වෛරසයෙන් ලෙඩ වෙන මානව හිමිකම්

 Syndicated from samabima,

කොරෝනා වෛරස් ගෝලීය වසංගතය ලෝකයේ සියලු‍ රටවල මුහුණදෙන හදිසි මහජන සෞඛ්‍ය ආපදා තත්ත්වයක් පමණක් නොව ආර්ථික අර්බුදයක් මෙන්ම සමාජයීය අර්බුදයක්ද බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටෙරෙස් ඒ බව පවසන්නේ කොරෝනා වෛරස් වසංගතයෙන් ගොඩ ඒමේ දී මානව හිමිකම් සම්බන්ධයෙන් ප්‍රමුඛතාව ලබාදිය යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් අප්‍රේල් 23 වැනිදාවේ විශේෂ වාර්තාවක් එළිදක්වමිනි.

COVID-19 and Human Rights (We are all in this together) නම් එම වාර්තාවෙන් මහ ලේකම්වරයා අවධාරණය කරන්නේ මානව වර්ගයා මුහුණදෙමින් සිටින කෝවිඞ් -19 වසංගතය ඉතා ශීඝ්‍රයෙන් මානව හිමිකම් අර්බුදයක් දක්වා වර්ධනය වෙමින් පවතින බවයි.

ගෝලීය මානව හිමිකම් ප්‍රඥප්තිය (Universal Declaration of Human Rights) සහ මිනිසාගේ ගරුත්වය පෙරදැරි කරගෙන සිය වැඩකටයුතු ඉටුකරන බවට ප්‍රතිඥා දෙමින් තමන් පසුගිය පෙබරවාරි මාසයේදී ක්‍රියාකාරී වැඩපිළිවෙලක් ඉදිරිපත් කළ බව පෙන්වාදෙන මහ ලේකම්වරයා, අර්බුද අවස්ථාවක මානව හිමිකම් හුදෙකලා නොකළ යුතු බව පෙන්වා දෙයි.

“අපි මේ මොහොතේ පරම්පරා ගණනාවකට පසුව මුහුණදෙන ජාත්‍යන්තර අර්බුදයට මුහුණදෙමින් සිටින්නෙමු,” යනුවෙන් ද ඔහු සිය වාර්තාවේ සඳහන් කරයි.

එබැවින් කෝවිඞ් -19 වසංගතයට දක්වන ප්‍රතිචාරය සහ එයින් මිදීමේ වැඩසටහන්වලට මානව හිමිකම් මඟපෙන්විය හැකි අතරම, එසේ මඟපෙන්වීම අනිවාර්ය බව ද එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස්ගේ ස්ථාවරය වී තිබේ.

“පණිවුඩය පැහැදිලියි. ජනතාව – සහ ඔවුන්ගේ හිමිකම් – පෙරමුනේ සහ මධ්‍යයේ විය යුතුයි.”

මානව හිමිකම් කාචය මගින් සියලු‍ දෙනාම චිත්‍රයට එක් කරගනිමින් කිසිවෙකු හුදෙකලා නොකරන අතර, සෑම කෙනෙකුටම සෞඛ්‍ය සේවා සහතික කරමින් මානව හිමිකම් සුරක්ෂිත කිරීමේ ප්‍රතිචාරයක් මගින් වසංගතය පරාජය කළ හැකි බවද වාර්තාව එළිදක්වමින් මහ ලේකම්වරයා පෙන්වා දෙයි.

එමෙන්ම වසංගතයෙන් වඩාත්ම පීඩාවට පත්ව සිටින්නේ කවුරුන්ද යන්න හුවා දක්වමින්, එයට හේතුව කවරක්ද සහ පිළියම් කවරක්ද යන්න පෙන්වා දෙමින් ඒ සම්බන්ධයෙන් අනතුරු අඟවන පද්ධතියක් ලෙසින් ද මානව හිමිකම් ක්‍රියාකරන බවත් වාර්තාවේ දැක්වේ.
තර්ජනය වෛරසය විනා ජනාතව නොවේ.

වෛරසය ජාතීන් හෝ ජනකොටස් ලෙසින් වෙනස්කොට නොසැලකුවද, එමගින් ඇතිවන බලපෑම මගින් පොදු සේවාවන්හි දුර්වලතා සහ මහජන සේවා ලබාගැනීමේදී මතුවන අසමානතා මොනවට හුවාදක්වන බව පෙන්වාදෙන මහ ලේකම්වරයා, කෝවිඞ් 19 වසංගතය සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරයේ දී එම දුර්වලතාවයන්ට පිළියම් යෙදිය යුතු බවත් අවධාරණය කරයි.

විශේෂයෙන්ම වසංගතයත් සමඟ ඇතැම් ජනකොටස් වෙත අසාමාන්‍ය ලෙස බලපෑම් එල්ල වූ අන්දම මෙන්ම ඇතැම් කණ්ඩායම් ඉලක්ක කරගනිමින් වෛරී අදහස් දැක්වීම් උත්සන්නවීමත් සෞඛ්‍ය සේවාවන්හි ප්‍රතිචාරය යටපත් කරමින් ආරක්ෂක අංශ දැඩි ප්‍රතිචාර දැක්වූ අන්දමත් පසුගිය සමයේ දක්නට ලැබුන බව වාර්තාවේ දැක්වේ.

විශේෂයෙන්ම වසංගතය හමුවේ ඇතැම් රටවල වාර්ගික-ජාතිකවාදයේ නැගීම සහ අධිපතිවාදය සමඟ මානව හිමිකම් නොතකා හරිමින් වසංගතයට කිසිදු සම්බන්ධයක් නොමැති දේ සඳහා පීඩාකාරී පියවර ගැනීම කිසිසේත්ම පිළිගත නොහැකි බව මහ ලේකම්වරයාගේ ස්ථාවරයයි.

“අන් කවරදාකටත් වඩා ආණ්ඩු විනිවිද පෙනෙන සුලු‍ ආකාරයෙන් සහ වගවීමක් සහිතව ක්‍රියා කළ යුතුය. සිවිල් අවකාශය සහ මාධ්‍ය නිදහස තීරණාත්මකය. මෙහිදී පෞද්ගලික අංශයට සහ සිවිල් සංවිධානවලට අත්‍යවශ්‍ය කර්යභාර්යක් පැවරේ,” යනුවෙන් ද වාර්තාවේ දැක්වේ.

“තර්ජනය වෛරසය විනා ජනතාව නොවන බව අප කරන සෑම කටයුත්තකදීම අමතක නොකරමු.”

“වෛරසය හැම දෙනාටම තර්ජනය කරයි. මානව හිමිකම් හැම දෙනාගේම ජීවිත නගා සිටුවයි”යනුවෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටෙරෙස් පවසයි.

Comments