රඹුක්කන පොලිස් වියරුව..! පොලිසිය ත්‍රීවීල් එකට ගිනි තැබූ හැටි; 'අහසට නොවේ මැරෙන්නම වෙඩි තියපං' නියෝග දුන් හැටි; අධිකරණයේ දී හෙළිවේ...! අජිත් රෝහණ පීච්චං වේ..!

 Syndicated from lankaenews,



කෑගල්ල රඹුක්කන ප්‍රදේශයේ 2022.04.19. දින සිදු වූ උද්ඝෝෂණය අතරතුරදී තරුණයෙකු මියයාම, පිරිසක් තුවාල ලැබීම හා දේපලට අලාභහානි කිරීම සම්බන්ධයෙන් පොලිසිය ඊයේ දින (20) බී වාර්තා දෙකක් මගින් කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය වෙත කරුණු වාර්තා කරන ලදී.

ඉන් එක් බී වාර්තාවක් මගින් දේපල හානි කිරීමට අදාලව සැකපිට වයස අවුරුදු දහ අටක පාසල් ශිෂ්‍යයෙක් ඉදිරිපත් කර පොදු දේපල පනත ඇතුලුව චෝදනා කීපයක් යටතේ කරුණු වාර්තා කර තිබුණි.

ඔහු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරාල මහතා ඉදිරිපත් වෙමින් එම තරුණයාට ඇප ලබාගැනීමට කටයුතු කළේය.

100 කට අධික නීතීඥවරු..

අදාල ගැටුම සම්බන්ධව සියලු ස්ථාන පරීක්ෂණ මහේස්ත්‍රාත්වරිය විසින් සිදුකළ අතර මීට පොලිස් නිළධාරින් හා 100 කට අධික නීතීඥවරු සහභාගි වූහ.

ස්ථාන පරීක්ෂණය රාත්‍රී හත පමණ වන තෙක් පැවැති අතර සිද්ධි මාලාවේ විවිධ අවස්ථා ඇසින් දුටුවන් කිහිප දෙනෙක් ස්ථාන පරීක්ෂණයේදී මහේස්ත්‍රාත්වරිය වෙත ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී ප්‍රකාශ ලබා දී තිබිණ.

මෙහිදී අදාළ ගැටුම සිදු වූ ස්ථානයන්හි සීසීටීවී කැමරාවන්ට අලාභහානි සිදුවී තිබූ බව මහේස්ත්‍රාත්වරියගේ නිරීක්ෂණයට ලක්ව තිබුිණි.

ස්ථාන පරීක්ෂණය සඳහා ඉල්ලීමක් කරමින් ගරු අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද බී වාර්තාවේ තිබූ දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය යටතේ වූ වරදක් කරන ලදැයි වූ චෝදනාව ( නොසැළකිලිමත් ලෙස සාවද්‍ය මනුශ්‍ය ඝාතනයක් සිදු කිරීමේ වරද (උපරිම දණ්ඩනය වසර පහක බරපතල වැඩ සහිත සිර දඩුවමකි) මහේස්ත්‍රාත්වරිය ස්ථාන පරීක්ෂණයේ යෙදී සිටින අතරවාරයේ පොලිසිය විසින් ටිපෙක්ස් කර මකා දමා ඇති ආකාරය අධිකරණයේදී නීතිඥයින් විසින් පෙන්වා දෙන ලදී. මෙසේ ටිපෙක්ස් කර තිබුනේ පොලිස්පතිවරයා විසින් නම්කළ ඊනියා ස්වාධීන පරීක්ෂණ කමිටුවේ නිලධාරියෙකු වන නීතිඥයෙකු ද වන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසිනි.

ඔන්න ඔහොමයි අද උසාවියේදී පොලීසිය ඇදගෙන නෑවේ..

මේ සම්බන්ධයෙන් සටහනක් තබව පෙරටුගානී පක්ෂයේ පුබුදු ජාගොඩ මෙසේ කියා තිබුණි.

