කොරෝනා රෝගීන් 23ක් හමුවීම නිසා චීනය කොළඹ - ෂැංහයි ශ්‍රී ලංකන් ගුවන් ගමන්වලට වැට බඳී !

 Syndicated from lankanewsweb,

පසුගිය අගෝස්තු 07 වනදා කොළඹ සිට චීනයේ ෂැංහයි ගුවන්තොටුපළ බලා ගිය ශ්‍රී ලංකන් ගුවන් යානයේ මගීන් අතරින් කොරෝනා රෝගීන් 23 දෙනෙකු වාර්තා වීම නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවයෙහි කොළඹ - ෂැංහයි ගුවන් ගමන් සති 4ක කාලයක් සඳහා අත්හිටුවීමට චීන සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර ඇති බව චීන මාධ්‍ය වාර්තා කරයි. 

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අමතරව තවත් ජාත්‍යන්තර ගුවන් සේවා දෙකක ෂැංහයි ගමන් වාර මෙසේ අත්හිටුවා ඇති බවයි එම වාර්තා වල සඳහන් වන්නේ. 

එම වාර්තා දක්වන ආකාරයට පසුගිය අගෝස්තු 03 වනදා අබුඩාබි සිට පැමිණි එතිහාඩ් ගුවන් සේවයෙහි යානයෙන් කොරෝනා රෝගීන් 06 දෙනෙකුත් අගෝස්තු 05 වනදා පිලිපීනයෙහි මැනිලා නුවර සිට පැමිණි චයිනා ඊස්ටර්න් ගුවන් සේවයෙහි යානයෙන් කොරෝනා රෝගීන් 06 දෙනෙකුත් අගෝස්තු 07 වනදා කොළඹ සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයෙහි යානයෙන් කොරෝනා රෝගීන් 23 දෙනෙකුත් හමුවී ඇති බව චීන සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කර ඇත. 

ඒ අනුව අගෝස්තු 17 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එතිහාඩ් සහ චයිනා ඊස්ටර්න් ගුවන් සේවා සඳහා සතියකුත් ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සති හතරකුත් වශයෙන් ෂැංහයි ගුවන් ගමන් තහනම් කෙරෙන බවයි එම වාර්තා සඳහන් කරන්නේ. 

https://www.chinadaily.com.cn/a/202008/12/WS5f339d75a31083481725fdf8.html

Comments