එකම විකල්පය සමගි ජන බලවේගයයි - සජිත් ප්‍රේමදාස

 Syndicated from lankanewsweb,

සමගි ජන බලවේගය පිහිටුවා මාස පහක් ඇතුළත සියලු දුෂ්කරතා මධ්‍යයේ ලැබූ ප්‍රතිඵලය පිළිබඳව සෑහීමකට පත්වන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මේ වනවිට ආණ්ඩුවට එරෙහි එකම විකල්පය බවට පත්වීමට සමගි ජන බලවේගයට හැකි වී ඇති බවත්, තම ඒකායන අරමුණ ආණ්ඩුව පරාජයට පත්කර ආණ්ඩු බලය ලබා ගැනීම බවත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ මැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද පැවති මාධ්‍ය හමුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා,

'අපව විශ්වාස කොට අපට ඡන්දය භාවිතා කළ සියලුම ජනතාවට අපේ ප්‍රණාමය පුද කරනවා. ඔවුන් ලබා දුන් ශක්තිය අපට විශාල පන්නරයක්. මේ මැතිවරණය සාධාරණව පැවැත්වීම උදෙසා වෙහෙසුණු මැතිවරණ කොමිෂන් සභාවට, ආරක්ෂක අංශවලට, සෞඛ්‍ය අංශවලට, සියලු නිලධාරීන්ට, මාධ්‍යයට ස්තුතිය පිරිනමනවා. බලපෑම් මත වුණත් කිසියම් සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ ඉඩකඩ ලැබුණේ ඔවුන්ගේ කැපවීම නිසයි.'

'සමගි ජන බලවේගය බිහිවන්නේ ඊට මාස පහකට පමණ පෙර. එක පැත්තකින් කොරෝනා ව්‍යසනය, අනෙක් පැත්තෙන් විවිධ කකුල් මාට්ටු සහ බාධක ඇතුළු විශාල ප්‍රශ්න රාශියක් මැද අපි මේ ගමන ආවා. අපි බොහොම අමාරු ගමනක් ආවේ. හැබැයි ජනතාව ඔප්පු කළා වැදගත් වන්නේ ගොඩනැගිලි සම්පත නොව මිනිස් සම්පතයි කියන දේ. අපිව වට කරලා අපිට ගල් ගහද්දී, මඩ ගහද්දී, ඊරිසියා කරද්දී මේ රටේ ජනතාව අප කෙරෙහි විශ්වාස තිබ්බා.'

'සමගි ජනබලවේගය  ලියාපදිංචි කරලා මාස පහක් වගේ කාලයක්. මැතිවරණ මෙහෙයුමට තිබුණේ  මාස එකහමාරයි. මේ ලැබූ ප්‍රතිඵලය සුවිශේෂී ඒ නිසයි. 1952 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා බලය ගන්න වසර හතරක කාලයක් ගියා. ඊට පස්සේ පොදුජන පෙරමුණත් බලය ගන්න වසර හතරක් පමණ ගියා. නමුත් අපි සමගි ජනබලවේගය විදිහට මාස හතරකදී මේ ප්‍රතිඵල පෙන්නුවා.'

'අපිට අපිව බිහිකරන්න මුල් වූ පක්ෂයේ සහය ලැබුණේ නෑ. පක්ෂ කාර්යාලයක්වත් හරියට තිබුණේ නෑ. මහා පරිමාණ මාධ්‍ය සහයක් නෑ. වියදම් කරන්න විශාල මුදලක් තිබුණේ නෑ. මේ කෙටි කාලය තුල අපේ ශාඛා සමිති පිහිටුවන්න කාලයක් තිබුණේ නෑ .පක්ෂ යාන්ත්‍රනය ශක්තිමත් කරන්න අවශ්‍ය වැඩ පිලිවෙල ක්‍රියාත්මක කරන්න කාලයක් තිබුණේ නෑ.'

'මැතිවරණ සටන පටන් ගත්ත දවසේ ඉදලා විවිධාකාර නඩු අපට දැම්මා. එක වෙලාවක කීවා අපි ලියාපදිංචි නෑ කියලා. තව වෙලාවක කීවා අපේ නාමයෝජනා අහෝසියි කියලා. සම බිමක් අපට තිබුණේ නැහැ. මේ සියල්ල මැද ජනතාව අපිට ඡන්දය දුන්නා .අපේ ගමන අනුමත කළා. අපි හෙට නෙවේ අද සිටම අපේ වගකීම ඉටු කරනවා. ජනතාව වෙනුවෙන් අපි අපේ ගමන ආරම්භ කරනවා.'

'අපට ඡන්දය දුන් නොදුන් සියලු දෙනාටම අපේ බලවේගය තුල සෙවන තියෙනවා. දැන් මේ රටේ තිබෙන එකම විකල්ප බලවේගය සමගි ජන බලවේගයයි.'


Comments