ඡන්ද ප්‍රතිඵල ගැන පුරවැසි සටහනක්..!

 Syndicated from lankaenews,


ලංකාවේ මිනිස්සු හරි පුදුමයි. මේ ඡන්ද ප්‍රතිථලය දකිනවිට ලංකාවේ අනාගතය, මිනිස්සුන්ගේ සිතුම් පැතුම් ගැන ඇඟ හිරි⁣වැටෙන බියක් දැනේ. රටක ජනතාවකට මේ තරම් අන්ධ විය හැකිදැයි සිතේ. ලංකාව පමණක් නොව, මුළු ලෝකයම අර්බුදයක ගිලී පවතින මේ මොහොතේ රාජපක්ෂවරුන්ට මේ සා විශාල බලයක් ලැබුණේ ඔවුන්ගේ අවසානයට විය හැකිය. ජනතාව කොන්දේසි විරහිතව රාජපක්ෂවරුන්ට බලය දී ඇත. එයම ඔවුනට අභියෝගයකි.

නිදහස් හා සාමකාමී මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය ස්වාධීන මැතිවරණ කොමිෂන් සභා ජනතාව ප්‍රතික්ෂේප කර ඇත. (පොහොට්ටුවේ වේදිකාවල මෙය කියවුනි). අහෝ, මෙය නම් ලෝකයේ පවතින අමුතුම රටකි.

⋆ මිනී මැරීමට ⁣මරණ දණ්ඩනය නියමවු රත්නපුර අපේක්ෂකයා මනාප ලැයිස්තුවේ දෙවැනි තැනට පැමිණ ඇත
⁣⋆ කෝප් කමිටුවේ සභාපති ලෙස, මහජනතාවගේ මුදල් සොරා කෑ වුන් හෙළි කර දුන් හඳුන්නෙත්තිට පයින් ගසා, චිත්‍රපට නිළියක වෙන ගීතා කුමාරසිංහ ජයග්‍රහණය කරවීමට දකුණේ ජනතාව (මහා උගතුන් සිටිනවායැයි තමන්ම පම්පෝරි ගසන) කටයුතු කර ඇත.
⋆ උද්ධික ප්‍රේමරත්න නැමැති නළුවෙකු දිස්ත්‍රික්කයේ ඉහලම මනාප ලබා ඇත ( දුටුගැමුණු චිත්‍රපටයේ රඟපා, එළාර මැරූ නිසා විය හැකිය)
⋆ පාස්කු ප්‍රහාරයට අමු අමුවේ වග කිය යුතු, මුළු විශ්වයේම සිටින පාදඩම දේශපාලකයා වන මෛත්‍රීපාල සිරිසේන දිස්ත්‍රික්කයේ ඉහලම මනාප ලබා ඇත.
⋆ පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු ප්‍රහාර එල්ල කරපු ප්‍රසන්න රණවීර දිනවා ඇත.

මෙවැනි හිරිකිත උදාහරණ ඇති තරම් ලිවිය හැකිය.

ඡනතාව හොරුන්ට සහ තක්කඩියන්ට අකැමැති නැත. අකැමැති තමන්ගේ පිලේ නොවන කෙනෙක් කරන විටය. ඒ ජනතාවගේ තියෙන තක්කඩිකම ය. රජයේ සේවකයින් කියන පරිදි, ඔවුන්ට මේ ආණ්ඩුව මාරයි.

සජබ, ඡවිපෙ සහ එජාප, මේ ආණ්ඩුවට ඕනෑම විදියකට වැඩ කරන්න දී ටික කාලයක් පස්සට වී සිටිය යුතුය. රජයේ සේවකයින්ට, පෞද්ගලික අංශයේ සේවකයින්ට අසාධාරණ වන විට, බඩු මිල ඉහල යන විට ඒ වෙනුවෙන් පෙනී නොසිටිය යුතුය. (එසේ පෙනී සිටියහොත් තමන් ගේ ඡන්ද පදනම තවත් පහල යනු ඇත). මේ ඡන්ද ප්‍රතිථලයෙන් කියන්නේ එය නොවේ ද.?

රාඡපක්ෂවරුන්ට ම ඔවුන්ගේ සහ මහ ජනතාවගේ සළු එකින් එක ඉවත් කිරීමට අවස්ථාව දිය යුතුය. එය කාලය විසින් සිදු කරනු ඇත. ලංකාවේ ජනතාව තක්කඩින්ට වැඩි ප්‍රියතාවයක් දක්වති.

-සමන්ත-

Comments