සහරාන්ගේ V8 පදින ගෝඨාභයගේ ආණ්ඩුව පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුකරයිද? රජයේ බුද්ධි අංශ සහරාන්ලාගේ කරේ බෝම්බ එල්ලූ හැටි..! -පාස්කු ප්‍රහාරයට වසර 3 ක් පිරීම නිමිත්තෙන් රසල් හේවාවසම් ලියයි

 Syndicated from lankaenews,



පාස්කු ඉරිදා සමූහ ඝාතන ප්‍රහාරයට අදට (21 ට) තෙවසරකි. මේ ප්‍රහාර වලින් තුන්සියයකට ආසන්න පිරිසකගේ ජීවිත අහිමි විය.  500 දෙනෙක්  පමන සදාකාලිකවම ආබාධිත වූහ.

එදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ අපරාධයේ මහමොලකරු මාස දෙකකින් සොයන බවට පොරොන්දු වූවත් මෙතෙක් අලුතෙන් සොයා ගත් දෙයක් නැත.  

එහෙත් මහජන ආරක්ෂාව බාරව සිටි ඇමති සරත් වීරසේකරලා අන්තවාදී සහරාන් භාවිතා කළ V8 සුඛෝපබෝගී ජීප් රථය පදින්නේය. ඒ අතර මෙම සමූලඝාතන අපරාධය පිලිබඳව විමර්ශනය කළ අපරාධ පරීක්ෂන නිලධාරීන්ගෙන් නොයෙක් ආකාරයේ පලිගැනීම් සිදුකර ස්ථාන මාරුකිරීම් සහ වැඩතහනම් කළේය.

කමල් ගුණේගේ සහ පොලිස්පතිගේ ගජබින්න..

ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න සහ  මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා  ඉකුත් අප්‍රේල් 12 දින කඩිමුඩියේ  හදිසි මාධ්‍ය හමුවක් පැවත්වූහ. මේ මාධ්‍ය හමුව කැඳවුයේ #Gotagohome මහජන විරෝධතා  හේතුවෙන් රට අරාජික වී තිබෙද්දී ය. මාධ්‍ය හමුවක් කැඳෙව්ව ද කියන්නට අලුත් දෙයක් ඔවුන් සතුව තිබුනේ නැත. ඒ මන්ද මේ සමූහඝාතන  විමර්ශන සම්බන්ධයෙන් මේ දක්වා  දශමයකින් හෝ  ප්‍රගතියක් අත්කරගෙන  නොතිබීමයි. එසේ තිබියදීත් ආරක්ෂක ලේකම් කමල්ගුණරත්න සහ පොලිස්පති වික්‍රමරත්න කිසිම හිරිකිතයකින් තොරව මාධ්‍ය ඉදිරියේ ගජබින්න ජාතකය රඟපෑවේය.  ඔවුන් එසේකළේ පවතින මහජන උද්ඝෝෂන සහ  විරෝධතා සඳහා පාස්කු වින්දිතයන්ද එකතු වේයැයි වූ බිය හේතුවෙන් විය හැකිය. (දැන් එය ඔවුන් සිතූ ලෙසම සිදුවෙමින් තිබේ.)

උත්තරදීමට පහසු  ප්‍රශ්න ඇසීමට මාධ්‍ය නියෝජනය කරන ආධුනික එහෙයියන් කිහිපදෙනෙකු යොදවා  ප්‍රහාරය පසුපස වත්මන් ජනාධිපති ගෝඨාභය නැතැයි කීමට ඔවුන් යලිත් වතාවක් විලිසංගයක් නැතිව දැගලුවේය. තවද කාදිනල් හිමිපානන් තර්ජනයෙන් බිය ගැන්වීමට ද ඔවුහු  මේ අවස්ථාව පාවිච්චි කළහ. පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන්  එතුමාගේ ප්‍රකාශ පිලිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් ඉදිරියේදී විමර්ශන ආරම්භකරන බව ඒ අනතුරු ඇඟවීමයි. එසේම එම සමූහඝාතනයේ  මහාමොළකාරයා සහරාන් සහ දැනට අත්අඩංගුවේ සිටින නවුෆර් මවුලවි යයි ඔව්හු යළිත් කියා සිටියහ. ඔවුන් එසේ කිව්වේ නව්ෆර් මව්ලවි මහා මොළකරු නොවන බව හිටපු නීතිපති දප්පුල ලිවේරා ප්‍රකාශ කර තිබියදී ය. එසේ නම් දප්පුල ලිවේරා බොරු කිව්වා ද?, එසේනම් ඔහුට විරුද්ධව නීත්‍යනුකුලව ක්‍රියා කරනවා ද? කියා සරත් වීරසේකරලා කිව්වේ නැත. “උඹලාට සමහර දෙනෙක්ව සමහර කාලෙට ගොනාට අන්දන්න පුළුවන්. ඒත් උඹලාට හැමදාම හැම කෙනෙකුවම ගොනාට අන්දන්න බෑ” කියන කියමන මේ කට්ටිය ඉගෙන ගෙන නැත. 

කට බොරු කීවද දිව බොරු නොකීවේය.. 

