Skip to main content
Syndicated from samabima,
මේ වසරේ ජනවාරි 11 වන දා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරන යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකය සහ එහි අනාගතය සම්බන්ධයෙන් අතිශය වැදගත්වන කාරණයක් ඒ තුළ සඳහන් කරනවා. නිවේදනය ආරම්භයේදීම යුරෝපා සංගමය සඳහන් කරන පහත ඡේදය මේ ලිපියට ආරම්භයක් සපයමින් ලිපියේ අන්තර්ගතය සම්බන්ධයෙන් දළ අදහසක් පාඨක ඔබ වෙත ලබාදේවි.
“මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, පාරිසරික සුරක්ෂිතතාවය, සහ යහපාලනය සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර සම්මුතීන් 27 ක් දේශීයව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මෑත කාලීනව දක්වන ලද කැපවීම සහ ප්‍රගතිය සැලකිල්ලට ගත් යුරෝපා කොමිසම ශ්‍රී ලංකාව විසින් යුරෝපා වෙළඳපොළ වෙත අපනයනය කරන භාණ්ඩ සම්බන්ධයෙන් පනවා ඇති පවතින තීරු බදු ඉවත් කළ යුතුයැයි යුරෝපා සංගමය වෙත අද දින යෝජනා කරන ලදී. මෙකී බදු සහනය ලබාදීම හරහා ඇඟළුම් සහ මත්ස්‍ය නිෂ්පාදන ඇතුළු පුළුල් පරාසයක භාණ්ඩ විශාල සංඛ්‍යාවක් සම්බන්ධයෙන් දැනට පවතින 66% ක පමණ අගයකින් යුත් බදු මුළුමනින්ම ඉවත්කිරීමට අපේක්ෂිතය. අදාළ බදු සහනය දැනටමත් ක්‍රියාත්මක GSP+ වශයෙන් හැඳින්වෙන බදු සහන ක්‍රමය යටතේ පිරිනැමෙනු ඇත.”
ඉහතින් සඳහන් කළ මාධ්‍ය නිවේදනය GSP+ වශයෙන් හැඳින්වෙන ඇතැමෙකු දන්නා, තවත් අය නොදන්නා සහ බොහෝ දෙනෙක් වැරදි සහගත ලෙස අර්ථකථනය කරන ආර්ථිකමය ප්‍රතිලාභයක් ශ්‍රී ලංකාවට නැවත ලබාදීමට යුරෝපා සංගමය විසින් මේ වනවිට දක්වන කැමැත්ත හෙළි කරන්නක්. GSP+ සහ ඒ ආශ්‍රිතව බැඳුණු සමාජ-දේශපාලනමය කාරණා සම්බන්ධයෙන් දැවැන්ත සංවාදයක් රට තුළ අවුළුවන්නට යුරෝපා සංගමයේ මේ මාධ්‍ය නිවේදනය හේතුවුණා. එවැනි සංවාදයක් ඇතිවීම මේ මොහොතේ රට තුළ සිදුවිය යුත්තක්. නමුත් ඇතිව තිබෙන සංවාදය ඵලදායක එකක්ද? ධනාත්මක එකක්ද? එය යුරෝපා සංගමයේ ඉහත තීරණය රටට වඩාත් වාසිවන ආකාරයේ තීරණයක් බවට පත්කිරීමේ හැකියාවකින් යුක්ත සංවාදයක්ද? කියන ප්‍රශ්න සම්බන්ධයෙන් තිබෙන්නේ එතරම් සුබවාදී නොවන පිළිතුරු. ඒ අනුව, ඉහත සංවාදය තුළ තිබෙන දුර්මත ඉවත් කර, සත්‍ය නමුත් නිසි ලෙස ඉදිරිපත්ව නොමැති අදහස් වඩාත් ශක්තිමත් කර මේ සංවාදය පුළුල්කිරීමේ අපේක්ෂාවෙන් ලියනු ලබන ලිපි මාලාවේ දෙවෙනි කොටසයි මේ.
