කරනු ලැබුවා. ඒ යටතේ පසුගිය කොටස් දෙකෙන් GSP+ සහනය ලැබෙන රටවල්, එම සහනයේ වැදගත්කම සහ GSP+ සහනය ලබා ගැනීමේදී අවධානය යොමු කරනු ලබන මූලික කොන්දේසි පිළිබඳව ඔබ වෙත ගෙන එනු ලැබුවා. මෙවර කලාපයෙන් මෙවැනි සංකල්පයක් ඇතිවූයේ කෙසේද යන්න නැතහොත් GSP සහනයේ ඉතිහාසය පිළිබඳව සමබිම පාඨක ඔබව දැනුවත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා

ඔබ විසින් මෙම ලිපි මාලාවේ තුන්වැනි කොටස කියවන අවස්ථාව වනවිටත් යුරෝපා GSP+සහනය ශ්‍රී ලංකාවට නැවත පිරිනමන්න යුරෝපා සංගමය තීරණය කර අවසන්. මෙරට අපනයනකරුවන්ට GSP+ සහනය යළි ලබාදීම සම්බන්ධයෙන් රජය විසින් නිකුත් කරන ගැසට් නිවේදනය ඉදිරි සතියේදී නිකුත්වීමට නියමිත බවත් සඳහන්.

GSP වැනි ආර්ථික වරප්‍රසාද ක්‍රමයක් ලෝකයට අවශ්‍යයි කියන සංවාදය මුලින්ම ජාත්‍යන්තර තලය තුළ මතුවුනේ 1960 දශකයේදී පමණයි. මේ කාලය තුළ ලෝකයේ දියුණුයැයි සම්මත රටවල් වෙත භාණ්ඩ අපනයනය සම්බන්ධයෙන් යම්කිසි රටවල් ප්‍රමාණයකට ඒකාධිකාරයක් හිමිව තිබූ යුගයක්. මේ ඒකාධිකාරී තත්ත්වයට හේතුවුනේ එවකට පැවති දියුණු රටවල් තමන්ගේ රටවලට භාණ්ඩ ගෙන්වීමේදී ඒ වෙනුවෙන් නිශ්චිතව තෝරාගත් රටවල් කිහිපයක් සමඟ පමණක් ගනුදෙනු කිරීමයි. උදාහරණයක් විදියට මහා බ්‍රිතානයට තමන්ගේ රට තුළට යම් භාණ්ඩ ප්‍රභේදයක් ආනයනය කරවීමට අවශ්‍යයි නම් ඔවුන් ඒ අවස්ථාවේදී හැරෙන්නේ ජාත්‍යන්තර දේශපාලන තලයේදී තමන්ට සහයෝගීව හැසිරෙන රටක් දිහාවට. ඒ භාණ්ඩයම ඒ ගුණාත්මකබවින්ම යුතුව ඊට වඩා අඩු පිරිවැයකට සපයන්නට වෙනත් රටකට හැකියාවක් තිබුණත් ඒ සඳහා අවස්ථාවක් හිමිවෙන්නේ නැහැ.

මේ විදියට දියුණු රටවල් විසින් අපනයන ක්‍රියාවලිය සඳහා තෝරාගෙන සිටි නිශ්චිත රටවල් කිහිපය ඒ කාලයේ හැඳින්වුනේ Most Favorable Nations හෙවත් MFN නමින්. MFN ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීමට මූලිකම පදනම සැපයුනේ දියුණු රටවල් තම තමන් අතර ගෝලීය සහ ආර්ථික ක්‍රියාකාරීත්වය නියාමනය කිරීම සඳහා පිහිටුවාගෙන තිබුණු General Agreement on Tariffs and Trade (GATT) නම් ආයතනයේ ප්‍රඥප්තීන් නිසාවෙන්. වර්තමානය වනවිට ලෝක වෙළෙඳ සංගමය හෙවත් World Trade Organization නමින් හැඳින්වෙන මෙම ආයතනයේ ප්‍රඥප්තීන් විසින් දියුණු රටවල් භාණ්ඩ ආනයනය කිරීමේදී අවධානය යොමුවිය යුතු නිශ්චිත රටවල් ප්‍රමාණයක් නිර්වචනය කර තිබීම තමයි ඵත්‍භ ප්‍රතිපත්තිය බිහිවීමට හේතුව වුනේ.

