ජනපති, මාළු අල්ලන හැටි කියා දිය යුතුය

 Syndicated from ravaya,

සමෘද්ධි ව්‍යාපාරය රටට බරක් නොවන ලෙසට හා දුගී ජනයා බලගන්වන වැඩසටහනක් ලෙස පවත්වාගෙන යා යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කර තිබුණි. 2017 වසර වනවිට ලෝක බැංකුව ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවක සඳහන් වූයේ මෙරට සමෘද්ධි ව්‍යාපාරය දුගී ජනයා නගා සිටුවන වැඩසටහනක් බවට පත්ව නැති බවය. ජනසවිය, සමෘද්ධිය හෝ අන් කවර නමකින් හැඳින්වුවත් එම වැඩසටහන්වල ප්‍රකාශිත අරමුණ දුගී බව තුරන් කිරීම වුවත්, නොසිදුවූයේද එයමය. එබැවින් සෑම කලෙකම දුගී බව තුරන් කරන වැඩසටහන් කරගෙන යෑමට සිදුව තිබෙන්නේ රටට බරක් ලෙසමය.


මෙම වැඩසටහන්වල මූලිකවම දක්නට ලැබුණු දුර්වලතා කිහිපයක් තිබුණි. එකක් නම් ඒවා දේශපාලනීකරණය වූ වැඩසටහන් බවට පත්ව තිබීමය. සහනලාභීන් ආණ්ඩුවලට සහාය නොදුන් අවස්ථාවල ජනසවිය මෙන්ම සමෘද්ධියද කැපී ගිය අවස්ථා තිබුණි. ඇතැම් විටෙක රුපියල් 500/-ක් හෝ 1000/-ක් වෙනුවෙන් ග්‍රාමීය ප්‍රදේශවල කුඩා සංවර්ධන ව්‍යාපෘතිවල පැය කිහිපයක් වැඩ කිරීමට සමෘද්ධිලාභීන්ට බල කෙරිණි. සමහර අවස්ථාවල පසුගිය දිනවල දුන් කොවිඞ් සහනාධාරය ධනවත් අයටත් ලැබුණා සේ සමෘද්ධි, ගම්වල ඇති හැකි අයටත් ලැබුණි. සමෘද්ධි නිලධාරීන්ගේ හිතවත්කම් මත වැඩසටහනට තෝරා ගැනීම හෝ කපා හැරීම සිදුවන අවස්ථා තිබුණි.


ලංකාවේ දුප්පත්කම තුරන් කිරීමේ හා අනෙක් අතට දුප්පතුන් නගා සිටුවීමේ ණය සහන වැඩසටහන්වල තිබුණු ලොකුම දුබලතාව වූයේ නිසි අධීක්ෂණයක් හා නියාමනයක් නොමැතිකමය. සමෘද්ධි ණයවල සිට ක්ෂුද්‍ර මූල්‍ය ණය වැඩසටහන් දක්වා මේ තත්ත්වය කැපී පෙනේ. සමෘද්ධි ණය වැඩසටහන්වල තරම්වත් සොයා බැලීමක් ක්ෂුද්‍ර මූල්‍ය ණය වැඩසටහන්වල නැත. එය අද වනවිට තනිකරම නින්දිත ජාවාරමක් බවට පත්ව ඇත.


සමෘද්ධි ආරම්භ වී මේ වනවිට වසර 25කි. මේ කාලය තුළ ඇතැමුන් වැඩසටහනින් අත් හැරෙන්නට ඇත්තේ ඔවුන් ඒ තුළින් දරිද්‍රතා රේඛාවෙන් උඩට පැමිණ යහපත් ආර්ථික තත්ත්වයක් ළඟා කරගත් නිසා විය නොහැකිය. රුපියල් 500/ක් හෝ 1000/-ක් හෝ 2500/-ක් වැනි දීමනාවක් තුළින් දින කිහිපයක් ජීවත් වනවා විනා එමගින් අනාගත ආර්ථික සුරක්ෂිතතාවක් සඳහා පදනම දමා ගත නොහැකිය. සමෘද්ධි ව්‍යාපාරයෙන් දුප්පත්කම තුරන් වනවා නම් ඒ සඳහා ගෙවුණු වසර විසිපහ ප්‍රමාණවත්ය. එහෙත් සිදුව තිබෙන්නේ හැමවිටම රජය තවත් සමෘද්ධිලාභීන් පන්දහසකට, දසදහසකට දීමනා දෙන බව පැවසීමය. එහි හරස් අරමුණ ඡන්ද දේශපාලනයය. මේ අතර ස්වෝත්සාහයෙන් දියුණු වූ සමෘද්ධිලාභීහු සිටිති. එහෙත් ඔවුන් දියුණු වී ඇත්තේ සමෘද්ධියෙන් නොව පසුකාලීනව විවිධ ආදායම් වර්ගවලට යොමුවීමෙනි.