පසුගිය ලිපියෙන් පසු අපි සම්බන්ධ වෙන්නේ ඉහත සඳහන් කළ කාරණා අතරින් දෙවැන්නට. මේ ලිපි පෙළින් අවධානය යොමු කරන්නේත් රටේ මේ මොහොතේ ඇතිව තිබෙන සංවාදයේ කේන්ද්‍රය වෙන්නෙත් යුරෝපා සංගමය විසින් ලබාදෙන GSP සහනයයි. යුරෝපා සංගමය විසින් මේ වනවිට යුරෝපා වෙළඳපොළ වෙත භාණ්ඩ අපනයනය කරන රටවල් 80 කට අධික සංඛ්‍යාවකට මේ බදු සහනය ලබා දෙනවා. ඒ හිමිවන්නේ යුරෝපා සංගමය විසින් වරින් වර තීරණය කර ඇති භාණ්ඩ 7200 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් පමණයි. යුරෝපා සංගමයේ GSP සහනය සෙසු ඕනෑම රටක් විසින් ලබාදෙන GSP ප්‍රතිලාභයකට වඩා වෙනස් බව ඔබ මතක තබා ගත යුතුයි. ශ්‍රී ලංකාවේ අපනයනවලට ලෝකයේ තිබෙන සුවිශාලතම වෙළඳපොළ යුරෝපා සංගම් වෙළඳපොළයි. යුරෝපයේ රටවල් 27 ක සාමාජිකත්වයෙන් නිර්මාණය වන මේ වෙළඳපොළ තුළ අපේ භාණ්ඩවලට ඉන්න ගැනුම්කරුවන් සංඛ්‍යාව මිලියන 510 කට අධිකයි. 2015 වර්ෂය තුළ පමණක් GSP + ආර්ථික සහනය නොමැතිව පවා ශ්‍රී ලංකාව යුරෝපා වෙළඳපොළ වෙතින් ලද අපනයන ආදායම යුරෝ බිලියන 2.6 ක් තරම් සුවිශාල අගයක්.
තුන්වැනි කාරණය GSP සහ GSP+ වශයෙන් වරින්වර සඳහන් වෙන්නේ කාරණා දෙකක්. කාරණා දෙකක් වශයෙන් හඳුන්වනවාට වඩා මේ දෙක යුරෝපා සංගමය විසින් ලබාදෙන ඉහත කී ආර්ථික ප්‍රතිලාභයේ වර්ග තුනක් අතරින් මූලිකම වර්ග දෙක වශයෙන් හැඳින්වීමයි වඩාත් නිවැරදි වෙන්නේ. GSP සහ GSP+ සහන හිමිවෙන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවලට. GSP ප්‍රතිලාභය ලබන යම්කිසි රටකට යුරෝපා වෙළඳපොළ වෙත භාණ්ඩ අපනයනය කිරීමේදී නිශ්චිත බදු අඩු කිරීමක් හිමිවෙනවා. GSP+ සහනය එතැනිනුත් පියවර කිහිපයක් ඉදිරියට ගිය අවස්ථාවක්. ඒ අනුව GSP+ ලබන රටකට කිසිදු බදු ගෙවීමකින් තොරව තමන්ගේ භාණ්ඩ යුරෝපා වෙළඳපොළ වෙත අපනයනය කිරීමේ අවස්ථාව හිමිවෙනවා. ඒ අනුව ආර්ථික ප්‍රතිලාභ සහ ආර්ථික අභිවෘද්ධිය වැනි කාරණා සම්බන්ධයෙන් කල්පනා කළොත් GSP+ සහනය අතිශය ඉහළ වැදගත්කමක් දරනවා. GSP සහ GSP+ කියන ආර්ථික ප්‍රතිලාභ ලැබීමට යම්කිසි රටක් අපේක්ෂා කරනවා නම් ඒ රට සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන් පැවැතීම අත්‍යවශ්‍ය මූලික කොන්දේසියක්. ඒ බව මේ ලිපියේ මීට ඉහතදීත් සඳහන් කළා. නමුත්, යම්කිසි රටක් GSP+ සහනය ලබාගන්න අපේක්ෂා කරනවා නම් ඒ රට සංවර්ධනය වෙමින් පවතින රටක් වීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒ රට එක්සත් ජාතීන්ගේ සංගමය විසින් සම්මත කර තිබෙන ජාත්‍යන්තර සම්මුතීන් 27 ක් තමන්ගේ රට තුළ බලාත්මක කර ඒවා ක්‍රියාත්මක කිරීමට තමන් කැපවීමක් දක්වන බව යුරෝපා සංගමයට පෙන්වා සිටිය යුතුයි.