"අධිකරණයට පොලීසිය මුලින් ඉදිරිපත් කළේ AR වාර්තාවක්. ඒ කියන්නේ සිදුවීමක් සිදු වෙලා, සැකකරුවන් නැති අවස්ථාවක දාන වාර්තාවක්. මෙතන මිනීමැරුමක් සිදුවී තිබෙන නිසා මහේස්ත්‍රාත්වරිය AR වාර්තාවක් භාර ගැනීම ප්‍රතික්ෂේප කළා. ඉන් පසුව පොලීසිය කඩිනමින් B වාර්තාවක් සකස් කර අධිකරණයට ඉදිරිපත් කළා. එහි අපරාධ නඩු විධාන සංග්‍රහයේ 298 වගන්තිය ගැන සඳහන්ව තිබුණා. ඒ වගන්තිය අදාල වෙන්නේ සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට. ඒ කියන්නේ පොලීසියම පවා මෙතන අනියම් මිනීමැරුමක් වූ බව පිලි ගන්නවා. ඒ අතර පොලිස්පතිවරයා විසින් නම්කළ ඊනියා ස්වාධීන පරීක්ෂණ කමිටුවේ නිලධාරියෙකු නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සමග අධිකරණයට පැමිණ සිටියා. ඔහු මැදිහත්වී පොලීසිය විසින් අධිකරණයට භාරදුන් වාර්තාවේ 298 වගන්තියට අදාල කොටස tipex කරලා. පසුව මේ ගැන නීතීඥයන් අධිකරණයට දැනුම් දුන්නා. එම නිලධාරියාට දැඩිව අවවාද කළ මහේස්ත්‍රාත්වරිය අධිකරණ ලේඛන මකා දමමින්, විකෘති කරමින් අධිකරණයට අපහාස කිරීම ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට දැනුම් දුන්නා. ඔන්න ඔහොමයි අද උසාවියේදී පොලීසිය ඇදගෙන නෑවේ. ඔන්න ඔහොමයි පොලීසිය පත් කරන ස්වාධීන පරීක්ෂණ කමිටු වල ස්වාධීනත්වය. අද රාත්‍රී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිකුත් කළ නිවේදනයෙන් හෙලුව වහ ගන්න උත්සාහ කළත් එය අන්තිම අසාර්ථකයි. සත්‍යය හෙලිදරව් කිරීම වෙනුවෙන් ස්වේච්ඡාවෙන් ශ්‍රමය වැගිරූ සිය ගණනක් වූ නීතීඥ කණ්ඩායමට අපේ ආදරය..! "

එහිදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මණ්ඩලයේ දැඩි අප්‍රසාදය හා විරෝධය පොලිසියේ එම ක්‍රියාව සම්බන්ධයෙන් එල්ල විය.

පොලිසිය අධිකරණයෙන් සමාව ඉල්ලයි..

අධිකරණය භාරයේ තිබූ එම බී වාර්තාව අධිකරණයේ අවසරයකින් තොරව වෙනස් කිරීම සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයෙන් සමාව අයැද සිටින ලද අතර ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට වාර්තා කර අවශ්‍ය විනය ක්‍රියා මාර්ග ගන්නා බවට පොරොන්දු විය.

එසේම මෙහිදී නීතීඥවරුන් කරුණු දක්වා සිටියේ මුලින් අධිකරණයට ඉදිරිපත් කරන ලද බී වාර්තාවක් වෙනස් කිරිමට අවශ්‍ය නම් එය කල හැක්කේ වැඩිදුර තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් පමණක් බවත් එය අපරාධ නඩුවක මූලික සිද්ධාන්තය බවත්‍ ය.

එසේම මෙම මූලික සිද්ධාන්ත හෝ නොදන්නා පොලිස් නිළධාරීන් මෙතරම් බරපතල සිද්ධියක් සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්නේදැයි යන්න තමන්ට සැක සහිත බව ප්‍රකාශ කරමින් දැනට පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායමෙන් මෙම පරීක්ෂණ ඉවත් කොට වෙනත් පොලිස් කණ්ඩායමක් වෙත මෙම පරීක්ෂණ සිදුකිරීමට නියෝග කරන ලෙස නීතීඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

වීඩියෝ පට සුරක්ෂිත කරන්න..

