රනිල් පමණක් නොව කෘත්‍යාධිකාරී මණ්ඩලයත් ඉල්ලා අස්වෙනු..! යළි පුනර්ජීවනය ගෙන ආ හැක්කේ කරුට පමණයි..! - එජාප හිටපු මන්ත්‍රීවරුන්ගේ සංගමය

 Syndicated from lankaenews,

(ලංකා ඊ නිව්ස් -2020.අගෝ.28, ප.ව.10.20) ජනතාව ප්‍රතික්ෂේප කළ රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් යුතුවා පමණක් නොව ඔහුගේ සියළු අකටයුතුකම් හිරිකිතයකින් තොරව අනුමත කළ කෘත්‍යාධිකාරී මණ්ඩලය ද වහාම ඉල්ලා අස්විය යුතු බවත්, නායකත්වය ඔ්නෑ යයි කියමින් කුළල් කා ගන්නා අයද පරාජිතයන් බැවින් කිසිවෙක් ඒ සඳහා සුදුසු නොවන අතර මේ අවස්ථාවේ එජාපයට නායකත්වය දීමට එකම සුදුස්සා කරු ජයසූරිය බවත් එක්සත් ජාතික පක්ෂ හිටපු මන්ත්‍රී වරුන්ගේ සංගමයේ විධායක සභාව ඒකමතිකව තීන්දු කර තිබේ. ඊයේ රැස්වූ එම සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනය සම්පූර්ණයෙන් පහත දැක්වේ. 

පසුගිය මැතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් තරඟ කළ එජාපයට පාර්ලිමේන්තුවේ කිසිදු අසුනක් හිමි නොවූ අතර පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළුව සියළුම අපේක්ෂකයන්ගේ ඇප මුදල පවා අවලංගු විය. නමුත් එජාප විකල්ප කණ්ඩායමට පාර්ලිමේන්තුවේ ආසන 53 ක් හිමි විය. මේ අනුව මෙය එජාපයේ පරාජයක් නොව රනිල් වික්‍රමසිංහ මහතාගේ පරාජය විය. එය පරාජයකටත් වඩා ජනතාව විසින් කරණ ලද පූර්ණ ප්‍රතික්ෂේප කිරීමක් විය.

මෙය අහඹු සිදුවීමක් ලෙස අපි නොසලකන්නෙමු. ඔහු නායකත්වයට පත් වූ දා සිට පැවැති සෑම මැතිවරණයක දී ම ලැබුණු ප්‍රතිඵල අනුව රටේ ජනතාව එජාපයට අනතුරු ඇඟවීම් කෙළේය. එහි කූඨප්‍රාප්තිය ලෙස 2020 අගෝස්තුවේ මැතිවරණයේ දී නායකයා ඇතුළු ඔහුගේ අනුගාමිකයන් සියළු දෙනාම ජනතාව පිළිකුල් සහගත ලෙස ප්‍රතික්ෂේප කෙළේය.

රනිල් පක්ෂය වැනසූ හැටි..

රනිල් වික්‍රමසිංහ මහතා එජාපයේ නායකත්වය දැරූ පසුගිය අවුරුදු 26 ක කාලය තුල පක්ෂය කිසි විටෙකත් පක්ෂය ජයග්‍රාහී මාවතකට ගෙන යාමට නොහැකි විය. ඔහු අපේ ජනතාව වෙනුවෙන් පෙනී නොසිටියේ ය. ඔහු සැම විටම විදේශ බලවේග, ඔහු වට සිටි රාජ්‍ය නොවන සංවිධාන, ආර්ථික ඝාතකයන් හා විශාල ප්‍රමාණයේ ගනුදෙනු කරුවන් වෙනුවෙන් පෙනී සිටියේ ය. මහජන දේපොළ අයථා ලෙස සිය හිතවතුනට කොල්ල කෑමට මග සැලසුවේ ය. රටේ අති බහතරයක් වන සිංහල බෞද්ධ ජනතාවට පිටුපෑවේ ය. ඔහු ඉතා ප්‍රබල ලෙස රට බෙදන පෙඩරල්වාදය වෙනුවෙන් පෙනී සිටියේ ය. එසේම ඔහු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට පක්ෂය හැර යන තැනට සූක්ෂම ලෙස කටයුතු කෙළේය. නවකයන් යොදා ජ්‍යෙෂ්ඨයන්ට පහර ගැසුවේ ය. පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර වලට ඡන්ද පදනමක් ඇති ජනතාව ගරු කරන දර්ශනයකින් යුත් පුද්ගලයන් පත් කරනු වෙනුවට තමන්ට හිතවත් අක්මුල් නැති හර සුන් පුද්ගලයන්ට එම තනතුරු ලබා දුන්නේ ය. කිසි විටෙකත් සමාජයට වද්දා නොගත යුතු පුද්ගලයන් ඔහු කිසිදු හිරිකිතයකින් තොරව පක්ෂයට කැඳවා‌ගෙන විත් නිල තල හා තාන්න මාන්න ප්‍රදානය කෙළේය. පක්ෂයේ තිබූ වටිනා හර පද්ධති විනාශ කෙළේය.

