ඇත්ත තත්වය රටට නොකියා ඉදිරියට යන්න බෑ. තාමත් පරීක්ෂණ ප්‍රමාණවත් නෑ - GMOA

Syndicated from lankanewsweb,


කොරෝනා වෛරස් ව්‍යාප්තිය පිළිබඳ ඇත්ත තත්වය රටට පැහැදිලි කිරීමෙන් තොරව ඉදිරියට යා නොහැකි හෙයින් ඒ සඳහා පරීක්ෂණ ප්‍රමාණය වැඩිකිරීමට පහසුකම් සකස් කරන ලෙස තමන් දිගින් දිගටම රජයට දැනුම් දුන්නත් තවමත් එය සතුටුදායක මට්ටමක නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 
"අපට හැමදාම මෙහෙම - අපෙ ගුවන් තොටුපලවල් වහලා තියෙනවා, අපෙ පාසල් පද්ධතිය වහලා තියෙනවා, විශ්වවිද්‍යාල පද්ධතිය වහලා, සමාජ දුරස්ථකරණය ඉලක්ක කරගෙන අපෙ වැඩබිම් වහලා දැම්මා, කාර්යාල වහලා දැම්මා, ඇඳිරි නීතිය පනවලා තියෙනවා අපි - මේ සියල්ල අපි කරලා තියෙනවා. මේ මොහොතෙදි අපි හිතන්න ඕනෙ තැනකට ඇවිල්ලා තියෙනවා තව කොපමණ කාලයක් අපි මේක යනවද, එහෙම නැත්නම් අපි මේකෙන් එළියට එන්නෙ කොහොමද කියන එක. 
ඒ හින්දා තමයි අපි අප්‍රේල් 04 වනදා ජනාධිපතිතුමා හම්බුවෙලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විදියට ඔය හැමෝටම කලින් මේ රට නැවත යථාවත් කරන්නෙ කොහොමද කියන වැඩපිළිවෙල ජනාධිපතිතුමාට ඉදිරිපත් කළේ. 
එතෙන්දි අපි ප්‍රධාන වශයෙන්ම අවධාරණය කරපු කාරණයක් තමයි රටේ මේ මොහොතේ පවතින ඇත්ත තත්වය මොකද්ද, කොහෙද රෝගීන් ඉන්නෙ, කොහෙද රෝග ස්පර්ශකයින් ඉන්නෙ, අවදානම් කාණ්ඩ රටපුරා කොහොමද ව්‍යාප්ත වෙලා තියෙන්නෙ. මේ නිවැරදි ඇත්ත චිත්‍රය රටට ඉදිරිපත් කරන්නෙ නැතුව අපට ඉස්සරහට ගමන් කරන්න බෑ. ඒ සඳහා අපි පෙන්වලා දුන්නා මේ ඇත්ත චිත්‍රය රටට ඉදිරිපත් කරන්න නම් මේ මොහොතෙ කළයුතු වැදගත්ම කාරණය තමයි පරීක්ෂණ පහසුකම් වැඩිදියුණු කිරීම. 
එතකොට දැනට සිද්ධ වෙන පරීක්ෂණ පහසුකම් ප්‍රමාණවත් නැහැයි කියන එක අපි මුලින්ම කිව්වෙ මාර්තු 31 වෙනිදා. දැන් සති දෙකක් ගිහිලා. නමුත් අපට සෑහීමකට පත්වෙන්න පුළුවන් මට්ටමකට, නැත්නම් රට නැවත විවෘත කරලා ජන ජීවිතය සාමාන්‍ය මට්ටමට ගන්න කඩිනම් ක්‍රියාමාර්ග ගන්න ඕනෙ විදියට තවමත් පරීක්ෂණ කටයුතු පුළුල් වෙලා නැති බව තමයි අපට පේන්න තියෙන්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 
වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව ප්‍රකාශ කර තිබුණේ යූටියුබ්  නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වමිනි. 

Comments