Syndicated from lankanewsweb,
එක්සත් ජාතික පක්ෂය සිය ඉතිහාසයෙහි ලද අන්තම අන්ත පරාජය අත්පත් කරගත්තේය. ඒ, සමස්ත දිවයිනෙන්ම ඡන්ද 249,435ක් පමණක් ලබමිනි. එය ප්‍රතිශතයක් ලෙස 2.15%කි. මැතිවරණ දිස්ත්‍රික්ක 22න් එකකදීවත් එකම මන්ත්රීධුරයක්වත් දිනා ගැනීමට ඔවුන් අපොහොසත් වූ අතර ඔවුන්ට ලැබී ඇත්තේ සමානුපාතික ක්‍රමය යටතේ ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණි.
මේ, 1946 ආරම්භ වී වසර 74ක් පුරා වරින් වර මෙරට පාලන බලයත් විපක්ෂ නායකත්වයත් ඉසිළූ, මීට මාස 10කට පෙරත් රටේ ආණ්ඩු බලය හිමිකරගෙන සිටි පක්ෂයකට ගිය කලදසාවයි.
මේ ඓතිහාසික පරාජය ඔවුන්ට උරුම වූයේ පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන ලෙස පක්ෂය තුළින්ම පැමිණි ඉල්ලීම ඉදිරියේ ඔවුන් පෙන්වූ උද්දච්ඡකම නිසාය. පක්ෂයෙහි බිම් මට්ටමේ ඉල්ලීම ඉදිරියේ ඔවුන් පෙන්නූ නිලධාරීවාදී අධි මාන්නය නිසාය. Grand Old Party යනුවෙන් ඉහළ පාන්තිකයින් අතර හැඳින්වෙන, ඉහළ පාන්තික උරුමයත් අලියා ලකුණත් පමණක් සමඟ ජනතාව ඉදිරියට ගියත් තමන්ට ජනතාවගෙන් ඡන්ද ලැබෙනු ඇති බවට තිබුණු මුග්ධ අධි විශ්වාසය නිසාය.
මීට සාපේක්ෂව පක්ෂයක් වශයෙන් මුල්වරට මැතිවරණයකට ඉදිරිපත් වූ, සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය ඡන්ද 2,771,980ක් ලබාගනිමින් දිස්ත්‍රික් මට්ටමින් මන්ත්‍රීධුර 47ක් සහ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර 07ක් වශයෙන් මන්ත්‍රී ධුර 54ක් දිනාගත්තේය.
මේ ඉලක්කම් වලින් බැලූ බැල්මටම පෙනී යන්නේ එජාපයට තිබුණු ඡන්ද පදනමෙන් 90%ක්ම සජිත් පිල විසින් රැගන ගොස් ඇති බවය. ඇත්තෙන්ම එක්සත් ජාතික පක්ෂ නාමය යටතේ නායකයින් මට්ටමෙන් ඉතිරි වී සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පසු එජාප නායකත්වය ඩැහැගැනීමේ අපේක්ෂාවෙන් එහි නතර වූ පිරිසම පමණි. රවී, නවීන්, අකිල, සාගල, වජිර, දයා, රුවන් යනාදී සියලු දෙනාගේම අරමුණ වී තිබුණේ එයයි. එය අවසන් වූයේ ඒ කිසිවෙකුටත් පාර්ලිමේන්තු අසුනක්වත් දිනා ගැනීමේ අවස්ථාව අහිමි කරමිනි.
ඇත්තෙන්ම සජිත් ප්‍රේමදාස මහතා ලද ජයග්‍රහණය විජයග්රහණයක් වශයෙන් හැඳින්වීම වරදක් නැත. ඔහුට තිබුණේ අලුතින්ම හදාගත් පක්ෂයකි. ඔහුට ලැබුණු ඡන්ද ලකුණ අලුත්ම එකකි. මැතිවරණයට මුහුණ දීමට සිදුවුණේ මීට පෙර ඉතිහාසයේ නොවූ පරිදි වසංගත රෝග තත්වයක් මධ්‍යයේය. ඔහුට තම පක්ෂයේ නම සහ ඡන්ද ලකුණවත් ප්‍රමාණවත් පරිදි ප්‍රවර්ධනය කිරීමට අවස්ථාව ලැබුණේ නැත.
අනෙක් අතට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පුද්ගලිකවම මැදිහත් වෙමින් සජිත්ට සහ ඔහුගේ පක්ෂයට සියලු වැර යොදා දේශපාලනිකව පහරදුන් අතර ඒ ප්‍රහාරයට මුහුණ දෙන අතරේම එක්සත් ජාතික පක්ෂයෙන් එල්ල වූ දරුණු ප්‍රහාරවලට මුහුණ දීමට ද සජිත්ගේ කණ්ඩායමට සිදුවිය.
