කොරෝනා වසංගතය ගැන අතිශය වැදගත් තොරතුරු වසන් කර මහජනතාව රැවටුවා; ලෝකයාට ආපසු හැරවිය නොහැකි හානියක් කළා -ඇමරිකානු මිසූරි ප්‍රාන්ත ආණ්ඩුවත් චීනයට එරෙහිව නඩු පවරයි ජාත්‍යන්තරයට බොරු කියන රටවලට මුක්තිය අහිමි කරනවා..

Syndicated from lankaenews,



(ලංකා ඊ නිව්ස් -2020.අප්‍රේල්.25, ප.ව.8.30) තොරතුරු යටපත් කිරීම, රහසිගත තොරතුරු හෙළි කරන්නන් අත්අඩංගුවට ගැනීම, සහ ජීවිත හානිවලට තුඩු දුන් සහ ගෝලීය වශයෙන් රට රාජ්‍යවලට “ආපසු හැරවිය නොහැකි හානියක්” සිදු කළ කොරෝනා වයිරසයේ බෝවන ස්වභාවය ප්‍රතික්ෂේප කිරීම බීජිං විසින් සිදු කළ බවට චෝදනා කරමින් චීනයට එරෙහිව නඩු පැවරූ පළමු එක්සත් ජනපද ප්‍රාන්ත රාජ්‍යය බවට මිසූරි පත්විය.
චීන රජය, පාලක චීන කොමියුනිස්ට් පක්ෂය, සහ අනෙකුත් චීන නිලධාරීන් සහ ආයතනවලට එරෙහිව මිසූරි නීතිපති එරික් ෂ්මිට් විසින් මිසූරි ප්‍රාන්තයේ නැගෙනහිර දිස්ත්‍රික්කය සඳහා වන එක්සත් ජනපද දිස්ත්‍රික් උසාවියේ මෙම නඩුව  ගොනු කර ඇත.

චෝදනා බරපතලයි...

Covid-19 ආරම්භක ව්‍යාප්තියේ තීරණාත්මක සති කිහිපය තුළ දී චීන බලධාරීන් විසින්, අනවශ්‍ය හා වළක්වා ගත හැකි ගෝලීය වසංගතයක් ඇති කරමින්, මහජනයා රැවටීම, අතිශය වැදගත්  තොරතුරු යටපත් කිරීම, රහස් හෙළි කරන්නන් අත්අඩංගුවට ගැනීම, මිනිසුන්ගෙන්-මිනිසාට සම්ප්‍රේෂණය වන බවට පැහැදිලි සාක්ෂි තිබිය දී එය ප්‍රතික්ෂේප කිරීම, අතිශය වටිනා වෛද්‍ය පර්යේෂණ (වාර්තා) විනාශ කිරීම, මිලියන සංඛ්‍යාත ජනතාවකට වෛරසයට නිරාවරණය වීමට ඉඩ දීම, සහ පුද්ගලික ආරක්ෂණ උපකරණ (PPE) සැඟවීම පවා සිදු කළ බවට මෙම නඩුව චෝදනා කරයි. 
“අසනීප, මරණය, ආර්ථික කඩාකප්පල් කිරීම්, සහ මිනිසුන්ට දුක් වේදනා ඇති කරමින් Covid-19 ලොව පුරා රටවලට සුව කළ නොහැකි හානියක් සිදු කර ඇත.  මිසූරි ප්‍රාන්තය තුළ වෛරසයේ බලපෑමෙන් අතිශයින් අව්‍යාජ - දහස් ගණනක් ආසාදනය වී ඇති අතර බොහෝ දෙනෙකු මිය ගොස් ඇත. මිය යමින් සිටින ආදරණීයයන්ගෙන් පවුල් වෙන්ව ගොස් ඇත. කුඩා ව්‍යාපාරික ස්ථානවල දොරවල් වැසී ඇති අතර, වැටුපෙන් පමණක් ජීවත් වන අය කෑම ටික සපයා ගැනීමට වෙහෙසෙති,” ෂ්මිට් පැවසීය.

මිනිසාගෙන්-මිනිසාට බෝ වෙන්නේ නෑ කියා චීනය ලෝකෙටම බොරු කීවා..

"චීන රජය Covid-19 වෛරසයේ භයානකත්වය සහ බෝවන ස්වභාවය ගැන ලොවට බොරු කීවේය, රහස් හෙළි කරන්නන් නිහඬ කළේය, රෝගය පැතිරීම වැළැක්වීමට එතරම් දෙයක් කළේ නැත. ඔවුන්ගේ ක්‍රියාවන්ට ඔවුන් වගකිව යුතුය," ඔහු චෝදනා කළේය.
මෙම නඩුවට අනුව, පසු ගිය දෙසැම්බර් අග වන විට චීන සෞඛ්‍ය නිලධාරීන් සතුව මෙම රෝගය මිනිසාගෙන්-මිනිසාට සම්ප්‍රේෂණය වන බවට බරපතල සාක්ෂි තිබුණි.
මෙම සාක්ෂි තිබිය දීත්, චීන සෞඛ්‍ය නිලධාරීන් දෙසැම්බර් 31 වන දා දක්වා රෝග ව්‍යාප්තිය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) වාර්තා නොකළේය. චීන බලධාරීන් ලෝක සෞඛ්‍ය සංවිධානයට මෙම රෝගය පිළිබඳව දැනුම් දුන් අවස්ථාවේ දී, එය මිනිසාගෙන්-මිනිසාට සම්ප්‍රේෂණය වීමේ හැකියාව ඔවුන් විසින් ප්‍රතික්ෂේප කළ බව කියැවේ.
රෝගය පිළිබඳ දැනුමක් තිබිය දීත්, චීන නිලධාරීන් එහි පැතිරීම පාලනය කිරීමට එතරම් දෙයක් නොකළ බව ද නඩුවේ සඳහන් වේ.

