’සතුට’ - නව කැබ්නට් මණ්ඩලය පත්කීරීමේ පදනමයි

 Syndicated from lankanewsweb,

හතරවන රාජපක්ෂ යුගයේ නවතම කැබිනට් මණ්ඩලය වූකලී ඩිජිටල්, තිරසර සංවර්ධන, ක්‍රිස්තියානි, මුස්ලිම්, ජාතික ප්‍රතිපත්ති, සමාජ සවිබල ගැන්වීම්, දක්ෂිණ සංවර්ධන, ජාතික සංවාද, ගුවන්සේවා ආදී එක් එක් අරුමෝසම්, විච්චුරණ, තොරම්බල් නැති දන්න කියන විෂයන් අනුවම පමණක් අමාත්‍යාංශ බෙදා වෙන්කළ කැබිනට් මණ්ඩලයකි. එහි අළුත් මුහුණු නැතිවා මෙන්ම අළුත් අමාත්‍යාංශද නැත.

විෂයන් සහ අමාත්‍යාංශ බෙදා වෙන්කිරීමේ පදනම ගතානුගතික ස්වරූපයක් ගත්තාවුවද, එකී අමාත්‍යාංශය සදහා ඇමතිවරුන් තේරීමේ පදනමවී ඇත්තේ පොහොට්ටු සන්ධානයේ කුඩා පක්ෂවල නායකයින්ට නිසි නියෝජනයක් ලබාදීමය. ඔවුන් සතුටු කිරීමය. ඇමතිවරු 26 දෙනා අතරින් කොලබ දිස්ත්‍රික්කයෙන් පමණක් ඇමතිවරු 05ක් පත්වන්නේද, හම්බන්තොටින් 3ක් පත්වෙන්නේද, රත්නපුරයෙන් ඇමතිවරු2ක් පත්වෙන්නේද, විමල්, ගමන්පිල, දිනේෂ්, අමරවීර, වාසු යන පොහොට්ටුවේ කුඩා පක්ෂවල නායකයින්ට කැබිනෙට්ටුව තුල නියෝජනයක් ලබාදීමට සිදුවී ඇති නිසාමය. ගම්පහ වැනි විශාලතම ජන ග්‍රහණයක් ඇති දිස්ත්‍රිකවලට හිමිවී ඇත්තේ එක් කැබිනට් ඇමතිධුරයක් පමණි. ඇමතිධුර බෙදීමේදී ජනග්‍රහණය සහ ජාතික වැදගත්කම යන්නට වඩා සුළු පක්ෂ නායකයින්ට නියෝජනයක් ලබාදීම මුලිකවී ඇති බව පෙනීයන තවත් අවස්ථාවක් ලෙස ජාතික වැදගත්කමකින් යුතු ධීවර වැනි අමත්‍යාංශයක් ඩග්ලස් දේවනාදන්ට හිමිවීම තුල වුවද දැක්ය හැකිය. ඊට අමතරව පොහොට්ටුවේ නායක චරිතවලට මොන චෝදනා පැවතියද මුල් පුටුටික ලබාදීමටද කටයුතු කර ඇත. බැරිම නම් ඊලග පුටු ටික හෝ ලබාදී ඔවුන් සතුටු කිරීමට කටයුතු කර ඇත.

ඒ අනුව කැබිනට් මණ්ඩලය පත්කිරීමේ ඇති සීමාවන් ඉක්මවා යෑමට රාජ්‍ය ඇමතිධුර පත්කිරීම තුල උත්සහකර තිබුණි. එහිදී ඇතම් විෂයන් සදහා රාජ්‍ය ඇමතිවරු පත්කිරීමෙදී එම විෂය සහමුලින්ම පාහේ එක් දිස්ත්‍රිකයකට ලඝු කිරීමද දැකිය හැක්කකි. උදාහරණයක් ලෙස මහවැලි ඉඩම් සහ මහවැලි අමාත්‍යංශයේ විෂය ක්ෂේත්‍රයම පොළොන්නරුවේ රොෂාන් රණසිංහ සහ සිරිපාල ගම්ලත් ආදී පොළොන්නරුවේ මන්ත්‍රීවරුන් අතර බෙදාදී ඇත. මෛත්‍රීපාල සිරිසේනට මහවැලි කැබිනට් ඇමතිකම ලබාදුනහොත් මුළු මහවැලි අමාත්‍යංශම පොළොන්නරුව දිස්ත්‍රිකයට උරුමකර දී ඇත.