සජිත්ගේ පක්ෂයෙහි ජයග්‍රහණය වැළැක්වීම සඳහා එජාපය කළ හැකි සියල්ලම කළේය. සජිත්ට සහාය දුන් පළාත් පාලන නියෝජිතයින්ගේ තනතුරු අහිමි කරන බවට එජාපය තර්ජනය කළ අතර සජිත්ගේ පක්ෂය නීත්‍යානුකූල නොවන බවත් ඔවුන් ජයග්‍රහණය කළත් ඔවුන්ට පාර්ලිමේන්තුවෙහි අසුන් ගැනීමට ඉඩ නොතබන බවත් ප්‍රචාරය කෙරිණි. මැතිවරණයට ඉතාම ආසන්නව තිබියදී සජිත් පිලේ විශාල සංඛ්‍යාවක් එජාපයෙන් නෙරපූ බව ද නිවේදනය කරන ලදී. තවත් කෙණෙහිලිකම් දහස් ගණනක් සමඟ බලනවිට සජිත්ගේ ජයග්‍රහණය වැළැක්වීමට එජාපය නොකළ දෙයක් නොමැති තරම් ය.
එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ නායකයකු වශයෙන් සංවිධාන කටයුතු මෙහෙයවූ පළමු ජාතික මැතිවරණය වූයේ ද මෙයයි. එජාපයේ සිටියදී ඔහුට මෙවන් වගකීමක් දැරීමේ අවස්ථාව හිමිව තිබුණේ නැත.
මීට අමතරව මෙවර මැතිවරණ ව්‍යාපාරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මෙහෙයවූයේ දැඩි ලෙස වාර්ගික වශයෙන් ආන්තීකරණයට ලක් කරමින් වන අතර එහි තේමාව මුස්ලිම් විරෝධය වෙද්දී ප්‍රධාන මුස්ලිම් දේශපාලන නායකයින් සිටියේ ද සජිත් සමඟය. සිංහල මහජාතිවාදය අවුස්සමින් පොහොට්ටුව මුස්ලිම් දේශපාලනඥයින්ට සහ ඔවුන් නියෝජනය කළ සජිත්ගේ කඳවුරට එල්ල කළේ නින්දිත මට්ටමේ වර්ගවාදී දේශපාලන ප්‍රහාර වැලකි.
කෙසේවෙතත් සජිත් ප්‍රේමදාස මහතා මේ සියලු අවාසිසහගත තත්වයන් මධ්‍යයේ වුව ද තමන් සතු දේශපාලන ජවය මනාව පෙන්නුම් කළේය. ඔහු සති පහක් වැනි කෙටි කාලයක් තුළ කිලෝමීටර් 15,131ක දුරක් ගෙවා රට වටා යමින් ජනහමු 434ක් ඇමතුවේය. මෙම වෙනත් පක්ෂ නායකයෙකුට සිතන්නට පවා අපහසු ඉලක්කයකි. අනෙක් අතට ජාතිවාදීන්ගේ කොතෙක් ප්‍රහාරයට ලක් වුවද ඔහු තමන් සමඟ සිටි සුළු ජාතික දේශපාලන නායකයින් වෙනුවෙන් පෙනී සිටියේය. ඊට අමතරව ආණ්ඩුව නොයෙකුත් චෝදනා එල්ල කරමින් තම පක්ෂයේ මන්ත්‍රීවරුන් සිරගත කරද්දී සජිත් ඔවුන් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටියේය.
මෑතකදී ලද ජනාධිපතිවරණ පරාජයේ බරත් කරපින්නාගෙනම, ඉතාම සීමිත සම්පත් සහ සීමිත අවස්ථා ඇතිව මැතිවරණයකට මුහුණ දී, සංවිධානාත්මක පක්ෂ ජාලයක් ද නොමැතිව සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ පක්ෂය මන්ත්‍රී ධුර 54ක් දිනා ගැනීම යනු වචනයෙන්ම "වැඩකි !". ඇත්තෙන්ම ඔවුහු ටෙලිෆෝනයකින් පහර දී අලියෙකු බිම හෙළූහ !!
දැන් ඇත්තේ සජිත්ගේ බලවේගය බිම් මට්ටමේ මුල් විහිදුවන දැවැන්ත පක්ෂ යාන්ත්‍රණයක් වශයෙන් ගොඩනංවාගෙන එය ස්ථාවරය කරගැනීමේ අභියෝගයයි. එජාපයට ඇත්තේ විකල්ප දෙකකි. එක්කෝ සජිත් සමඟ එකතු වීමය, නැතිනම් දේශපාලන භූමියෙන් වඳවී යාමය.
Comments
Post a Comment