ප්‍රාදේශීය පීඩිත ජන අරගල "ගෝටාගෝහෝම්" අරගලයට වඩා දරුණු වේවි..! -ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය ආයතනයේ හිටපු සභාපති විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ ලියයි

 Syndicated from lankaenews,







ඉන්ධන මිල අසාමාන්‍ය අයුරින් ඉහළ නැංවීම, ආහාර පාන ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල නොසිතූ ලෙස ඉහළ යාම මුල් කොට රට පුරා පවතින ජන අරගල අතරට එක් වූ රඹුක්කන නගරයේ පැවති ජන අරගලයක් මුල් කොට පෙරේදා (19) අතිශය අවාසනාවන්ත සිදුවීමක් වාර්තා විය. ඒ එම විරෝධතා කරුවන්ට එල්ල කළ පොලිස් වෙඩි ප්‍රහාර වලින් එක් අයකු මිය ගෝ තවත් විස්සකටත් අධික පිරිසක් තුවාල ලැබීම ය.

ලොව බොහෝ රටවලට මෙන් ජන අරගල අපේ රටට; ජන සමාජයට නුහුරු නුපුරුදු අත්දැකීම් නොවේ. ඕනෑම සමාජයක් තුළ පවත්නා අනේක විධ මාදිලි වලට අයත් ජන අරගල දෙස දේශපාලන විද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක, සමාජ මනෝ විද්‍යාත්මක ආදී විවිධ විද්‍යා ශාස්ත්‍රීය කෝණ ඔස්සේ විශේලේෂණාත්මක ලෙස බැලීම සිදුකෙරේ. ඇතැම් විට කිසියම් සමාජ හෝ ප්‍රජා ඒකකයක්, කණ්ඩායමක් මගින් තම පැවැත්මට එරෙහි බලවේග වෙත එල්ල කරන ප්‍රතිරෝධතාවක් ලෙස දියත් කෙරෙන මෙම ජන අරගල මගින් කණ්ඩායම් ආවේග ප්‍රචණ්ඩත්වය  එළි දැක්වීමේ ද පහසු අවකාශයක් තිබේ. ඒ අනුව එම අරගල අපරාධ විද්‍යාත්මක සහ අපරාධ මනෝ විද්‍යාත්මක ලෙස විමසා බැලෙන අතර ඒවා එක් එක් ප්‍රභේද යටතේ වර්ගීකරණයට ද ලක් කෙරේ.

ජන අරගල වල පොදු ස්වභාවය නම්...

සෑම සමාජයකම දක්නට ලැබෙන ජන අරගල වල පොදු ස්වභාවය ඒවා පීඩිතයන් විසින් පීඩකයන් වෙත කණ්ඩායම් වශයෙන් එල්ල කරන චර්යාත්මක ප්‍රතිරෝධයක් වීම ය. නිර්ධන පන්ති අරගලය ආදී වශයෙන් අප හට හුරු පුරුදු වචන වලින් පැවසෙනුයේ ද ධනේෂ්වරය ලෙස හඳුන්වන ඉහළ සමාජ ස්ථරය විසින් නිර්ධන පන්තිය ලෙස හැඳින්වෙන පහළම සමාජ ස්ථරය වෙත එල්ල කරන පීඩාවට එරෙහිව පීඩිත පන්තියෙන් නැඟෙන චර්යාත්මක ප්‍රතිරෝධතාව පිළිබඳව ය. මෙම තත්වය බෞද්ධ ත්‍රිපිටකයට අයත් දීඝ නිකායේ එන චක්කවත්තී සීහනාද සූත්‍රයේ සඳහන් වනුයේ රාජ්‍ය බලය (ඉන්ද්‍ර ඛීල) බිඳ වැටීමේදී ඊට සාපේක්‍ෂව ඉහළ නැංවෙන දාස කාරකාදීන් ගේ බලය (දස්සු ඛීල) යනු යනුවෙනි.

නමුදු මෙම ප්‍රජා හෝ සමාජ ක්‍රියාකාරීත්වයන් කෙරෙහි ලොව පුරා වග කිව යුතු පාර්ශව බලන හා ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන විශේෂිත ආකාරයක් තිබේ.පවත්නා සමාජ ආර්ථික පීඩනය හමුවේ ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම් පදනම් කරගෙන සාමූහිකව ප්‍රතිචාර දක්වන කිසිවකුත් කුමන්ත්‍රණ කරුවන්, ත්‍රස්ත්‍රවාදීන් රාජ්‍යද්‍රෝහීන් හෝ කඩාකප්පල් කරුවන් සේ හැඳින්වෙන්නේ නැත. දැනටත් අප රටේ ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත රජය විසින් අවභාවිතා කරනු ලබන බවට පොදු විද්වත් හඬක් නැඟෙනුයේ එබැවිනි. නමුත්, අප රටේ පොලීසිය එවන් ජනතා විරෝධතා දෙස පාලකයන් ගේ අවශ්‍යතා මත පදනම් වන දේශපාලනමය කෝණ වලින් බලා නීතිය අවභාවිතා කිරීම බරපතල සමාජ ඛේදවාචකයකි.

අරගලයකදී මොළයේ සිදුවන්නේ ජෛව රසායනික ක්‍රියාවලියක්...