අනෙක් අතට ඇතැම් රාජ්‍ය ඇමතිවරු පත්කර ඇත්තෙම කිසියම් ප්‍රජාවක්, කුලයක්, කේන්ද්‍රකරගෙනම. නැතහොත් අදාල විෂයට ඊටම ආදාල බැදීමක් හෝ පසුබිමක් ඔවුන්ට ඇතයි යන පදනම මතය. කැලණියේ ප්‍රසන්න රණවීරට වේවැල්, පිත්තල, මැටි, ලී බඩු, ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධනයද, වතුකරයේ ජීවන් තොණ්ඩමන්ට වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම්, විමලවීර දිසානායකට වනජීවි රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන කිරීමද, දයාසිරි ජයසේකරට බතික් අත්යන්ත්‍ර රෙදි සහ දේශීය ඇඟළුම් නිෂ්පාදනද, කංචන විජේසේකරට විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන ආදිය ලබා දීමද ඊට උදාහරණ ලෙස දැක්විය හැක.

ඇතැම් රාජ්‍ය ඇමතිධුරයන්දීමේදී සමහර ඇමතිවරුන්ගේ පදනම සම්පුර්නයෙන්ම නොසලකා හැර ඇතිවාක් පමණක් නොව සිය ජන පදනම්වලට බලාපොරොත්තුවූ සේවයක් කල නොහැකි අමාත්‍යංශ හිමිවී ඇති බවක්ද පෙනීයැයි. නිමල් ලන්සාට ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් සැපයීම එවැන්නැක් යැයි මට සිතේ. නිමල් ලන්සාට හිමිවූ අමාත්‍යංශය වෙනුවට ඔහුට ධීවර, සංචාරක හෝ ගුවන්තොටුපලට සම්බන්ද ඇමතිධුරයක් ලැබුනේ නම් මීගමුව, වත්තල ආදී ජනයා වඩා සතුටුවනු ඇත.

ඒ වෙනුවට නාලක ගොඩහේවාට නාගරික සංවර්ධන, වෙරළසංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු ආදී අමාත්‍යංශ ලැබීම මීගමුව ජනයාට වැඩි බලාපොරොත්තු දල්වන්නක්වී තිබේ. නාලක ගොඩහේවාගේ මැතිවරණ ව්‍යාපාරය මීගමුවේ බොහෝ පොහොට්ටු සමාජිකයින් කරට අරන් කරගෙන යන ලද්දේ නාලක ගොඩහේවා විවාහවී සිටින්නේ මීගමුවෙන්වීමත්, ඇයගේ පියා මීගමුව මාරිස්ටෙලා විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කැපී පෙනේන වැදගත් තැනැත්තෙකුවීම නිසාත් පමණක් නොව ලාංසලා වෙනුවට මීගමුවට උගත්, බුද්ධිමත් වැදගත් දේශපාලකයෙකු පත්කර ගතයුතුයැයි යන අදහසක් ඔවුන් තුල පැවති නිසාය. මීගමුවේ නාලක ගොඩහේවාගේ ජන්ද ව්‍යාපාරය කෙතරම් සාර්ථවී ඇත්දැයි පැවසුවහොත් මීගමුවේ ඇතැම් කොට්ටාශ වල නිමල් ලන්සාට වඩා නාලක ගොඩහේවාට මනාම ලැබුන බව කියවේ. ලන්සලාට වඩා ගොඩහේවාගේ අමාත්‍යංශය හරහා මීගමුවේ ජනයාට, මීගමුවට, මීගමුව නගරය සංවර්ධනය කරගැනීමට වැඩි වැඩක් ඇතැයි යන හැගීමක් දැන් මීගමුවේ ජනයා තුල ඇතිවී ඇත.