හතරවැනි කාරණය GSP+ සහනය සහ ශ්‍රී ලංකාව අතර තිබෙන සම්බන්ධයයි. මේ සම්බන්ධය ඇති වුණේ, වර්ධනය වුණේ සහ අද පවතින තත්ත්වයට පැමිණියේ කුමන කාල වකවානුවලද යන වග වටහා ගැනීම GSP+ සහනය සම්බන්ධයෙන් වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ ඇදී යන සංවාදය නිවැරදිව තේරුම් ගැනීම සම්බන්ධයෙන් අත්‍යවශ්‍යයි. යුරෝපා සංගමය GSP ක්‍රමය ආරම්භ කරන්නේ 1970 දශකයේ. එයිනුත් දශක 03 කට පමණ පසු 2005 වර්ෂයේදී තමයි යුරෝපා සංගමය තවත් පියවරක් ඉදිරියට යමින් GSP + ක්‍රමය ආරම්භ කරන්නේ. ශ්‍රී ලංකාව GSP +සහනය හිමිකර ගන්නේ 2005 ජූලි 05 වෙනිදායි. ඒ අනුව ශ්‍රී ලංකාව GSP+ සහනයේ ආරම්භක ප්‍රතිලාභියෙක්. 2009 වර්ෂය අගභාගය වෙද්දී GSP+ සහනය දිගටම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැක්වූ කැපවීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය ප්‍රශ්න කරන්නට පටන්ගෙන තිබුණා. මේ ගැටලුකාරී තත්ත්වය මතු වුණේ කලින් සඳහන් කළ ජාත්‍යන්තර සම්මුතීන් 27 දේශීය වශයෙන් නිසි පරිදි ක්‍රියාත්මක කරන්නට එවකට ශ්‍රී ලංකා රජය එතරම් උනන්දුවක් නොදැක්වූ බව යුරෝපා සංගමය විසින් කල්පනා කරන්නට පටන් ගැනීමෙන් පසුවයි. ඒ අනුව 2010 වර්ෂයේ අගෝස්තු 15 වන දා යුරෝපා සංගමය තීරණය කරනවා ශ්‍රී ලංකාවට එතෙක් හිමිව තිබූ GSP+ අහෝසි කරන්නට. එවකට ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා රජය මේ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය වුණේ කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීමයි. GSP + සහනය යළි ලබාගැනීම සම්බන්ධයෙන් ඔවුන් කිසිදු උනන්දුවක් දක්වන්නේ නැහැ. නමුත් 2015 ජනාධිපතිවරණයෙන් පසුව බලයට පැමිණෙන රජය මේ සම්බන්ධයෙන් යුරෝපා සංගමය සමඟ යළිත් සාකච්ඡා ආරම්භ කරන්නට තීරණය කරනවා. ඒ තීරණයේ ප්‍රතිඵලයක් විදියට රජය 2016 වසරේ ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට GSP + නැවත ලබා දෙන ලෙස නිල වශයෙන් වන ඉල්ලීම ශ්‍රී ලංකා රජය වෙතින් යුරෝපා සංගමය වෙත යොමු කෙරෙනවා.
ප්‍රගීත් ලියනාරච්චි
Comments
Post a Comment