අපනයන සම්බන්ධයෙන් තෝරාගත් රටවල් කිහිපයක් සමඟ පමණක් ගනුදෙනු කිරීමේ දියුණු රටවල ප්‍රතිපත්තිය වෙනස් කරන ලෙස සංවර්ධනය වෙමින් පැවති රටවල් වෙතින් ඉල්ලීම් ඉදිරිපත්වීම ඇරඹුනේ 1960 දශකයේ අග භාගයේදීයි. දියුණු වෙමින් පැවති රටවල මේ ඉල්ලීමට පළමුවෙන්ම ලැබෙන්නේ සංකල්පීය පිළිතුරක්. මේ පිළිතුර එක්සත් ජාතීන්ගේ වෙළෙඳ සහ සංවර්ධන සමුළුවේදී හෙවත් United Nation’s Conference on Trade and Development හිදී ඇතිවූ සංවාදයක ප්‍රතිඵලයක්. 1964 වර්ෂයේ මෙම සමුළුවේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ ආර්ජන්ටීනියානු ජාතික ආර්ථික විද්‍යාඥයෙකු වන රාවුල් ප්‍රේබිස්ක් ඉදිරිපත් කරන වාර්තාවකින් දියුණු වෙමින් පවතින රටවල ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් ගතයුතු පියවර ගණනාවක් අවධාරණය කෙරෙනවා. මේ අතරින් එක් සංකල්පයක් තමයි දියුණු වෙමින් පවතින රටවල් විසින් සංවර්ධනය වෙමින් පවතින රටවල අපනයන සඳහා කොන්දේසිවලට යටත්ව බදු නිදහසක් ලබාදිය යුතුයි යන්න. මේ සංකල්පය එයිනුත් වසර 04 කට පසුව, එනම් 1968 දී නව දිල්ලි නුවරදි රැස්වන එක්සත් ජාතීන්ගේ වෙළෙඳ සහ සංවර්ධන සමුළුවේදී සංවර්ධිත රටවල පොදු පිළිගැනීමට ලක්වෙනවා.

සංවර්ධන සමුළුවේදී ගෙන ආ මෙම විසඳුම ක්‍රියාත්මක කිරීම සිදුකරන්නේ මුලින් සඳහන් කළ GATT ආයතනය විසිනුයි. ඔවුන් ඒ සඳහා තමන්ගේ ප්‍රඥප්තීන් සංශෝධනය කරමින් දියුණු වෙමින් පවතින රටවල අපනයන සඳහා විශේෂ බදු සහන සැලසීමේ අවස්ථාව තමන්ගේ සාමාජික සංවර්ධනය වුණු රටවලට ලබාදෙනවා. ඒ මුලින් සඳහන් කළ එක්සත් ජාතීන්ගේ වෙළෙඳ සහ සංවර්ධන සමුළුවේ නව දිල්ලි සම්මන්ත්‍රණයෙන් වසර 03 කට පසුව, එනම් 1971 වර්ෂයේදී. GATT ආයතනය මේ ප්‍රතිපත්තිමය වෙනසත් සමඟ ලෝකයේ දියුණු රටවල් ගණනාවක් තමන්ගේ මූල්‍ය සහ බදු ක්‍රම ඇතුළට සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා බදු සහන සැලසීමේ ප්‍රතිපත්ති ගෙන එනවා. මේ ලිපි මාලාවෙන් අපි අවධානය යොමු කරන යුරෝපා සංගමයත් ඇතුළත්ව ජපානය, නෝර්වේ, ස්විස්ටර්ලන්තය සහ නවසීලන්තය වැනි රටවල් 1971 සහ 1972 වර්ෂවල මේ බදු සහන ක්‍රමය තමන්ගේ මූල්‍ය ප්‍රතිපත්ති තුළට භාවිතයට ගන්නවා. ඇමරිකා එක්සත් ජනපදය 1974 වර්ෂයේදී ඨීඡ ක්‍රමය ක්‍රියාත්මක කරද්දි රුසියානු ෆෙඩරල් සමූහාණ්ඩුව 1992 දී තමන්ගේ මූල්‍ය ක්‍රමය තුළත් ඨීඡ ක්‍රමය ආරම්භ කරනවා. මේ ලැයිස්තුවට මෑතකදී එක්වූ රටක් වශයෙන් 2002 වර්ෂයේදී ඨීඡ ක්‍රමය ආරම්භ කළ අයිස්ලන්තය සඳහන් කළ හැකියි.

තවත් කොටසක් මීළඟ සමබිම කලාපයෙන් බලාපොරොත්තුවන්න.


මෙම ලිපි මාලාවේ පලමු කොටස මෙතනින් කියවිය හැක

මෙම ලිපි මාලාවේ දෙවන කොටස මෙතනින් කියවිය හැක 

ප්‍රගීත් ලියනාරච්චි

Comments