තැපෑලෙන් එන්නේ ලියුම් පමණක් නොවේ

 Syndicated from samabima,

1997 වසරේ තිරගතවූ The Postman  චිත්‍රපටයේ කථාවට පාත්‍ර වන්නේ 2013 අමෙරිකාවයි. ඒ වන විට න්‍යෂ්ටික යුද්ධයක් හේතුවෙන් මනුෂ්‍ය වර්ගයාගෙන් විශාල පිරිසක් මෙන්ම මනුෂ්‍යයා විසින් ගොඩනගා ගත් ශිෂ්ටාචාරයද විනාශ වී ගොසිනි. ඇමරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් ආණ්ඩුව විනාශ වී ගොස් ඇත. දැන් ඉතිරිව ඇත්තේ හුදකලා කුඩා ජනාවාසවල ජීවත් වන ජන කණ්ඩායම් පමණකි. අතීත කාලයේ ආණ්ඩුව විසින් මහජනයාට සැපයීමට වගකීමෙන් බැඳී සිටි සහ එනිසාම මහජනයා විසින් අයිතිවාසිකම් වශයෙන් සැලකූ ආහාර මෙන්ම ආරක්ෂාවද දැන් තම තමන් විසින් හැකියාව අනුව සලසා ගත යුතු දේවල්ය. කාර්මික හා තාක්ෂණික විප්ලවයන් විසින් ලබා ගත් සියලූ ජයග්‍රහණ විනාශ වී ගොසිනි. මිනිසුන් ගෙවන්නේ ප්‍රාථමික ජීවිතයකි.

මෙහි බලය ඇත්තේ ‘හෝන්වාදීන්’ වශයෙන් හඳුන්වනු ලබන අවි ගත් අසරු හමුදාවකටය. ඔවුන්ගේ නායකයා ජෙනරාල් බෙත්ලෙහෙම්ය. පැරණි සමාජයේ දී ෆොටෝ කොපි යන්ත්‍ර අලෙවි කළ වෙළෙන්දෙකු වූ ඔහු යුද්ධය විසින් හමුදා නායකයෙකු බවට පත් කොට ඇත. ඔහු තම හමුදාව සමඟ ජනාවාසවලට ඇතුළු වී ආහාර සහ අලුත් සාමාජිකයන් බලයෙන් ලබා ගනී, මෙසේ හමුදාවට බඳවා ගන්නා පුද්ගලයන්ගේ මොළ සෝදනු ලැබ, දැඩි පුහුණු කිරීමකට ලක් කිරීමෙන් පසුව ජෙනරාල් බෙත්ලෙහෙම්ගේ හමුදාවේ සහ ගෝත්‍රයේ සාමාජිකයන් බවට පත්වේ. ඉන්පසු ඔවුන් වරප්‍රසාද ලද්දන්ය. තම නායකයාගේ නියෝගය එකහෙළා පිළිපැදීම ඔවුන්ගේ එකම යුතුකමයි. නියෝග පැහැර හැරීමට දඬුවම මරණයයි.

මෙසේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝන්වාදීන් බවට පත්වූ සෙබළුන් අතරින් එක් පුද්ගලයෙකු පැන යාමට සමත් විය. හමුදාවට බඳවා ගැනීමට පෙර ඔහු තැනින් තැන යමින් නාට්‍ය පෙන්වන නාට්‍යකරුවෙකි. ඔහු දන්නා ශිල්පය කතා පැවැත්වීම සහ රගපෑම පමණි. ඔහුගේ ආරූඪ නාමය ශේක්ස්පියර්ය.

පලායන අතර තුර රාත්‍රිය ගෙවා ගැනීමට ඔහු ගොඩ වන්නේ අත හැර දමන ලද තැපැල් රථයකටය. එහිදී ඔහුට ‘පෝස්ට්මන්’ හෙවත් තැපැල්කරුවෙකුගේ නිල ඇඳුමක් හමුවේ. පසුදින එම ඇදුම ඇඳගෙන, තැපැල්කරුගේ තැපැල් මල්ල ද රැගෙන අසල ඇති ‘පයින්වීව්’ නම් ජනපදයට යන්නේ කුසගින්න නිවා ගැනීම සඳහා ආහාර සොයා ගැනීමටය. අතීතයේදී ශේක්ස්පියර්ගේ නාට්‍ය පෙන්වා ආහාර සොයා ගත්තාක් මෙන් දැන් ඔහු උත්සාහ කරන්නේ තැපැල්කරුවෙකු ලෙස රඟපා ආහාරපාන සොයා ගැනීමටය. ජනාවාසයේ ආරක්ෂකයන්ට ඔහු කියන්නේ තමා ‘නැවත පිහිටුවන ලද ඇමරිකා එක්සත් ජනපද තැපැල් සේවයේ’ ලියුම් බෙදන්නකු හෙවත් පෝස්ට්මන් කෙනෙකු බවයි. ජනපදයේ ජීවත් වන බලවත්තු සහ බුද්ධිමත්තු ලියුම් බෙදන්නා පිළිබඳව හෝ ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුව නැවත පිහිටුවා ඇතැයි කියන ඔහුගේ කතාව හෝ විශ්වාස නොකරති. එහෙත් සාමාන්‍ය මිනිසුන් ඔහු පිළිබඳව විශ්වාසය තබා වෙනත් ජනපදවල සිටින, දැනට කිසිදු සම්බන්ධතාවයක් නොමැති තම ඥාතීන් වෙත යැවීම සඳහා ඔහුට ලියුම් ලබා දෙති. තමන්ට අලුත් බලාපොරොත්තුවක් රැගෙන ආ මේ මිනිසාට ගම් වැසියන් ඉතා හොදින් සලකයි.