කෙසේ වෙතත් ඔවුන්ගේ කට බොරු  කිව්වත් දිව බොරු නොකියපු තැන් තිබුණි. නවුෆර් මවුලවි සහ සහරාන්ලාගේ අන්තවාදී මතවාදය ආරම්භ වුයේ 2009 වසරෙන් පසුව බව ඔවුන්ට අවස්ථා ගණනාවකදීම කියැවින. මේ දක්වා ආණ්ඩුවේ කිසිවෙක් මේ බව පිළිගෙන තිබුනේ නැත. 2009 LTTE පරාජය කිරීමෙන් පසුව එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහරාන්ලාට ආරක්ෂක අමාත්‍යංශයේ රහසිගත ගිණුමකින් වේතන ගෙවා නඩත්තු කිරීම, බුද්ධි අංශ සාමාජිකයන් යොදවා  ඉලක්ක ලබාදීම ආරම්භ කළේය. 2009 සිට 2019 දක්වා ගතවු දශකයක කාලය තුල එම අන්තවදීන් සංවිධානාත්මකව වර්ධනයවීම පාස්කු සමූලඝාතනය දක්වා දුරදිග ගිය ආකාරය දැන් මුළු රටම දනී. 

තෙවසරක් පුරා යුක්තිය ඉටුකිරීම වෙනුවට ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව යටතේ හාස්‍යජනක රංගන දියත්කෙරෙනි. එකී අපරාධය පිලිබදව විවිධ පැතිකඩ ඔස්සේ  ලංකා ඊ‍‍නිවුස් හුදකලාව ආරම්භකළ සටන ලොව පුරා ඇවිල අවසානයේ අතිඋතුම් ශුද්ධෝත්තම  පාප් වහන්සේගේ සවනත දක්වාම පැතිර ගියේය.

රජයේ බුද්ධි අංශ අනුදැනුම ඇතිව සහරාන්ලාට මරාගෙන මැරෙන බෝම්බ නිශ්පාදනය කර ඔවුන්ගේ කරේ එල්ලූ  හැටි...

පසුගිය කාලය පුරාම  එකී මරාගෙන මැරුනු ප්‍රහාරකයන්ට බෝම්බ ලැබුනු ආකාරය, එය යටපත් කිරීමට රාජපක්ෂ ගැති ජඩමාධ්‍ය මහජනතාව නොමග යැවු ආකාරය පිලිබදව අප පුළුල් ගවේෂණයක නිරත වුනෙමු. මේ ඒ පිලිබදව තවත්  සත්‍ය සටහනකි.

පුපරණ ද්‍රව්‍ය පිලිබද විශේෂඥයින්ගේ මතය අනුව සහරාන් ඇතුළු අන්තවාදීන් පුපුරවා හරින ලද අධිබලැති බොම්බ C4,  TNT, සහ ලංකාව තුල පලමුවරට පිපිරීමකට යොදාගනු ලැබු වැඩිම ජීවිත හානියක් සිදුකරවීමට යොදාගත් අධිබලැති  නව සංඝටක ඇතුලත් කරගෙන  නිශ්පාදනය කර තිබින. මරාගෙන මැරෙන පිපිරවීම් සඳහා යොදාගත් එම අධිබලැති බෝම්බ කිසිවක් සහරාන්ලා විසින් නිශ්පාදනය නොකරන ලද බව අපට සැක හැර පැවසිය හැකිය. 2018 වසරේ සහරාන්ගේ සහෝදරයාවු රිල්වාන් විසින් අත්හදාබැලීමට බොම්බයක්  පිපිරවීම හේතුවෙන් ඔහුට දෑතේ ඇඟිලි කිහිපයක් අහිමිවිය. තවද ශරීරයේ බොහෝ තැන්වලට බරපතල තුවාල සිදුවීමෙන් පසුව සහරාන්ලා රිල්වාන්ලා එවැනි පිපිරවීම් සදහා හෝ බෝම්බ නිශ්පාදන කටයුතුවල නිරතවීමට බරපතල බියක් හා තැතිගැන්මක් දක්වා තිබේ. කෙසේවෙතත් මෙම මරාගෙන මැරෙන ප්‍රහාරයට පෙර අප්‍රේල් 16 යතුරු පැදියක් සයින්දමදුරුහිදී පිපිරවීම සහරාන්ලා මෙහෙයවුයේ බුද්ධි අංශ කන්ඩායමේ අනුදැනුම ඇතිවය.  එම යතුරු පැදියට කුඩා පරිමානයේ බෝම්බයක් අටවා කොළඹ සිට ගාල්ල හරහා කාත්තන්කුඩියට යවා තිබෙන්නේ එම කන්ඩායමයි. එය මහා ප්‍රහාරයකට පෙර සුදානමක් ලෙස පුපුරවා ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ  පරීක්ෂන නොමග යැවීමටත්, ප්‍රහාරයෙන් පසුව සහරාන්ලා පිලිබඳව පමනක් සැක කරවීමටය. එම සිදුවීම එදිනම නිලන්නත ජයවර්ධන විසින් ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂට ද දැනුම් දී තිබේ. යතුරු පැදියේ බෝම්බ පුපුරවා හැරීම පිලිබඳව තමා දැනුවත්වු බවත් එය ගෝඨාභය රාජපක්ෂ ද  දැනගෙන සිටි බවත්  පාස්කු ප්‍රහාරයෙන් පසුදින, එනම් 2019 අප්‍රේල් 22 දින, අගමැති මහින්ද රාජපක්ෂ කොළඹ පැවත්වු මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.  එසේ ඔවුන්ට සියළුම සිදුවීම් වාර්ථාකර තිබෙන්නේ නිලන්ත ජයවර්ධන සහ ඔහුට ඉහලින් මෙහෙය වූ කන්ඩායම විසිනි.

