මොකක්ද මේ GSP+? (පලමු කොටස )

Syndicated from samabima,

මෙම වසරේ (2017) ජනවාරි 11 වන දා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරන යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකය සහ එහි අනාගතය සම්බන්ධයෙන් අතිශය වැදගත් වන කාරණයක් ඒ තුළ සඳහන් කරනු ලබයි. නිවේදනය ආරම්භයේදීම යුරෝපා සංගමය සඳහන් කරන පහත ඡේදය මේ ලිපියට ආරම්භයක් සපයමින් ලිපියේ අන්තර්ගතය සම්බන්ධයෙන් දළ අදහසක් පාඨක ඔබ වෙත ලබා දේවි.

“මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, පාරිසරික සුරක්ෂිතතාවය, සහ යහ පාලනය සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර සම්මුතීන් 27ක් දේශීයව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මෑත කාලීනව දක්වන ලද කැපවීම සහ ප්‍රගතිය සැලකිල්ලට ගත් යුරෝපා කොමිසම ශ්‍රී ලංකාව විසින් යුරෝපා වෙළඳපොළ වෙත අපනයනය කරන භාණ්ඩ සම්බන්ධයෙන් පනවා ඇති පවතින තීරු බදු ඉවත් කළ යුතුයැයි යුරෝපා සංගමය වෙත අද දින යෝජනා කරන ලදී. මෙකී බදු සහනය ලබා දීම හරහා ඇඟළුම් සහ මත්ස්‍ය නිෂ්පාදන ඇතුළු පුළුල් පරාසයක භාණ්ඩ විශාල සංඛ්‍යාවක් සම්බන්ධයෙන් දැනට පවතින 66% ක පමණ අගයකින් යුත් බදු මුළුමනින්ම ඉවත්කිරීමට අපේක්ෂිතය. අදාළ බදු සහනය දැනටමත් ක්‍රියාත්මක ඨීඡූ වශයෙන් හැඳින්වෙන බදු සහන ක්‍රමය යටතේ පිරිනැමෙනු ඇත.”

ඉහතින් සඳහන් කළ මාධ්‍ය නිවේදනය GSP+ වශයෙන් හැඳින්වෙන, ඇතැමෙකු දන්නා, තවත් අය නොදන්නා සහ බොහෝ දෙනෙක් වැරදි සහගත ලෙස අර්ථකථනය කරන ආර්ථිකමය ප්‍රතිලාභයක් වන අතර එය ශ්‍රී ලංකාවට නැවත ලබාදීමට යුරෝපා සංගමය විසින් දක්වන ලද කැමැත්ත හෙළි කරන්නකි. GSP+ සහ ඒ ආශ්‍රිතව බැඳුණු සමාජ-දේශපාලනමය කාරණා සම්බන්ධයෙන් දැවැන්ත සංවාදයක් රට තුළ අවුළුවන්නට යුරෝපා සංගමයේ මේ මාධ්‍ය නිවේදනය හේතු විය. එවැනි සංවාදයක් ඇතිවීම මේ මොහොතේ රට තුළ සිදුවිය යුත්තකි. නමුත් ඇතිව තිබෙන සංවාදය ඵලදායක එකක්ද? ධනාත්මක එකක්ද? යුරෝපා සංගමයේ ඉහත තීරණය රටට වඩාත් වාසිවන ආකාරයේ තීරණයක් බවට පත්කිරීමේ හැකියාවකින් යුක්ත සංවාදයක්ද? කියන ප්‍රශ්න සම්බන්ධයෙන් තිබෙන්නේ එතරම් සුබවාදී නොවන පිළිතුරුයි. ඒ අනුව, ඉහත සංවාදය තුළ තිබෙන දුර්මත ඉවත් කර, සත්‍ය නමුත් නිසි ලෙස ඉදිරිපත්ව නොමැති අදහස් වඩාත් ශක්තිමත් කර මේ සංවාදය පුළුල් කිරීමේ අපේක්ෂාවෙන් ලිපිය ලියැවේ.

GSP+ හෙවත් Generalized Scheme of Preferences යනුවෙන් හැඳින්වෙන්නේ බදු සහන ක්‍රමයකි. සිංහල භාෂාවෙන් මෙයට යෙදිය හැකි පිළිගත් නම වන්නේ ‘වෙළඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමය’ යන්නයි. මේ බදු සහනය සංවර්ධනය වෙමින් පවතින හෝ ඌන සංවර්ධිත රටවලට ඔවුන් නිෂ්පාදනය කරන භාණ්ඩ ලෝකයේ දියුණු යැයි සම්මත රටවල් වෙත අපනයනය කිරීමේදී හිමි වන්නකි.

