ශ්‍රී ලංකා ‍පොලීසිය විරෝධතාකරුවන් විසුරුවන්නේ බඩට හා ඔළුවට වෙඩි තියලා..! -අල් ජසීරා වාර්තාව සිංහලට නැගුවේ ආනන්ද

 Syndicated from lankaenews


ඉන්ධන මිල නැවත නැවත ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් සිටි මධ්‍යම පළාතේ පිරිසකට පොලිසිය විසින් වෙඩි තැබීමෙන් අවම වශයෙන් එක් අයෙකු මිය ගොස් තවත් 13 දෙනෙකු තුවාල ලබා තිබේ.

අඟහරුවාදා (19) සිදු වීම දශක ගණනාවකට පසු රටේ දරුණුතම ආර්ථික අර්බුදය නිසා සති ගණනාවක් තුළ පැවති පෙළපාලි අතරතුර ආරක්ෂක හමුදා විසින් එල්ල කරන ලද පළමු මාරාන්තික වෙඩි තැබීමයි. විරෝධතාකරුවන් සමග ඇති වූ ගැටුම්වලින් පොලිස් නිලධාරීන් 15 දෙනෙකු ද සුළු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

අගනුවර වන කොළඹට කිලෝමීටර් 90ක් (සැතපුම් 55ක්) ඊසාන දෙසින් පිහිටි රඹුක්කන ප්‍රදේශයේ දී විරෝධතාකරුවන්ට වෙඩි තැබූ බව පොලිසිය තහවුරු කළේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා පැවසුවේ, විරෝධතාකරුවන් දුම්රිය මාර්ග සහ පාරවල් අවහිර කරමින් සිටි අතර විසිරී යන ලෙස පොලිසිය කළ අනතුරු ඇඟවීම් නොසලකා හැර ඇති බවයි.

පොලිසිය විරෝධතාකරුවන්ට වෙඩි තැබුවා..

"තත්වය පාලනය කිරීම සඳහා පොලිසිය විරෝධතාකරුවන්ට වෙඩි තැබුවා, විරෝධතාකරුවන් කිහිප දෙනෙකුට තුවාල සිදු වුණා," යයි තල්දූව නමැති පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා Reuters පුවත් ඒජන්සියට පැවසීය.

“තුවාල වූ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ද රෝහල් ගත කර තිබෙනවා. ගල් ගසමින් සිටි පිරිසක් පලවා හැරීමට පොලීසිය ජීව උණ්ඩ හා කඳුළු ගෑස් භාවිතා කර තිබෙනවා,” යයි ඔහු පැවසීය. "ප්‍රදේශය සන්සුන් කිරීමට උත්සාහ කරමින් පොලීසිය තවම එම ප්‍රදේශයේ රැඳී සිටිනවා."

කෑගල්ල රජයේ රෝහලේ වෛද්‍යවරියක පැවසුවේ, වෙඩි වැදී ඇතැයි සැක කෙරෙන තුවාල සහිත පුද්ගලයන් 14 දෙනෙකු එහි රැගෙන ආ අතර එක් අයෙකු මියගොස් ඇති බවයි. තවත් තිදෙනෙකු ශල්‍යකර්මවලට භාජනය කර ඇති අතර ඔවුන්ගේ තත්වය නිරීක්ෂණය කරමින් තිබේ.

රෝහල් ගතව සිටින පොලිස්කාරයන්ට සුළු තුවාල සිදුව ඇත්තේ ගල් වැදීමෙන් බව ද ඇය පැවසුවාය.

එක්සත් ජනපද තානාපතිනි ජුලී චුන්ග් සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර්-හැම්ඩි, සෑම පැත්තකින්ම සංයමයෙන් යුතුව කටයුතු කරන ලෙසත්, සාමකාමී විරෝධතා සඳහා ජනතාවගේ අයිතිය තහවුරු කරන ලෙසත් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.

වෙඩි තැබීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස චුන්ග් ඉල්ලා සිටියේය.

බංකොලොත් රටක්..

ශ්‍රී ලංකාව බංකොලොත් භාවයේ අද්දර සිටින අතර, එහි මුළු ණය ඩොලර් බිලියන 25 න් බිලියන 7 කට ආසන්න විදේශ ණය මේ වසරේ ආපසු ගෙවීමට ඇත. දැඩි විදේශ විනිමය හිඟයක් යනු ආනයනික භාණ්ඩ මිල දී ගැනීමට රටට මුදල් නොමැති වීමයි.

