ගාලු මුවදොර රැකියා තොග වෙළෙඳ පොළ..! All Sold..! ජිනසිරි දඩල්ලගේ ලියයි

 Syndicated from lankaenews,

(ලංකා ඊ නිව්ස් -2020.අගෝ.‍28, ප.ව.8.30) දීර්ග කාලීනව අවශ්‍යවූ ප්‍රතිසංස්කරණයන්ට යොමුනොවූ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය නිසා ගොඩ ගැසෙන රැකියා විරහිතභාවය දේශපාලනයට තාවකාලික වාසිදායක තත්වයන් ඇතිකර දී ඇත. මැතිවරණ ඉලක්ක කරගෙන රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය අංශයට ගොඩ ගැසීම දේශපාලන වික්‍රමයන් බවට කාලීනව පත්වී ඇත. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිලිබඳ කොතෙකුත් කතා කලත්, ඒවාද ඵලදායි ලෙස සිදු නොවන බව නිරීක්ෂණය වන දෙයකි. රැකියා විරහිතභාවය සඳහාද ලබාදෙන මෙබඳු තොග පිලියම්ද දේශපාලන නායකයන්ගේ දැක්ම පිළිබඳව අවිචාරවත් බවක් ද නිරීක්ෂනය වේ. ක්‍රමයන්, උපායන්  හා දැක්ම (systems, stratagies and  visions) තුල ඇති නොගැලපීම් මත දස දහස් ගණනින් රාජ්‍ය සේවයට එකතුවීම හැර, රාජ්‍ය සේවය ඵලදායි භාවයෙන් ඈත්වීම හැර, මහජනතාවට රාජ්‍ය සේවය බරක් වීම හැර වර්ධනයක් හෝ සංවර්ධනයක් සිදුවී නොමැතිබව දක්නට ලැබේ.

උපාධිධාරීන්ගේ පමණක් නොව සාමාන්‍යයෙන් රැකියා විරහිතභාවය විසඳීම සඳහා ප්‍රතිපත්ති හා ක්‍රමෝපායන් කළමනාකරණය හා පහසුකරණය රජයන් වල වගකීමකි. ශ්‍රී ලංකාවේ උපාධිධාරීන්ගේ රැකියා ගැටළු  විසඳීම සඳහා තොග මට්ටමේ රැකියා දීම වෙනුවට වෙනත් විකල්ප ක්‍රම සෙවීම දේශපාලනයේ හා අදාළ විද්වතුන්ගේ වගකීමකි. එම විකල්පද පෙනෙන මට්ටමේ තිබුනත් ඒවා දේශපාලන භූමිකාවක් වෙත වෙන්කර තබා අදහසක් හෝ ඉදිරිපත් නොකරන මට්ටමට අදාළ ලේකම් වරු හා ආචාර්ය මහාචාර්ය වරු පත්වී ඇත.

රාජ්‍ය අංශය උපාධිධාරීන් සඳහා රැකියා දෙන ප්‍රබල අංශයකි. ඒ සඳහා ආයතන හා බලධාරීන් ඇත. ඒ ඒ විෂයන් වලට හෝ සේවක අවශ්‍යතාවයන් අනුව උපාධිධාරීන්ට ඇති රැකියා අවස්ථා රාජ්‍ය අංශයේ විවෘත කළ හැකිය. මධ්‍යම රජයේ හෝ පළාත් සභා පාසල් වල ගුරු පුරප්පාඩු සඳහා අදාළ අනුමැතීන් යටතේ කාලීනව හෝ වාර්ෂිකව බඳවා ගැනීමට ක්‍රමයක් හා අනුමැතියක් ස්ථාපිත කිරීම එවන් එකකි. උපාධිධාරීන් සඳහා ඇති සංවර්ධන නිලධාරී සේවාවට අවශ්‍යතාවයන් අනුව බඳවා ගැනීම සඳහා අනුමැතිය හා පහසු කම ස්ථාපිත කළ හැකිය. එබඳු ක්‍රම පසෙක ලා ගොඩගැසීමට හැර ගාලුමුවදොර රැකියා වෙළඳපොළක් නිර්මාණය කර ගැනීම දේශපාලනමය යථාර්තයකි.

රැකියා වෙළඳපොල ඉල්ලුම හා සැපයුම මත නිර්මාණය නොවන්නේනම් සැබෑ මානව සම්පත් සංවර්ධනයට එය පැහැදිලි බාධාවකි. රැකියා යනු ජීවනෝපාය සඳහාවන ප්‍රවේශයකි. එය රාජ්‍ය අංශයේ හෝ පෞද්ගලික අංශයේ හෝ ස්වයං රැකියා හෝ ව්‍යාපාරික අංශයේ විය හැකිය. එය පැහැදිලි සමාජ මතයක් හා ප්‍රතිපත්තියක් විය යුතුය. ඒ සඳහා උපාධිධාරීන් හා වෙනත් ඕනෑම කෙනෙක් යොමුකරන රාජ්‍ය ප්‍රතිපත්ති අවශ්‍ය වේ. ඒ සඳහා පහසු කරන යාන්ත්‍රණ නිර්මාණය කළ යුතුය. උපාධිධාරියාට රැකියාව සඳහා හැකියා වර්ධනයට යොමු කළ යුතුය. උපාධිය ගෙන වසර 7ක් හෝ 8ක් නිකං ගෙදරට වී සිටීම ඔහුගේ හෝ ඇයගේ කාර්යයකි. උපාධියකුත් ඇත්නම් ඒ සඳහා වටිනාකමක් ඇතිකර ගැනීම සඳහා පුද්ගලයින් පොලඹවන යාන්ත්‍රනයන්  සඳහා දැක්මක් හා යොමුවක් යුගයේ අවශ්‍යතාවය වේ. එවන් ප්‍රතිපත්ති රාමුවක් ගොඩනැගෙන්නේ නම් විශ්ව විද්‍යාල සංස්කෘතිය ද, එහි කොටස් කරුවෝ ද  ජාතික ආර්ථික හා සමාජ අවශ්‍යතාවයන් වෙනුවෙන් ඉබේටම හැඩ ගැසීමට යන්නේ කෙටි කාලයකි.

ජංගම කවුළුවක් හැරපියා රැකියා දස දහස් ගණන් ක්ෂණයකින් ගනුදෙනු කිරීම මගින් ලබන සතුටට වඩා සතුටක් සැබවින්ම ඒ මගින් ලබාගත හැකි නොවන්නේද?

ජිනසිරි දඩල්ලගේ

හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී

Comments