සාමාන්‍යයෙන් අපට හුරු පුරුදු සෑම ජන අරගලයක් තුළින්ම වේගවත්, හැඟීම් ආවේග සේම ඇතැම් විට ප්‍රචණ්ඩකාරීත්වයන් පවා ඉස්මතු වනු අපි දැක ඇත්තෙමු. එය මිනිස් තිරිසන් සැමට පොදු  ජෛවමය ආවේගයන් උද්දීපනය වීමෙන් හට ගන්නා ස්වාභාවික තත්වයකි. අපගේ පැවැත්ම සඳහා ඉවහල් වන ප්‍රධානතම ඉන්ද්‍රිය පද්ධතිය වන මොළය ජෛව රසායනික ක්‍රියාකාරීත්වයෙන් යුතු ය. ඇස, කණ, නාසය, දිව, සම ආදී ඉන්ද්‍රියන් මගින් අපගේ මොළයට පිවිසෙන සන්වේදීතාවන් මගින් එම ජෛව රසායනික පද්ධතිය හැසිරවේ. නිදසුනක් ලෙස ඉහත කවර හෝ ඉන්ද්‍රියන් මාධ්‍ය කොට ගනිමින් සිතට පිවිසෙන කවර හෝ නරක, නපුරු, දුක්මුසු අරමුණු ඔස්සේ අපගේ මොළය තුළින් ඇඩ්රිනලීන් කෝටිසෝල් ආදී හෝමෝනයන් නිපදවෙන අතර ඒ ඔස්සේ අපගේ සිතීම්, කතාබහ, හැසිරීම් වල අයහපත් ප්‍රචණ්ඩ හෝ දුක්බර ස්වභාවයක් ගනී. මෙතෙක් පැවැති සෑම ජන අරගලයකම සටන් පාඨ කීම් ආදියේ දී කිසියම් හැඟීම් ආවේග බහුල තර්ජනාත්මක ස්වරූපයක් උද්වහනය වන්නේ එබැවිනි.ඒ සම්බන්ධයෙන් ගැඹුරින් සිතා කටයුතු කරන ලොව දියුණු රටවල පාලකයන් රටේ ජතතාවට එම ස්වභාවික ගැඟීම් ආවේග සිත් සේ මුදා හැරීමට විවිධ අවකාශ සළසා දී තිබේ. ඒ ඔවුන් මර්දනයක කිරීම එම තත්වයන් වඩාත් වර්ධනය වීමට හේතු වන බව විද්‍යාත්මකව අනාවරණය වී ඇති බැවිනි.

ගෝල්ෆේස් අරගලය සහ ප්‍රාදේශීය අරගල වෙනස්ය..

නමුත් මෙම ජන අරගලය සහ මේ දිනවල කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන "ගෝටා ගෝ ගෝම්" මධ්‍යම පාන්තික තරුණ ජන අරගලය අතර පැහැදිලි වෙනසක් තිබේ. එම තරුණ අරගලයේ දී එසේ ආවේගාත්මක ලෙස සටන් පාඨ පවසන තරුණ පිරිස් ඒ සමඟම ගී, සින්දු ගයමින් වයමින් කෙළිදෙලන් පසුවනු දක්නට ලැබේ. කවර හෝ නිශේධනීය තත්වයක් මුල් කොට හෝ යම් මානසික ග්‍රිථිල භාවයක් (Mental relaxation ) ලබා ගත හැකි නම් ඒ තැනැත්තා ගේ මොළය තුළ ඉහත සඳහන් රඹුක්කන වැනි ප්‍රාදේශීය ජන අරගල සඳහා ඉවහල් වන දුක්මුසු, ආවේගාත්මක හෝමෝන වෙනුවට ඔපිසොඩ්, ඩොපමින්, එන්ඩොෆින්, සෙරටොනීන් වැනි සතුටු හෝමෝන  ක්‍රියාත්මක වීම නිරායාසයෙන් සිදුවෙයි. ඉහත සඳහන් දුක්මුසු ආවේගාත්මක හෝමෝන මගින් මනැසට එල්ල කරන පීඩාකාරී නිශේධනාත්මක බලපෑම් වෙනුවට මෙම සතුට දනවන හෝමෝන මගින් මනැසට අතිශය සාධනීය බලපෑම් ඇතිවන බව ඒකාන්ත සත්‍යයකි. මෙම විද්‍යාත්මක සත්‍යය දැන හෝ නොදැන මෙම මධ්‍යම පාන්තික තරුණ පිරිස තම අරගලයේ ජවය ශක්තිය වර්ධනය කර ගැනීම පිණිස එම මානසික ලිහිල් භාවය තහවුරු කර ගැනීම විශේෂත්වයකි.

නමුත් ඊට සාපේක්ෂව එදිනෙදා ජීවත් වීමට තම දරු පවුල රැක ගැනීමට කිසිදු මඟක් නොමැති කමින් තම ජීවිතාශාව පවා අතහැර මහ මඟට බැස අරගල කරන සාමාන්‍ය ජනතාව සම්බන්ධ  ජෛවමය, මනෝමය සිද්ධාන්ත ඊට බෙහෙවින්ම පරස්පර ය. එබැවින් ඔවුන් වෙඩි උණ්ඩයට බිළි කොට ඔවුන්ගේ හඬ යටපත් කිරීමට යම් පාලකයකු සිතන්නේ නම් එය ඔවුන් තමන්ගේ දේශපාලන මිනී වල සිය`තින්ම කපා ගැනීමකි.

විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ

ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය ආයතනයේ හිටපු සභාපති



Comments