එසේම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් පුද්ගලික රූපවාහිනී නාලිකාවක් තම ප්‍රවෘත්ති මගින් ප්‍රචාරය වන ලද වීඩියෝ පට වල සංස්කරණය නොකරන ලද දර්ශන එම ආයතනය භාරයේ සුරක්ෂිතව තබා ගැනීමට නියෝගයක් හා එකී වීඩියෝ පට එම ජනමාධ්‍ය ආයතනය වෙත ඉදිරිපත් කරන ලද පුද්ගලයින්ගේ නම් ලැයිස්තුවක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේ නියෝගයක්ද නීතිඥවරු ඉල්ලා සිටියහ.

තවද නීතීඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ දැනටමත් අදාල සිද්ධියේදී පොලිසිය අවම බලය පාවිච්චි කර ඇති බව පිළිගෙන ඇති නිසා වෙඩි තැබීමේ නියෝගය නිකුත් කළ පොලිස් නිළධාරියා හා වෙඩි තැබීම කළ පොලිස් නිළධාරින් මරණකරු සම්බන්ධයෙන් වූ මරණ පරීක්ෂණයේ සාක්ෂිකරුවන් ලෙස ඇතුලත් කරන ලෙසයි.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නියෝජනය කරමින් ජනාධිපති නීතිඥවරුන් වන රියන්සි අර්සකුලරත්න, සරත් ජයමාන්න, උපුල් ජයසූරිය, උපාලි මොහොට්ටි හා ජ්‍යෙෂ්ඨ නීතීඥ චමින්ද අතුකෝරාල මහත්වරුන් සමග තවත් නීතිඥවරුන් සීයයකට ආසන්න සංඛ්‍යාවක් කිසිදු ගාස්තු අයකිරීමකින් තොරව පෙනී අධිකරණය ඉදිරියේ පෙනී සිටියහ.

ප්‍රදේශයේ පොලිස් ඇදිරි නීතිය පනවා දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණු අතර අධිකරණ කරයුතු රාත්‍රී 11.00 පමණ වන තෙක් පැවැත්විිණ

අදාල සිද්ධිය සම්බන්ධයෙන් වූ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි අද (21) දිනයේ ද කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ ලබා ගත්තේ ය.

පොලිස් පරීක්ෂණ ගැන සතුටු වෙන්න බෑ -මහේස්ත්‍රාත්වරිය..

එහිදී කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය සදහන් කළේ පොලිස් පරීක්ෂණ සිදුව ඇති ආකාරය පිළිබදව තමන් සතුටු නොවන බවයි.

මේ දක්වාම පොලීසිය මෙම අපරාධය සම්බන්ධයෙන් සාක්ෂි සටහන් කරගෙන ඇත්තේ පිටු දෙකක් පමණක් බව අද අධිකරණය හමුවේ අනාවරණය වුණා.

එමෙන්ම රජයේ රස පරීක්ෂකවරයා කැඳවා විමර්ශනයක් සිදුකිරීමට පොලීසිය කටයුතු කර නොමැති බවද අධිකරණයේදී අනාවරණය වූ අතර එහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ රජයේ රස පරීක්ෂකවරයා කැඳවා සිදුවීමේදී භාවිතා කළ ආයුධ පිළිබදව වාර්තාවක් ලබාගන්නා ලෙසයි.

”උඩට නෙවෙයි, මැරෙන්නම වෙඩි තියන්න” තරු දෙකේ පොලිස් කාරයෙක් කීවා..