පවතින ඉතා සීමිත තොග මිල දී ගැනීමට පැය ගණන් පෝලිම් ගැසී සිටින ජනතාව, ආහාර, ඉවුම් පිහුම් ගෑස්, ඉන්ධන, හා බෙහෙත් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයෙන් මාස ගණනාවක් තිස්සේ දුකට පත්ව සිටිති.

පසු ගිය මාස කිහිපය තුළ ඉන්ධන මිල කිහිප වතාවක් ඉහළ ගොස් ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රවාහන වියදම් සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල අති විශාල ලෙස වැඩි වී ඇත. සඳුදා (18) මධ්‍යම රාත්‍රියේ තවත් වැඩිවීම් වටයක් සිදු විය.

ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිකාරටයාට දොස් පවරවමින් දහස් ගණන් විරෝධතාකරුවෝ අඟහරුවාදා 11 වන දිනටත් ජනාධිපති කාර්යාලයේ දොරටුව අසල රැඳී සිටියහ.

තම සමස්ත ආණ්ඩුවම ඉල්ලා අස්විය යුතු බවට වැඩෙන ඉල්ලීම්වලට විසඳුම් සෙවීමේ ප්‍රයත්නයක් ලෙස, රාජපක්ෂ ජනාධිපතිකාරයා සඳුදා (18) නව කැබිනට් මණ්ඩලයක් පත් කළ අතර, පාලක පවුලේ දූෂිත කළමනාකරණය පිලිබඳ මහජන කෝපය පිළිගත්තේය.
"ආර්ථික අර්බුදය නිසා ජනතාව දුක් විඳින අතර මං ඒ ගැන දැඩි ලෙස කනගාටු වෙනවා," යයි ඔහු පැවසීය.

ගෝටාබය ජනාධිපතිකාරයාගේ මහින්ද නමැති අයියා ශ්‍රී ලංකාවේ අගමැතිකාරයා වන අතර, රටේ දරුණු ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විවේචනයට ලක්ව සිටී.

ගෙවුම් ශේෂ අර්බුදය මග හරවා ගැනීමට සහ ක්ෂය වූ සංචිත ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාව IMF වෙතින් ඩොලර් බිලියන 3-4ක් අපේක්ෂා කරයි.

රාජපක්ෂගේම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දුසිම් ගණනක් රාජපක්ෂලාට එරෙහිව අඟහරුවාදා පාර්ලිමේන්තුවේ විපක්ෂය පැත්තේ වාඩි විය.

ඉල්ලා අස් නොවන්නේ නම්, මෙම විරෝධතා ද දිගටම පවතීවි..

ශ්‍රී ලංකා ජාතික සාම කවුන්සිලයේ ජෙහාන් පෙරේරා Al Jazeera සමග පැවසූවේ, අර්බුදය සමනය කිරීම සඳහා ජනාධිපතිකාරයා ඉල්ලා අස්විය යුතු බවයි.

“රටක් පාලනය කිරීමට අවශ්‍ය නායකත්ව හැකියාවක් සහ මොළයක් ඇති බවක් පෙන්වීමට ජනාධිපතිකාරයාට නොහැකි වී තිබෙනවා,” යයි ඔහු පැවසීය.

"ඔහු ඉල්ලා අස් නොවන්නේ නම්, මෙම විරෝධතා ද දිගටම පවතීවි - මේ විරෝධතා හුදෙක් යම් දේශපාලන මතවාද පමණක් නොවෙයි, ... මිනිසුන් අත්විඳින අති බිහිසුණු දුෂ්කරතා."

කොරොනා වයිරස් වසංගතය නිසා සංචාරක ව්‍යාපාරයෙන් සහ විදේශ ප්‍රේෂණවලින් ලද අත්‍යවශ්‍ය ආදායම අහිමි වීමෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථික බිඳ වැටීම ආරම්භ විය.

රාජපක්ෂගේ පරිපාලනය සිය සම්පූර්ණ විදේශ ණය ගෙවීම අත්හිටු වන බව ප්‍රකාශ කිරීමෙන් පසු, අත්‍යවශ්‍ය දෑ සඳහා ගෙවීමට විදේශ විනිමය පරිත්‍යාග කරන ලෙස විදේශ ගත පුරවැසියන්ගෙන් ඉල්ලා තිබේ.

ආධාර ඉල්ලා IMF සමග සාකච්ඡා පටන් ගැනීම සඳහා නියෝජිත පිරිසක් වොෂින්ටනයට යවා ඇත.

- 2022 අප්‍රේල් 19 වන දින Al Jazeera වෙබ් අඩවියේ පළ වූ, ‘At least one killed as police open fire at Sri Lanka protesters’ නම් ප්‍රවෘත්ති වාර්තාව සිංහලට පරිවර්තනය කළේ,

- ආනන්ද



Comments