මෙහිදී අපි අවධානය කළ යුතු මූලිකම ප්‍රශ්නය වන්නේ මෙවැනි බදු සහනයක් යම් රටක අපනයනවලට වැදගත් වෙන්නේ ඇයි යන කාරණයයි. මෙයට පිළිතුරු සෙවීමට ඔබට ආර්ථික විද්‍යාව පිළිබඳ අතිශය පුළුල් දැනුමක් තිබීම අවශ්‍ය නොවේ. යම් භාණ්ඩ නිෂ්පාදනයක් වෙළඳපොළකට එක් කිරීමේදී ඒ භාණ්ඩයේ නිෂ්පාදකයන්ට අදාළ භාණ්ඩය වෙනුවෙන් බදු මුදලක් ගෙවීමට සිදුවීම අතිශය සාමාන්‍ය සහ පැරණි මූල්‍ය සංසිද්ධියකි. බොහෝවිට සිදුවෙන්නේ අදාළ භාණ්ඩය නිෂ්පාදනය කිරීමට වැයවන මුදල හෙවත් පිරිවැය සහ ඉහත කී අමතර බදු ගෙවීමට යන වියදම යන දෙකෙහි එකතුවට නිෂ්පාදකයා විසින් අදාළ භාණ්ඩයෙන් ලබාගැනීමට අපේක්ෂා කරන ලාභය එකතු කිරීමෙන් භාණ්ඩයේ අවසාන මිල තීරණය කිරීමයි. රජය යම් භාණ්ඩයකින් තමන් අයකරන බදු මුදල වැඩි කළ සැණින් එහි නිෂ්පාදකයන් සිදු කරන්නේ ඒ වැඩිවන මුදල පාරිභෝගිකයාගෙන් අය කෙරෙන ලෙස භාණ්ඩයේ වෙළඳපොළ මිල වැඩි කිරීමයි.

එක් රටකින් තවත් රටක වෙළඳපොළකට භාණ්ඩ අපනයනය කිරීමේදීත් ඉහත සඳහන් ආකාරයටම එකී දෙවැනි රටේ රජයට තීරු බදු වශයෙන් බදු ගෙවීමට මුල් රටේ නිෂ්පාදකයාට සිදු වේ. නමුත් ඉන් අනතුරුව තත්ත්වය වෙනස් වේ. අපනයන වෙළඳපොළ දරන රටේ රජයට තීරු බදු ගෙව්වා වුණත් ඒ බදු වියදම පාරිභෝගියන්ගෙන් අය කරගනිමින් භාණ්ඩයේ අවසාන මිල වැඩි කරන්න එතැනදී නිෂ්පාදකයාට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. හේතුව මේ වෙළඳපොළ බොහෝ සෙයින් නියාමනය වන අතිශය තරගකාරී වෙළඳපොළක් වීමයි. ඒ වෙළඳපොළ තුළ භාණ්ඩයේ අවසාන මිල තීරණය වන්නේ අදාළ වෙළඳපොළ නියාමනය සම්බන්ධයෙන් පිහිටුවා තිබෙන අධිකාරී ආයතන අතිනි. අනෙක් අතට අධික තරඟකාරීත්වය නිසාවෙන්ම ලාභ ශ්‍රමය ආදිය යොදාගනිමින් අඩු පිරිවැයකින් නිපදවන භාණ්ඩ අඩු මිලක් යටතේ මේ වෙළඳපොළට එක් කරන්න බොහෝ රටවල් උත්සාහ කරමින් සිටී. ඒ නිසා භාණ්ඩයේ අවසාන මිල යම් විදියකින් හෝ වැඩිකිරීම පාරිභෝගිකයන් අහිමි කරගැනීමකින් අවසන් වන්නට තිබෙන ඉඩකඩ බොහෝ සෙයින් වැඩිය.

මෙවැනි තත්ත්වයක් තුළයි දියුණු රටවල් සංවර්ධනය වෙමින් පවතින රටවල අපනයන භාණ්ඩ සඳහා තීරු බදු සහන පිරිනමන්නේ. ඒ ඒ රටවල් මේ සහන භාවිත කර තමන්ගේ අපනයන ආදායම වැඩිකරගන්නටත් රටේ ආර්ථික අභිවෘද්ධිය ඇතිකරගන්නටත් කටයුතු කරාවියැයි මේ දියුණු රටවල් එතැනදී බලාපොරොත්තු වේ.

GSP හෙවත් වෙළඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමයේ ආරම්භය, එහි ස්වභාවය සහ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එහි තත්ත්වය සම්බන්ධයෙන් මේ ලිපිය තුළ විස්තර කිරීමට බලාපොරොත්තු වේ. මේ ලිපිය මෙවැනි තවත් ලිපි කිහිපයකින් පසුව අවසන් කිරීමට බලාපොරොත්තුවන ලිපි මාලාවක පළමු කොටසයි. ඒනිසා ආරම්භයේදීම නිශ්චිත කාරණා 04 ක් සංක්ෂිප්තව සඳහන් කර තිබීම පාඨක ඔබේ අවබෝධයට වඩාත් පහසු විය හැකිය.

මේ අතරින් පළමුවැනිම කාරණය GSP ආර්ථික සහනය යනු ලෝකයේ දියුණු රටවල් ගණනාවක් වෙන් වෙන්ව ඌන සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවලට පිරිනමන ආර්ථික ප්‍රතිලාභයක්ය යන්නයි. නිදසුනක් ලෙස එක්සත් ජනපදය, ඔස්ට්‍රිෙලියාව, සහ රුසියානු සමූහාණ්ඩුව වගේ රවටල් පවා යම් යම් රටවලට ඨීඡ ප්‍රතිලාභ ලබා දෙනු ලබයි. ශ්‍රී ලංකාව ගත්විට එය මේ මොහොතේත් ඇමරිකානු GSP ක්‍රමයේ ප්‍රතිලාභියෙකි. මෙම රටවල් GSP සහනය ලබාදීමට අදාළව තමන්ගේම විශේෂිත ප්‍රතිපත්ති පවත්වාගෙන යති. ඒසේම එහිදී ලබාදෙන ප්‍රතිලාභවල ස්වභාවයත් රටින් රටට වෙනස් වේ.


ප්‍රගීත් ලියනාරච්චි

Comments