අනේ මහින්ද..! ඔහේගේ රණවිරු ප්‍රේමය ඔහේගේ කාර්යාලයේ උන් ලඟ නැතිද? නැතිනම් මේ හමුදා නිලධාරියා රණවිරුවෙක් නොවේද?

 Syndicated from lankaenews,

(ලංකා ඊ නිව්ස් -2020.අගෝ.29, ප.ව.6.45) රණවිරුවන් වෙනුවෙන් විදුලි පුටුවට වුව යෑමට සූදානම් යැයි කියමින් දෑතින් පපුවට ගසා ගත් මහින්ද රාජපක්ෂ අද අගමැතිවරයා ය. එහෙව් මහින්ද රාජපක්ෂගේ අගමැති කාර්යාලයේ ලේකම්වරයෙකු රණවිරුවෙකු අරභයා ක්‍රියා කර ඇති නීතිය නැවීමේ සහ නින්දනීය ක්‍රියාවක් පිළිබඳ ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

ජූලි 24 වන දින පස්වරු 1.00 -1.30 අතර කිරුලපොන බේස්ලයින් පාරේ මෝටර් සයිකලයකින් ගමන් කරමින් සිටි බන්ධුල ජයරත්න නම් යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු යට කරගෙන අධික වේගයෙන් පදවන ලද ‘කියා ස්පොර්ටේජ්’ වර්ගයේ සුඛෝපභෝගී ජීප් රියක් ඉගිලුනේ ය. ඒ අවස්ථාවේ රථය පැදවූයේ අ.පො.ස උසස්පෙල විභාගයට වාණිජ විෂය ධාරාවෙන් මෙවර පෙනී සිටීමට අපේක්ෂිත, රාජකීය විද්‍යාලයෙහි සිසුවකු විසිනි. රථයට යටවූ බන්දුල ජයරත්න පාදය සිව් පොලකින් කැඩී බරපතල තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුලත් කෙරිණ. පසුව සොයා බැලූ කළ රථය පැදවූ සිසුවාගේ පියා අගමැති කාර්යාලයේ ලේකම් වරයෙකු ලෙස සේවය කරන සුදත් වික්‍රමාරච්චි නමැත්තෙකි. අනතුර සිදුකළ වාහනය මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ පොහොට්ටු මැතිවරණ ව්‍යාපාරය පිණිස කුලී පදනම මත ගනු ලැබූ රථයක් බවටද තොරතුරු වාර්තා විය. 

අපොස උසස් පෙළට පළමුවරට පෙනී සිටින සිසුවෙකු නම් ඔහුට රියැදුරු බලපත්‍රයක් තිබිය නොහැකි ය. කෙසේ වෙතත් අනතුර සිදු කළ රාජකීය සිසුවා මීට මාස කිහිපයකට පෙරද තවත් මෙවැනිම අනතුරක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අතර මේ අනතුරින් පසුව අදාල වාහනය මෙන්ම රිය පැදවූ සිසුවාද පොලිස් අත්අඩංගුවෙන් ඉක්මනින්ම මුදා හැරියේ අගමැති කාර්යාලයේ සිටි සුදත් වික්‍රමාරච්චිගේ අනුහසිනි. 

පාදය මයියොක්කා බඩයක් මෙන් බිඳී ඇවිද ගැනීමට නොහැකි බරපතල තත්වයක සිටි අනතුරට පත් හමුදා නිලධාරියා පසුගිය 24 වන දින කොළඹ දකුණ ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු වාට්ටුවට ඇතුලත් කළ අතර ශළ්‍යකර්මයකට භාජනය කිරීමෙන් පසු දැන් 20 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබයි. වෛද්‍ය වාර්තා අනුව ඔහුගේ වම් පාදයේ දණහිසට පහලින් අස්ථි දෙකම සිවු පොලකින් බිඳී ගොස් ඇති අතර තවත් තුවාල සිරුර පුරා දක්නට ලැබේ. ඔහුගේ තත්වය බරපතල ය. 

පොල්හේන්ගොඩ හංදියේ මාර්ග සංඥාවල සිට අනතුර සිදු කරන ලද ස්ථානය දක්වා මග දෙපස ඇති ආරක්ෂක කැමරා පද්ධති පරික්ෂා කරන්නේ නම් වාහනයේ වේගය, මහා මාර්ග නීති උල්ලංඝණය කරමින් එය පදවන ලද අපරීක්ෂාකාරී ආකාරය ඇතුළු තවත් තොරතුරු පහසුවෙන් ලබාගත හැකි ය. නමුත් නීති ගරුක රටක් හදනවා යැයි මොර දෙන අය නිහඬ ය. 

අනතුර සිදු කළ සිසුවා ඉක්මනින් මුදා හැරීම මෙන්ම, නිසි පරීක්ෂණ සිදු නොවීමට හේතුව අගමැති කාර්යාලයේ මැදිහත් වීමයි. සුදත් වික්‍රමාරච්චි ඇතුළු අගමැති කාර්යාලයේ රණවිරු ප්‍රේමය කෙසේද යත් අඩුගණනේ මේ ඉහළ හමුදා නිලධාරියා බැලීමට හෝ ඔහුට අවශ්‍ය උදව්වක් උපකාරයක් කිරීමට හෝ කිසිවෙකු මේ දක්වා ඉදිරිපත් වී නැත. 

බන්දුල ජයරත්න රණවිරුවාට නීතියේ පිළිසරණත් නැත. මානුෂික පිළිසරණත් නැත. නමුත් දේශපාලන වේදිකාවේ රණවිරුවන් ‍‍‍‍‍ඕල් සේල් විකුණති...!

අනතුර සිදුවූ අවස්ථාවේ සහ දැන් රෝගියාගේ තත්ත්වය දැක්වෙන සේයාරූ මෙහි දැක්වේ. 


Comments