අපි වින්දිතයව තනි කරන්නේ නැහැ

 Syndicated from samabima,

හිටපු හමුදා සෙබළෙක් වුන හෙට්ටිපොළ, සමන්ත පෙරේරා නොකල වරදකට පොලිසිය බාරයට පත්වෙලා එහිදි වධහිංසාවට ලක්වීමන් අනතුරුව ඔහු අපි ළඟට එන්නේ බරපතළ ලෙස මානසිකව කඩා වැටිලා. ඒ වන විට අපේ සංවිධානය සම්පූර්ණයෙන්ම වැඩ කළේ වධහිංසාවට අදාළ සිදුවීම් වෙනුවෙන් පමණයි. අපි දන්නවා පුද්ගලයෙක් වධහිංසාවට ලක්වුනාම ඒක ශාරීරිකව විතරක් නෙවෙයි මානසිකවත් තදින් බලපාන බව. අපි ඇත්තටම මේ සිදුවීමේදි උත්සාහ කළා ඔහුට අපි සමඟ ආරක්ෂාවක් තිබෙන බව ඒත්තු ගන්වන්න. වින්දිතයා අපි සමඟ විශ්වාසයෙන් කටයුතු කරන්නේ එහෙම හැඟීමක් ඇති කළොත් විතරයි. විශේෂයෙන්ම පොලිස් වධහිංසාවකදි වින්දිතයා බියෙන් සිටින්නේ නැවත තමන්ට එවැනි කරදරයකට මුහුණ පාන්න වෙයිද කියල. තමන්ට සිදුවුන අසාධාරණයට යුක්තිය ඉෂ්ට කරගන්න වින්දතයාට උවමනාව තිබුනත් පොලිසිය හෝ එවැනි රාජ්‍ය නිලධාරියෙකුට එරෙහිව නඩු කටයුත්තකට මැදිහත්වීමට ඔවුන් තුළ විශාල බියක් තිබෙනවා. වධහිංසාව සම්බන්ධ සිදුවීම් ඉදිරියට නොයන්න මේකත් එක හේතුවක්.

මෙවැනි සිදුවීම්වලදි අපි විශාල අභියෝගයන්ට මුහුණ දෙනවා. සමහර අවස්ථා තිබෙනවා වධහිංසාව සම්බන්ධ නඩුකරය කැඳවමින් තිබියදීම වින්දිතයා එම නඩුවෙන් ඉවත්වීමට උත්සාහ කරන අවස්ථා. ඒකට හේතුව තමයි ඒ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් වින්දිතයට බලපෑම් කරනවා බොහෝ අවස්ථාවලිඅපි ඔයාට මේ තරම් මුදලක් ගෙවන්නම්, මේ නඩුව ඉවත් කර ගන්න’ කියල. මේ වැfඬ් ඇතුළෙදි අපිට දරාගන්න අමාරුම දේත් ඒක. මොකද ඒ වෙන කොට අපි මේ අසාධාරණයට යුක්තිය ඉෂ්ට කර ගැනීම වෙනුවෙන් නීතිමය පියවරයන්ට මහන්සි වෙලා. මේ නිසාම අපි සාමාන්‍යයෙන් එක් නඩු වාරයක් හෝ කතා කරනකම් ඒ අදාළ වින්දිතයා සමඟම ඉන්නවා.

දැන් මේ කියන සිදුවීමෙදිත් අපි මේ වගේ සිද්ධියකට මුහුණ දුන්නා. පොලිසියේ බලපෑම් නිසාම වින්දිතයා උත්සාහ කළා නීතිමය ක්‍රියාමාර්ග වලින් ඉවත් වෙන්න. නමුත් අපි ඒ පුද්ගලයගේ මව සමඟත් දිගින් දිගටම කතා බහ කරමින් මෙහි අවශ්‍යතාව පැහැදිලි කළා. ඒ වගේම අපි ඒ ගමට ගිහින් රැස්වීම් තිබ්බා, මේ සිදුවීමට අදාළව උද්ඝෝෂණ කළා. අපි ඒ විදියට ඒ වින්දිතයා තුළ විශ්වාසයක් ඇති කළා ඔහු වෙනුවෙන් කණ්ඩායමක් පෙනී සිටින බවට. ඒ විශ්වාසය ගොඩනැගුවට පස්සේ සාමාන්‍යයෙන් වින්දිතයින් ඔවුන්ගේ අරගලය දිගටම කරගෙන යනවා. මෙතැනදි වින්දිතයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්ෂාන් ඩයස් මහත්මයා විශාල සහයෝගයක් දුන්නා මේ නඩුව අවසානය දක්වා අරන් යන්න.

මෙවැනි නඩුවලට දීර්ඝ කාලයක් ගත වෙන එක ඇත්තටම විශාල ප්‍රශ්නයක්. මොකද එහෙම කල් යද්දි වින්දිතයන්ට සහ සාක්ෂිකරුවන්ට අදාළ වැදගත් සාක්ෂි අමතක වෙනවා. ඒ වගේම නඩුවක් ඇදි ඇදි යන අතරේ පොලිසිය වගේම අදාළ චූදිත පාර්ශ්වවලින් එන බලපෑම් නිසාම වින්දිතයින් දුර්වල වෙනවා. විශේෂයෙන්ම සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමත් අපට විශාල අභියෝගයක්. මොකද සාක්ෂිකරුවන්ට මෙවැනි අවස්ථාවක තදින් බලපෑම් ඇති කෙරෙනවා. මේ අභියෝග මැද වුනත් අපි උත්සාහ කරන්නේ මෙවැනි සිදුවීම් තවදුරටත් සිදු නොවීම වෙනුවෙන් කටයුතු කරන්න. ඒ වෙනුවෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයත් ජාතික සාම මණ්ඩලයත් අද අපිට ශක්තියක් වෙලා තිබෙනවා.

කුසුමා සිල්වා සමඟින් සාකච්ඡා කර සකස් කරන ලද්දේ ජයනි අබේසේකර විසිනි

Comments