ආහාර පානවලින් සප්පායම් වී හීන් සීරුවේ ජනාවාසයෙන් පිටවීමට උත්සාහ කරන පෝස්ට්මන් හමුවීමට එන කළු ජාතික තරුණයෙකු වන ෆෝඩ් ලින්කන් මර්කරි තමාටත් ඇමරිකා එක්සත් ජනපද තැපැල් සේවයට බැඳී සේවය කිරීමට අවශ්‍යය යැයි කියයි. කරන්න දෙයක් නැති කමට ෆොඞ්ට තමන් ඉදිරියේ දිවුරා සේවයට බදවාගත්තා යැයි පවසයි. පෝස්ට්මන් ජනාවාසයෙන් පිටත්ව ගොස් මේ ලියුම් හුවමාරුව මගින්ම සිය ජීවිකා සලසා ගන්නා අතර නැවත ඔහු මේ ගමට පැමිණෙන විට දකින්නේ ෆෝඩ් ‘පයින්වීව්’හි පැරැණි තැපැල් කාර්යාලය අලූත්වැඩියා කොට ‘නැවත පිහිටුවන ලද ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුව වෙනුවෙන්’ තැපැල් සේවය ආරම්භ කොට පයින්වීව්හි තැපැල් ස්ථානාධිපති වශයෙන් කටයුතු කරනු ලබන බවයි. ඔහුගේ තැපැල් සේවකයන් ජනපදයෙන් ජනපදයට ගමන් කරමින් ප්‍රජාවන් අතර සන්නිවේදනය නැවත ස්ථාපිත කිරීමට කටයුතු කරති. ඒ සමඟම බලවත් හෝන්වාදීන්ට එරෙහිව කටයුතු කොට මිනිස් අයිතිවාසිකම් නැවත ස්ථාපිත කළ හැකි ඇමරිකා එක්සත් ජනපදයේ ආණ්ඩුව නැවත පිහිටුවා ඇතැයි යන විශ්වාසය සන්නිවේදනය කිරීමටද ක්‍රියා කරති. මෙම තැපැල් සේවකයන් අල්ලා ගන්නා ජෙනරාල් බෙත්ලෙහෙම් ඔවුන් ඝාතනය කළත්, තව තවත් පිරිස් අලූතෙන් තැපැල් සේවයට එක්වෙති.

තමන් විසින් නිර්මාණය කළ ප්‍රබන්ධය සත්‍යයක් සේ විශ්වාස කොට දිවි පිදීමට පවා මිනිසුන් සහ ගැහැණුන් ඉදිරිපත්වීම ගැන ෂේක්ස්පියර් හෙවත් පෝස්ට්මන් කම්පාවට පත්වන්නේ එම ප්‍රබන්ධය අසත්‍යයක් බව දන්නා බැවිනි. මේ තරුණයන්ගේ ආරක්ෂාව තැපැල් සේවය අවසන් කොට ඇති බවත්, ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුවක් පිහිටුවා නැති බවට වූ සත්‍ය ඔහු පැවැසුවත් කිසිවෙකු ජනතාව එය විශ්වාස කිරීමට සූදානම් නැත. ඇමරිකානු ෆෙඩරල් ආණ්ඩුව යනු පෝස්ට්මන් විසින් තම පැවැත්ම වෙනුවෙන් ගොඩනැගූ ප්‍රබන්ධයක් වුවද පීඩාවට පත්ව සිටින ජනතාවට ඇති එකම සැනසිල්ල එය බැවින් ඔවුහු එය විශ්වාස කරන අතර එම විශ්වාසය වෙනුවෙන් ජීවිතය පවා කැප කිරීමට ඔවුහු සූදානම් වෙති. අවසානයේදී එවැනි ආණ්ඩුවකට පරම සතුරු වන ජෙනරාල් බෙත්ලෙහෙම් පවා එවැනි ආණ්ඩුවක් ඇත්තටම පවතින බව විශ්වාස කිරීමට පෙළඹෙන්නේ මහජනතාව තුළ ඇති එම විශ්වාසයේ ප්‍රබලත්වය නිසාය.

සමබිම මෙවර කලාපය වෙන් වන්නේ යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් අප මැතිවරණයට පෙර ආරම්භ කල සංවාදයේම ඊලග පියවර ලෙසය. යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් මෙන්ම මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, සංහිදියාව පිළිබද දැනුම ඔබ අතට ගෙන ඒමෙන් රට යහපත් දෙසට වෙනස් කල හැකි බව අප විශ්වාස කරන්නෙමු. එසේම මැතිවරණ වලදී තීරණාත්මක සාධකය වන්නේ දැනුම නොව විශ්වාසයයි. නව ආණ්ඩුව කෙරෙහි ජනතාව පුර්ණ විශ්වාසය තබා ඇත. අප නව ආණ්ඩුව, රටේ ජනතාව, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, සංහිඳියාව සහ සිවිල් සමාජය කෙරෙහි වූ අපේ විශ්වාසය එලෙසම තබාගෙන සිටින්නෙමු.

ප්‍රබෝධ රත්නායක විසින් සමබිම 2020 අගෝස්තු කලාපයට ලියන ලද කතුවැකියයි.

Comments