ඒ කෙසේවෙතත් නිමල් ලාංසා මෙන්ම නාලක ගොඩහේවාටද තමන්ට ලැබුන ආමාත්‍යාංශ ගැන ඉදුරාම සතුටුවෙනු ඇත. තවදුටත් ගම්පහ දිස්ත්‍රිකයේ ඈත ගම්වලට සේවය කර සිය පදනම් තවතවත් තවුරුකරගනීමට නිමල් ලන්සාට හොද අවස්තාවක් හිමිවනු ඇත.

මෙවර කූට්ටම අනා ඇත්තේ කිසියම් ආකාරයකට පොහොට්ටුවේ බොහෝ බලකණු, සුළු පක්ෂ පමණක් නොව විවිධ ඇමතිවරුන්වද සතුටු කරන අරමුනද පෙරදැරි කරගෙනමය. එය හරියට 'කෙහෙළියට කරලිය' ලැබුනා සේය. සියළු නාට්‍ය පමණක් නොව නාටක නටිකාවන් දැන් ඔවුන්ට අවැසි ලෙස රගදැක්විය හැක. ඔවුන් එසේ සතුටින් සිටිනා සද රාජපක්ෂවරුන්ටද අවැසි ලෙස කටයුතු කල හැක. එමෙන්ම ඔවුන්ගේ විෂයන්වල බර ඇදීමට මෙන්ම එම විෂයන් අවශ්‍ය ලෙස හැසිරවීමටද ඔවුන්ට දැන් හැකිය.

කෙසේවුවත් ගතානුගතිකත්වය ඉක්මවා ගිය නව විෂය ක්ෂේත්‍ර හදුන්වාදී රටේ රැඩිකල් වෙනසක් සිදුකිරීමට සමත් ප්‍රවේශයක් මේ අමාත්‍යංශ, ඇමතිවරුන් සහ විෂයන් බෙදාවෙන් කිරීම තුල දැකිය නොහැකි බව මගේ අදහසයි.

වගකීම් සහ සුදුසුකම් වෙනුවට සතුට මුල්කරගැනීම මෙවර කැබිනට් මණ්ඩලය පත්කිරීමේ පදනම ලෙස දකින මා මෙකී ඇමතිකම් බෙදාදීම අතුරින් වඩාත්ම උන්නදු සහගත, වැඩි විභවයක් පවතින කැබිනට් පත්කිරීම ලෙස දකිනුයේ නාමල් රාජපක්ෂට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ධුරය පිරි නැමීමය. රට කුමන ආර්ථික අර්බුධයකට මුහුණ දුන්නද, ජනයා කෙතරම් පීඩාවට සහ අහේනියට පත්වුවද ඔහු ශ්‍රී ලංකා ක්‍රීඩා ක්ෂේත්‍රය ඔසවා තැබීමට කටයුතු කළහොත් ලංකාව අත්කරගන්නා කීර්තිය සහ ජයග්‍රහණ ඔස්සේ ජනයා ප්‍රීතියෙන් ඔසවා තබනවා පමණක් නොව. ලාංකිකයන් සොයන වීරත්වය සහ ජයග්‍රහණයේ සාපිපාසවද පිනවා ලනවා ඇත. සතුට යනු මෙවර කැබිනට් මණ්ඩලය පත්කිරීමේ පදනම ලෙස දක්වන්නේ එහිනි.

මාකස් ප්‍රියන්ත පෙරේරා

Comments