තවද බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ වෙළඳසැලකට සහරාන්ලා ඇතුළු මරාගෙන මැරෙන කල්ලිය කැටුවගොස්  බෝම්බ ගෙනයාමට එකම වර්ගයේ බෑග් මිල දී ගැනීමත් එම සැලසුමේ  තවත් පුදුම සහගත සිදුවීමකි. සහරාන්ලා ඇතුළු කන්ඩායම එම මිලදී ගැනීම් සිදුකරන ආකාරය ඔවුනගේ සමීප දසුන් සමග රාජපක්ෂවාදී ජඩමාධ්‍ය වෙතට යොමුකර තිබෙන්නේ ද එම කන්ඩායමයි. 

මිලදී ගත් බැග් වලට දැමීමට අධිබලැති බෝම්බ ලබාදුන්නේ කවුද? 

එය ලබා දී ඇත්තේ කොළඹදීය.

සැලසුම් සහගත මහා අපරාධයක් පිලිබඳව පුර්ව සිදුවීම් වල ඇඟ ලොමු දැහැගැන්වෙන සිදුවීම් රූ ගතකොට  ජනාධිපතිවරණ  ප්‍රචාරක කටයුතුවලට වාසි සහගත ලෙස යොදාගෙන තිබුනි. තවද ඊට අදාලව ගිරිඋල්ල ප්‍රදේශයේ වෙළඳ සැලකින් මුස්ලිම් කාන්තාවන් සහ පිරිමි කිහිපදෙනෙකු සුදු රෙදි මිලදී ගන්නා ආකාරයද, එම සුදුරෙදි යොදා සිල්රෙදි මසාගෙන එවා උපයෝගී කර ගනිමින් පොහොය දිනක පන්සල් වෙත පහරදීමට සැලසුම් කර ඇති බවද  ජඩමාධ්‍ය ඔස්සේ වාර්ථා කර තිබින. 

තවද ඉන්සාෆ් අහමඩ්ලාට අයත් වැල්ලම්පිටිය තඹ කම්හලේ බෝම්බ නිශ්පාදනය කර ඇතැයි කියා ජනතාව නොමග යවා තිබින. එම කර්මාන්ත ශාලාවේ එවැන්නක් සිදු වූ බවට සමාජය කඩිනමින් විස්වාස කරන බැවින් එලෙස එම කතාව පතුරවා හැර තිබේ. මේ කිසිවක් පිලිබඳ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවීමෙන් පසුව කිසිදු විමර්ශනයක් මේ දක්වා සිදු නොකිරීමම බලවත් සැකයකි.

ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් වීමටත් ඉන් ජයගැනීමටත් පාස්කු ඉරිදා ⁣මෙම කුරිරු ප්‍රහාරය ප්‍රචාරක අවියක් ලෙස භාවිත කළ ආකාරය ගැන  වෙනමම ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකළ යුතුය.

නිව්ටන්ගේ තුන් වන නියමය..

නොයෙක්  වේෂ ගෙන සැඟවීමට තවදුරටත් අසාර්ථක උත්සාහයක නිරත වන අපරාධකාරයන්ට   දඬුවම් ලබා දීමට සුදුසුම පරිසරය දැන් ලෝක මට්ටමින්ම ගොඩනැගී තිබේ. 

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන මෙහෙයවමින් සහරාන් ඇතුළු අන්තවාදීන් ⁣යොදවා මෙම සමුහඝාතන මරාගෙන මැරෙන  ප්‍රහාරය  මෙ⁣හෙයවා ඇත්තේ එකී මහාමොලකාරයා ය. ඔහු තවමත් ජනාධිපති ගෝඨාභයගේ ආණ්ඩුවේ වරදාන සහ රැකවල් මැදය. 

මේ 21 වැනිදා පාස්කු ප්‍රහාරයට තුන් වසරක් පිරෙන විට එදා සිදුවූ පිපිරීම් සිය ගුණයක්ව රට පුරා පුපුරා යමින් තිබේ. ඒ වගේම නිව්ටන් ගේ තුන්වන නියමය, චලිතයන්ට පමණක් නොව අපරාධවලටත් සරිලන බව සහතික කරමින් පාස්කු ඉරිදා අපරාධයේ ප්‍රතිවිපාකය බලයෙන් සමානව සහ දිශාවෙන් ප්‍රතිවිරුද්ධව එහි මහමොලකරුවන් සොයා පැමිණ විත් තිබේ. 

-රසල් හේවාවසම් 



Comments