මෙතෙක් සිදුවීමට අදාළ CCTV දර්ශන පරික්ෂා කිරීමට පොලීසිය කටයුතු කර නොමැති අතර ඒවා පරික්ෂා කිරීම සඳහා වන අධිකරණ අවසරයක් ලබාගැනීමට පොලීසිය කටයුතු කර ඇත්තේද අද දිනයේ බව මෙහිදී අනාවරණය වුණා.

නඩු විභාගයේදී අනුරාධ රාජපක්ෂ නැමැත්තෙක් සාක්ෂි ලබාදෙමින් පවසා ඇත්තේ තරු දෙකක් සහ රාජ්‍ය ලාංඡනයක සහිත නිල ඇඳුමකින් සැරසුණු උසස් පොලිස් නිලධාරියෙකු උද්ඝෝෂණය අතරතුර ”උඩට නෙවෙයි, මැරෙන්නම වෙඩි තියන්න” යනුවෙන් ප්‍රකාශ කළ බවයි.

“උඹ දඟලනවා වැඩියි. පොඩි උන් පොඩි උන් විධියට ඕනෑ”

මෙහි දී ඉතා වැදගත් සාක්කියක් දුන්නේ පොලිසිය ගිනි තැබූ ත්‍රීවීල් රථයේ රියැදුරු තරුණයා ය. 

උද්ඝෝෂණය පැවැති භූමිය නිරීක්ෂණයට කෑගල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය පැමිණි අවස්ථාවේ මෙසේ සාක්ෂි ලබා දුන්නේ AAE9774 අංක දරන ත්‍රිරෝද රථය කුලී පදනම මත ලබා ගත් දේවතා සිරිවර්ධනලාගේ ප්‍රභාත් මංජුල බණ්ඩාර විජේසූරියය.

මෙහිදී වැඩිපුර සාක්ෂි ලබා දෙමින් ඔහු මෙසේද කීය. “මේ ත්‍රීවීල් රථයේ සැබෑ අයිතිකරු ශංකර් නමැත්තෙක්. ඔහු මේ වෙද්දී විදෙස් රටක සේවය කරනවා. ඔහුගෙන් කුලී පදනම මත ලබාගෙන තමයි මම මෙම ත්‍රිරෝද රථය ධාවනය කරන්නේ. පෙරේදා දහවල් සිට ඉන්ධන ලබා ගැනීම සඳහා අප දිගු පෝලිමකට එක්ව සිටියා. රඹුක්කන ලංකා සේවා ඉන්ධන පිරවුම් පොළේ කළමනාකරු හැකි ඉක්මනින් ඉන්ධන ලබා දෙන බව පවසා සිටියා. නමුත් රාත්‍රිය වෙන තෙක් ඉන්ධන බවුසර් පැමිණියේ නැහැ. මගේ මූලිකත්වයෙන් උද්ඝෝෂණය ආරම්භ කළේ සවස 2.00ට පමණ. එම අවස්ථාවේදී උද්ඝෝෂකයන් අතරට පැමිණි රඹුක්කන පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා උද්ඝෝෂකයන් සමඟ බොහොම සුහද ලෙස කටයුතු කළා. ඔහු පවසා සිටියා අද දිනය ඇතුළත කෙසේ හෝ දිගු පෝලිමේ සිටින පිරිස් වෙත ඉන්ධන ලබා දෙන බව.

