මහින්ද සහ ගෝඨාභය යුද හමුදාපති ශවේන්ද්‍ර කැඳවා කැත භාෂාවෙන් බැන වැදිලා..! ශවේන්ද්‍ර දැඩි කලකිරීමෙන්..!

Syndicated from lankaenews,



(ලංකා ඊ නිව්ස් -2020.අප්‍රේල්.20, පෙ.ව.6.40) යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා තමන් වෙත කැඳවා ඇති ජනාධිපති ගෝඨාභය සහ අගමැති මහින්ද ඔහුට ඉතාමත් අශෝභන වදනින් බැන වැදී ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වාර්තා කරයි. 
රාජපක්ෂ සොයුරන්ගේ කෝපයට හේතුවී ඇත්තේ ශවේන්ද්‍ර සිල්වා සත්‍ය කතා කිරීම ය. පසුගිය 18 දා සිරස නාලිකාවේ රාත්‍රී 10 ප්‍රවෘත්ති ප්‍රකාශයේ දී ශවේන්ද්‍ර සිල්වා කළ ප්‍රකාශයක් සහ ඔහු විසින් පක්ෂ නායක හමුවේ දී කළ ප්‍රකාශයක් රාජපක්ෂලාගේ වියරුවට හේතු වී තිබේ. 
සිරස ප්‍රවෘත්ති ප්‍රකාශයේ දී සිරස මාධ්‍යවේදියා ලබන මැයි මස 11 වෙනිදා පාසැල් විවෘත කළ හැකිදැයි යුද හමුදාපතිවරයාගෙන් ප්‍රශ්න කළ විට ඊට පිළිතුරු දෙමින් යුද හමුදාපතිවරයා කියන්නේ 11 වෙනිදාට පාසැල් හෝ විශ්ව විද්‍යාල විවෘත කළ හැකි තත්ත්වයක් නැති බවයි. එමෙන්ම ආන්දෝලයකට ලක්ව ඇති ප්‍රකාශයක් නම්   දැනට සිටින කොරෝනා අසාදිතයන් සහ නිරෝධාන මධ්‍යස්ථාන වෙත ආ පිරිස පළමු වටයේ දී ඇසුරු කළ පිරිස 40,000 ක් පමණ වෙතැයි පක්ෂ නායක හමුවක දී යුද හමුදාපතිවරයා කළ ප්‍රකාශයයි. 

ශවේන්ද්‍රට ඇත්ත තත්ත්වය කියැවේ..

මෙම ප්‍රකාශ දෙකම රාජපක්ෂලාට අවශ්‍ය තදියම් මැතිවරණය සඳහා විශාල බාධාවක් වී තිබේ. රාජපක්ෂලාට අවශ්‍ය වී ඇත්තේ තව තව තත්ත්වය බැරෑරුම් වීමට පෙර රට දැන් සන්සුන් කියා ප්‍රචාරය කොට දිනකට හෝ දෙකකට ඇඳිරි නීතිය ඉවත් කර කෙසේ හෝ මැතිවරණය තියා තුනෙන් දෙක ගැනීමට ය. මන්ද යත් කොරෝනා වසංගතය යම් දුරකට පාලනය කර ගත්ත ද ඊලඟට එන ආර්ථික අර්බුදයට මුහුණ දීමට රාජපක්ෂලාට කෙසේවත් නොහැකි නිසා ඉන්පසු මැතිවරණයකට මුහුණ දීමට සිදුවුවහොත් ඇපත් නැති වන බව දන්නා නිසා ය. 
රාජපක්ෂලාගේ දේශපාලන ඉලක්කය එසේ වුවද ශවේන්ද්‍ර සිල්වාට එසේ නොවේ. රටේ සැබෑ තත්ත්වය ගැන නියම තොරතුරු ලැබෙන්නේ ඔහුට ය. දැනටමත් මේජර් ජෙනරාල්ලා පිරිසක් සෑම දිස්ත්‍රික් ලේකම් වරයෙකුම අධීක්ෂණය කිරීම සඳහා පත් කර තිබේ. රටේ සෑම දිස්ත්‍රික්කයකම තත්ත්වය එමගින් යුද හමුදාපතිවරයාට වාර්තා වේ. ඊට අමතරව යුද හමුදා බුද්ධි අංශය විසින්ද රටේ තත්ත්වය යුද හමුදාපතිවරයාට දිනපතා වාර්තා කරයි. ඒ අනුව රටේ සැබෑ තත්ත්වය ශවේන්ද්‍ර සිල්වාට වසන් කළ නොහැකිය. ඔහුගේ මුවින් ප්‍රකාශ වූ ඉහත ප්‍රකාශ දෙකම ඔහු දන්නා සත්‍ය තත්ත්වය ප්‍රකාශ වීමකි. එසේ නමුත් රාජපක්ෂලාට එය දිරවා නැත. 