රජයක් දුප්පත් ජනයාගේ දිවි රැක ගැනීමට සහන වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුය. ඔවුන් සහන දීමනා ඉක්මවා ණය වැඩසටහන් මගින් ආර්ථික ශක්තියක් ඇති පිරිසක් බවට පත්කර ගැනීමට නම් ණය ලබාදිය යුත්තේ කිසියම් ව්‍යාපෘතියක් සඳහාය. යම් නිෂ්පාදන ක්‍රියාවක් සඳහාය. වැදගත්ම දේ වන්නේ ණය වැඩසටහන් උපයන ඉලක්ක සහිත වැඩසටහන් බවට පත්වීමය. මෙරට සහන ණය ලබන අතිබහුතරයකට කළමනාකරණයක් නැත. ඔවුන්ගේ ආදායමට වඩා වැය වැඩිවන විට යෙදවුම් ප්‍රාග්ධනය යළි නොදැනීම පාරිභෝජනය සඳහා වැය කරයි. මෙය ග්‍රාමීය සමාජයේ ස්වයං රැකියාකරුවන්ගේ දරිද්‍රතාවට ප්‍රධානම හේතුවකි.


රටට බරක් නොවන ලෙස සහන වැඩසටහන් හා ණය වැඩසටහන් පවත්වාගෙන යෑමට නම් රජයට අමාත්‍යාංශ මට්ටමින් සාධනීය කාර්ය භාරයක් කළ හැකිය. ඉන් එකක් වන්නේ ග්‍රාමීය ආර්ථිකය නැංවීම නව අමාත්‍යාංශ විෂය පථයන් සමග සහසම්බන්ධ කිරීමය. සමෘද්ධි ණය වැඩසටහන් හා ක්ෂුද්‍ර මූල්‍ය ණය වැඩසටහන් එසේ ග්‍රාමීය ආර්ථිකය නැංවීමේ අමාත්‍යාංශ විෂය පථයන් සමග ගැට ගැසිය හැකිය. මැටි කර්මාන්තය, බතික්, අත් යන්ත්‍ර, රෙදිපිළි නිපදවීම, වේවැල් හා කොහු නිෂ්පාදන වැනි ක්ෂේත්‍රයන් කරා ණයලාභීන් යොමු කොට ඊට අදාළ අමාත්‍යාංශ යටතේ නියාමනය සහිතව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කළ හැකිය. අධීක්ෂණය, නිෂ්පාදන විවිධාංගීකරණය පමණක් නොව නිෂ්පාදන සඳහා වෙළෙඳපොළක් සොයා දීමද එම අමාත්‍යාංශවලට කළ හැකි කාර්යයන්ය.


මෙම නිෂ්පාදන ක්‍රියාවලිය අතරතුර ස්වයං පාරිභෝජන රටාවකටද දරිද්‍රතා රේඛාවෙන් පහළ සිටින ජනයා යොමු කිරීම රජයට කළ හැකිය. කොවිඞ් සමයේ ජනතාව ගෙවතු වගා සංකල්පයට යොමු විය. සහල් හා කුළුබඩු හැර දෛනිකව පාරිභෝජනයට අවශ්‍ය එළවළු, පලා, මිරිස්, අල, බතල වැනි වර්ග කිහිපයක් ගෙවතු වගාව තුළින් සම්පාදනය කරගත හැකිය. එය ක්‍රමයෙන් වර්ධනය කරගතහොත් එළවළු පාරිභෝජනය සඳහා යන වියදම සෑහෙන ප්‍රමාණයකින් අඩුකර ගත හැකිය. එම මුදල්වලින් කොටසක් බෙහෙත් හා තවත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවලට වියදම් කළ හැකිය. ණය ආධාර මගින් කවර කර්මාන්තයක් ඇරඹුවත් මුලින් මුදල් ලැබෙනු ඇත්තේ සුළු වශයෙන් බැවින් ප්‍රයත්නය ස්ථාවර වනතුරු මෙවැනි අරපිරිමැසුම්දායක ක්‍රමයක් අත්හදා බැලිය හැකිය. රටට බරක් නොවන ලෙස සහන හා ණය යෙදවුම කළහැක්කේ ජනතාවත් සීරුවෙන් ක්‍රියාකළහොත්ය. ආදායම් මාර්ග සුරක්ෂිත කරන ක්‍රමයකුත් අද රටට අවශ්‍යය. ජනපතිට කිවයුත්තේ නිලධාරීන් මගින් මෙම දැනුම ජනතාවට ලබාදිය යුතු බවය. ජනපති කළයුත්තේ ජනතාවට මාළු දීම නොව මාළු අල්ලන හැටි හා කළමනාකරණය කරගන්නා හැටි කියාදීමය. ■


Comments

  1. Borgata Hotel Casino & Spa - JetBlue Vacations
    Located just 아산 출장마사지 minutes from 남원 출장안마 Atlantic City Boardwalk, Borgata Hotel Casino 여수 출장마사지 & Spa is a 전주 출장마사지 short drive from the Boardwalk and 파주 출장마사지 Boardwalk. This luxury resort is also

    ReplyDelete

Post a Comment