නමුත් රාත්‍රිය වන තෙක් ඉන්ධන බවුසර් පැමිණියේ නැහැ. ඒ අවස්ථාවේදී මම සහ මගේ මිතුරෙක් තමයි මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සමඟ ගනුදෙනු කළේ. රාත්‍රි 7.00 වන විටත් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පවසා සිටියේ ඇණවුම් කළ ඉන්ධන පැයකට නොඅඩු කාලයක් තුළ ඉන්ධන හල වෙත ලැබෙන බවයි. මෙම ඉන්ධන පිරවුම්හලට ඉන්ධන රැගත් බවුසර් නොපැමිණියත් ඒවා වෙනත් ඉන්ධන පිරවුම්හල් කරා ගොස් ඇති බව අපට දැනගන්නට ලැබුණා. අප කිසිවෙක් එම පිරවුම්හල් කරා නොගියේ ඒ වන විට දිනකට නොවැඩි කාලයක් රඹුක්කන ලංකා සේවා පිරවුම් හලේ රැඳී සිටි නිසා. ඇති වී ඇති තත්ත්වය පිළිබඳව අප රඹුක්කන පොලිසියේ ස්ථානාධිපතිවරයා දැනුවත් කළා. ඔහු නැවත වරක් පවසා සිටියා තමා මැදිහත් වී හැකි ඉක්මනින් ඉන්ධන ලබාදෙන බව. මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල ඉහළ දැමීමට ප්‍රථම එක් ඉන්ධන බවුසරයක් පැමිණියා. එම බවුසරය තුළ පැමිණියේ අඩු ඉන්ධන ප්‍රමාණයක්. එම නිසා එම ගොඩබෑම පිළිබඳ පෝලිම්වල සිටි පිරිස් සිය විරෝධතාව දක්වා සිටියා. ඉන්ධන මිල ඉහළ දැමුවාට පසු නැවතත් ඉන්ධන පුරවා ගත් බවුසරයක් ඉන්ධනහල වෙත පැමිණියා.

ඒ  වන විට රැස්ව සිට පිරිස් රඹුක්කන ප්‍රධාන මාර්ගය අවහිර කරමින් සාමකාමී උද්ඝෝෂණයකයි නිරතව සිටියේ. එලෙස පැමිණි ඉන්ධන රථයේ ඉන්වොයිසිය  බලන විට එහි පෙට්රල් ලීටර් 6340කට නොවැඩි ප්‍රමාණයකුත් ඩීසල් ලීටර් 3400කට නොවැඩි ප්‍රමාණයකුත් තිබෙන බව අප දුටුවා. ඒ අවස්ථාවේදී මම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ඒ බව දැනුම් දුන්නා. පෝලිම්වල සිටි පිරිස් පවසා සිටියේ වැඩි මිලට තමන්ට ඉන්ධන ලබා ගත නොහැකි බවයි. හැකියාවක් ඇතොත් පැරණි මිලට ඩීසල් ලබාදෙන ලෙස උද්ඝෝෂකයන් ඉල්ලා සිටියා.

ඒ අවස්ථාවේදී උසස් පොලිස් නිලධාරීන් කිහිපදෙනකු සමඟ ලංකා සේවා පිරවුම්හලේ සාකච්ඡාවක නිරත වී සිටි රඹුක්කන පොලිසියේ ස්ථානාධිපතිවරයා මා වෙත පැමිණ “උඹ දඟලනවා වැඩියි. පොඩි උන් පොඩි උන් විධියට ඕනෑ” යැයි පවසා පළමු තර්ජනය එල්ල කළා. නමුත් උද්ඝෝෂකයන් දිගටම පැරණි මිලට ඉන්ධන ලබාදෙන්නැයි කියා උද්ඝෝෂණය දිගින් දිගටම සිදු කළා. ඒ අවස්ථාවේදී මම සමඟ රඹුක්කන පොලිසියේ ස්ථානාධිපතිවරයා බහින් බස්වීමක නිරත වුණා. ඔහුට ඉහළින් සිටි පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් මට තර්ජනය කළා. ඊට පස්සේ මගේ සහෝදරයා පැමිණ උද්ඝෝෂකයෝ රැඳී සිටි ස්ථානයෙන් මාව ඔහුගේ නිවෙසට රැගෙන ගියා. ඒ වන විට මා භාවිත කළ ත්‍රිරෝද රථය නවත්වා තිබුණේ රඹුක්කන ස්ටේෂමේ සේවක නිවාස අසල. ඉන් පසු මම මගේ හිතවතෙක් සමඟ පැමිණ ත්‍රිරෝද රථයේ නිදා ගන්නට සූදානම් වුණා. ඒ අවස්ථාවේදී තමයි උද්ඝෝෂකයන් වෙත පොලිසිය ප්‍රහාර එල්ල කළේ.

පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මගේ ත්‍රීවීල් රථයට ගිනි තිබ්බා..

වෙඩි තැබීම් ගණනාවක් එක දිගටම සිදුවුණා. ඉන් පසුව උද්ඝෝෂකයන් පසු බැස්සා. දුම්රිය සේවක ගොඩනැඟිල්ලට යාබදව ඇති බුදුපිළිමයට අසලට පැමිණ රඹුක්කන පොලිසියේ ස්ථානාධිපතිවරයා තවත් නිලධාරීන් කිහිපදෙනකුට මාව පෙන්වා යමක් පවසනවා දුටුවා. ඒ අවස්ථාවේදී පොලිසිය විසින් උද්ඝෝෂකයන් වෙත වෙඩි තැබීම හා පහර දීම දැඩි කරලයි තිබුණේ. පොලිස් ස්ථානාධිපතිවරයාගේ මඟ පෙන්වීම යටතේ මා සිටි ත්‍රිරෝද රථය කරා කොට තුවක්කු රැගත් මුහුණ වසා ගත් පොලිස් නිලධාරීන් දෙදෙනකු පැමිණෙනවා මම දුටුවා. මම රේල් පාරට පැන දිව ගොස් ස්ටේෂමේ ගල් බංගලාව අසල තාප්පයෙන් බැස ත්‍රිරෝද රථය ආසන්නයේ ඇති කොස් ගසකට මුවාවී සිදුවන්නේ කුමක් දැයි බලා සිටියා. කොට තුවක්කු රැගත් පොලිස් නිලධාරීන් දෙදෙනාගෙන් පසු එම ස්ථානයට පැමිණි ටී 56 ආයුධ දරා ගත් තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙක් දුම්රිය ක්වාටස්වල ටොයිලට්  දොරවල් කඩමින් මා සොයන්නට ගත්තා.

ඉන් පසුව ප්‍රථමව පැමිණි කොට තුවක්කු රැගෙන් නිලධාරීන් දෙදෙනා මගේ ත්‍රිරෝද රථයේ ඉන්ධන පුරවන ටැංකිය අසලින් ත්‍රිරෝද රථයට ගිනි තැබුවා. ත්‍රිරෝද රථයේ වහලය සම්පූර්ණයෙන් ගිනි ගන්නා තෙක් ඔවුන් එතැන රැඳී සිටියා. ඊට පසු මගේ සහෝදරයා මා හට ඇමැතුමක් ලබා දී හැකි ඉක්මනින් මා රැඳී සිටි ස්ථානයෙන් ඉවත් වන්නැයි පවසා සිටියා. ඉන් පසුව මා මගේ මිතුරෙකුගේ නිවෙසට ගොස් එදා රාත්‍රිය ගත කළා. පසුදා මගේ සොහොයුරා ප්‍රකාශ කළා ත්‍රිරෝද රථය සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇති බව. තම ත්‍රිරෝද රථයට ගිනි තැබීමේ සිදුවීම ඉතා හැඟීම්බරව විස්තර කළ සාක්ෂිකරු අවසන් වශයෙන් ගරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ සාමකාමී උද්ඝෝෂණයක නියමුවකු වීමේ ප්‍රතිඵල තමා අද දින භුක්තිවිඳින බවයි. තමාට ගරු අධිකරණයෙන් සහනයක් ලැබේ යැයි තමා අපේක්ෂා කරන බව සාක්ෂිකරු වැඩිදුරටත් පවසා සිටියේය.

නඩු විභාගය හෙට (22) පෙරවරු 11 ට යළි කැඳවීමට නියමිතයි.

'තිර පිටපතේ වැරදුනු තැන්' නමින් පුබුදු ජයගොඩ තැබූ සටහන් කිහිපයක් ද මෙහි දැක්වේ 

(ශ්‍රී ලංකා බ්‍රීෆ්, නිව්ස් 19 ඇසුරිනි)



Comments