“මොකද තමුසේත් ෆොන්සේකා වගේ වෙන්න හදනවාද?”

ඒ අනුව කැඳවා ඇති ශවේන්ද්‍ර සිල්වාට අයියා මල්ලී දෙදෙනාම එකතු වී ඉතාමත් කැත භාෂාවෙන් බැන වැදී තිබේ. 
ගෝඨාභය බැන වැදී ඇත්තේ සිරසට වොයිස් කට් දීම පිළිබඳව සහ පක්ෂ නායක හමුවේ දී අනවශ්‍ය කතා කීවා කියා ය. 
සියල්ල අතරින් “මොකද තමුසේත් ෆොන්සේකා වගේ වෙන්න හදනවාද?” යි අගමැති මහින්ද ශවේන්ද්‍රට කරන ලද බැන වැදීම ඔහුගේ සිත දැඩි ලෙස පාරවා තිබේ. 
එක හේතුවක් තමන්ට ‘තමුසේ’ කියා ආමන්ත්‍රණය කිරීමත්, දෙවැන්න ‘ෆොන්සේකා වගේ වෙන්න යනවාදැ’යි ප්‍රකාශ කිරීමත් ය. (යුද ජයග්‍රහණයෙන් පසු එවක යුද හමුදාපති වූ ෆොන්සේකා තමන්ට එරෙහිව කුමන්ත්‍රණයක් කර බලය ගන්න යනවා යැයි එකල මහින්ද සහ ගෝඨාභය දෙදෙනාම සැක කර ඔහු කපා දැමූහ. නමුත් එවැන්නක් සිදුව නොතිබූ අතර ෆොන්සේකා රාජපක්ෂලා කෙරෙහි කලකිරීමට එය විශාල හේතුවක් විය)

හිත රිදුනු ශවේන්ද්‍ර 'වීඅයිපී පෙම්වතිය' හමුවෙලා..

සිද්ධියෙන් හිත රිදුනු ශවේන්ද්‍ර සිල්වා මේ දිනවල ඇසුරු කරන “වීඅයිපී පෙම්වතිය” හමුවී සිතේ ඇති වූ වේදනාව ප්‍රකාශ කර ඇත. 
“රාජපක්ෂලාට කොච්චර හොඳ කළත් වැඩක් නෑ. මං හිතන්නෙ ෆොනී ලොක්කටත් වෙන්න ඇත්තෙ මේකම තමයි” යනුවෙන් යුද හමුදාපතිවරයා දැඩි හිත් වේදනාවෙන් පවසා තිබේ.
මේ අතර ශවේන්ද්‍ර සිල්වා ගේ ධූර කාලය අවසන්වීමට ආසන්නව පවතින අතර සේවා දිගුවක් නොලැබුනහොත් ඔහුට විශ්‍රාම ගැනීමට සිදුවනු ඇත. දැනටමත් ඔහු ඉන්නේ සේවා දිගුවක් මත ය. 

-ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයේ විශේෂ වාර්තාකරුවෙක් විසිනි-


Comments