ඔහු කිසිවිටෙකත් ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු නොකළා පමණක් නොව ඉතා සියුම් ලෙස ඊට අනුබල දුන්නේ ය. යුද්දය පැවැති අවධියේ දී පක්ෂයේ විවිධ පුද්ගලයන් ලවා යුද ජයග්‍රහණ බාල්දු කෙළේය. ජාත්‍යන්තරය ඉදිරියේ දී අපගේ හමුදාවන් පාවා දුන්නේ ය. 

ඔහු පක්ෂයේ නායකයා ලෙස කටයුතු කිරීමේ දී කිසිදු නායකත්ව ගුණාංගයක් ඔහු තුල නොතිබුණි. කිසිදු දැක්මක් දර්ශනයක් නොමැති අදූරදර්ශී බොල් මිනිසෙකු විය.

ඔහු සිය තනි අභිමතයට සිංගප්පූරු පුරවැසි අර්ජුන් මහේන්‍ද්‍රන් ගෙන්වා මහ බැංකුවේ අධිපති ධූරය පිරිනැමුවේ ය. මහ බැංකුව මුදල් අමාත්‍යාංශයෙන් වෙන්කොට අගමැතිවරයා ලෙස ඔහු යටතට ගත්තේ ය.

මහ බැංකු බැඳුම්කර වංචාව එජාපයේ පරාජයේ අඩිතාලම විය. ඔහු මත්තල ගුවන්තොටුපොල වී ගබඩාවක් කෙළේය. කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියේ පිහිටි සබීතාපාය ගොඩනැගිල්ලට ගෙන යාමේ දී සිදු වූ දූෂිත ගනුදෙනු වලට අනුග්‍රහය දැක්වීය. මෙවැනි කටයතු පිළිබඳව කරුණු ඔ්නෑ තරම් දැක්විය හැකිය. නමුත් ඒ සියල්ල වෙනුවෙන් ජනතාව නිසි තීන්දුවක් පසුගිය මැතිවරණයේ දී ලබා දුන්නේ ය.

සියළු දෙනාම පරාජිතයන්....

එක්සත් ජාතික පක්ෂයට යළි නැගිටීමට අවශ්‍ය නම් නායකත්වය මේ මොහොතේ වහා වෙනස් විය යුතුය. අන් සියල්ල ආරම්භ වන්නේ ඉන් පසුව ය.

පසුගිය මැතිවරණ පරාජයෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතාම පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර ඇත. මෙවැනි දැවැන්ත විනාශයක් පක්ෂයට හා රටට  කළ පුද්ගලයෙකු පක්ෂ නායකත්වයේ නොසිට වෙනත් සුදුසු පුද්ගලයෙකුට ඉඩ සලසමින් අප්‍රමාදව ඉවත්ව යන ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අපි ඉල්ලා සිටිමු. 

එලෙසම ඔහුගේ සියළු කටයුතු කිසිදු හිරිකිතයකින් තොරව අනුමත කරමින් කටුයුතු කළ පක්ෂයේ කෘත්‍යාධිකාරී සභාවද ඉල්ලා අස්විය යුතු බවට අපි ඉල්ලා සිටිමු.

තවද දැනට පක්ෂයේ විවිධ තනතුරු බෙදා ගැනීමට කුලල් කන කිසිදු පුද්ගලයෙකු මෙහි නායකත්වයට හෝ කිසිදු වගකීමක් දැරීමට සුදුසු නොවන බව අපි යෝජනා කරමු. එය‌ට හේතුව ඔවුන් සියළු දෙනාම පරාජිතයන් වන අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට දූෂිත චෝදනා ඇති බැවින් හා පක්ෂයට අපකීර්තියක් ගෙනා අය මෙන්ම පක්ෂයේ පරාජය ඔවුන්ද වගකිව යුතු බැවින් ය.

යළි පුනර්ජීවනයක් ඇති කළ හැකි එකම පුද්ගලයා..

මේ නිසා පක්ෂය ජනතාවට තුලට ගෙන යා හැකි, සිංහල බෞද්ධ නායකයෙකු හා විවිධ හේතු මත පක්ෂය හැර ගිය සියළු දෙනාම ඒකරාශී කළ හැකි පරිණත පුද්ගලයෙකු ලෙස හිටපු කතානායක ගරු කරු ජයසූරිය මැතිතුමාට පක්ෂයේ නායකත්වය ගන්නා ලෙස අපි ආරාධනා කරමු. එසේ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වූ මධ්‍යස්ථ මතධාරී පරිණත පුද්ගලයෙකු ලෙස පක්ෂයේ නායකත්ව වගකීම බාර ගන්නා ලෙස අප සංගමය ඔහුට යෝජනා කරමු.

මෙම අර්බුදකාරී අවස්ථාවේ පක්ෂය සම්පූර්ණයෙන්ම නගා සිටුවා යළි පුනර්ජීවනයක් ඇති කළ හැකි එකම පුද්ගලයා ලෙස එය ජයග්‍රාහීව ඉදිරියට ගෙන යන ලෙස ගරු කරු ජයසූරිය මැතිතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

උපාලි අමරසිරි

ලේකම්
එජාප හිටපු මන්ත්‍රීවරුන්ගේ සංගමය.


Comments