වසංගතය බෝ වෙද්දී අවුරුදු කෑවා..

නිව් යෝර්ක් ටයිම්ස් විසින් රැස් කරන ලද දත්තවලට අනුව, ජනවාරි 1 වන දින පමණක් පුද්ගලයන් 175,000කට ආසන්න පිරිසක් චන්ද්‍ර අළුත් අවුරුද්ද සඳහා සංචාරය කිරීම පිණිස වුහාන් බලා පිටත්විය. තව දුරටත් ආසාදන ඇතිවීමේ අවදානම නොතකා චීන රජය ද අලුත් අවුරුදු සැමරුම් පැවැත්වීය.  
මහජන හිංසනය පිළිබඳ එක් චෝදනාවක්, අසාමාන්‍ය භයානක ක්‍රියාකාරකම් පිළිබඳ එක් චෝදනාවක්, සහ රාජකාරිය උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා දෙකක් සඳහා මේ නඩුවෙන් සහන අයැද සිටී. පිළියම් සඳහා සිවිල් දඬුවම් සහ වන්දි ගෙවීම්, අසාමාන්‍ය ලෙස භයානක ක්‍රියාකාරකම්, දණ්ඩනීය හානි අත්හිටුවීම, සහ තවත් දේ ඇතුළත් විය හැකිය.
බුද්ධි තොරතුරු පිළිබඳ සෙනෙට් තේරීම් කමිටුවේ සාමාජික, සෙනෙට් සභික බෙන් සසේ මෙම නඩුව පිළිගෙන ඇත.

ඒකාධිපතියන් සෑම විටම කරන දේ චීන ජනාධිපති කළා..

"ඒකාධිපතියන් සෑම විටම කරන දේ චීන කොමියුනිස්ට් පක්ෂය සිදු කළා: ඔවුන්ගේ ගැලවීම සඳහා සත්‍යය සැඟෙව්වා. සභාපති ෂීගේ බොරුවලින් ලක්ෂ සංඛ්‍යාත අහිංසක මිනිසුන් මරා දමා ඇති අතර, කිව නොහැකි ආර්ථික හානියක් සිදු වී ඇත," ඔහු පැවසීය.
"සභාපති ෂී වෛද්‍යවරුන් නිශ්ශබ්ද කර, වැදගත් විද්‍යාත්මක දත්ත සඟවා, පෙබරවාරි මැද වන තෙක් සෞඛ්‍ය නිලධාරීන්ගේ ප්‍රවේශය ප්‍රතික්ෂේප කර, කසිකබල් නොවටිනා උපකරණ යුරෝපයට යවා, එක්සත් ජනපදයට දොස් පවරා ඇත. ඇමරිකානුවන් මෙම විනාශකාරී වෛරසය පරාජය කළ පසු, අපි චීනයේ දූෂිත රජය මෙයට වගකිවයුත්තා කරන්නෙමු,” සසේ පැවසීය.

ජාත්‍යන්තරයට බොරු කියන රටවලටත් මුක්තිය ඉවත් කරනවා..

කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට හිතාමතාම වැරදි තොරතුරු ඉදිරිපත් කළහොත් චීනය සහ අනෙකුත් රටවල ස්වෛරී මුක්තිය ඉවත් කරන ව්‍යවස්ථාවක් කොන්ග්‍රස් සභිකයින් වන ක්‍රිස් ස්මිත් සහ රොන් රයිට් විසින් පසුගිය සතියේ හඳුන්වා දී ඇති අතර, එමගින් එක්සත් ජනපද පුරවැසියන්ට, ව්‍යාපාරවලට සහ පළාත් පාලන ආයතනවලට Covid-19 වසංගතය නිසා ඇතිවූ මරණ, වේදනාව හා දුක, සහ ආර්ථික අලාභ සම්බන්ධයෙන් එම රජයන්ට එරෙහිව නඩු පැවරීමට ඉඩ ලැබී ඇත.
“මගේ පනත මගින් හිතාමතාම හා අන්තර්ජාතිකව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නොමඟ යවන චීනය, සහ වෙනත් ඕනෑම රටක ස්වෛරී මුක්තිය ගලවා දැමෙන අතර, (ලංකාවේ ආණ්ඩුව දැනටමත් ව්‍යාජ වාර්තා ඉදිරිපත් කරයි) නවතම කොරෝනා වයිරසයේ බරපතලකම හා ස්වභාවය පිළිබඳව චීනය විසින් ලෝකයට වැරදි අර්ථ නිරූපණ ඉදිරිපත් කරනු ලැබීමේ ප්‍රතිඵලයක් ලෙස ඇමෙරිකානුවන්ට සිදු වී ඇති හානිය සම්බන්ධයෙන් චීන රජයට එරෙහිව උසාවියේ නඩු පැවරීමට ඔවුන්ට ඉඩ සැලසෙයි,” ස්මිත් පැවසීය.

චීනය ප්‍රතිවිපාක වලට මුහුණ දිය යුතුයි..

කොරෝනා වයිරස් ගෝලීය වසංගතයට “දැනුවත්ව වගකිව යුතු” නම් චීනය එහි ප්‍රතිවිපාකවලට මුහුණ දිය යුතු යයි එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් සෙනසුරාදා අනතුරු ඇඟවීය.
පසු ගිය වසරේ දෙසැම්බරයේ වුහාන් පළාතේ නවතම කොරෝනා වෛරස් ව්‍යාප්තියේ මූලික තොරතුරු වාර්තා වසන් කරන ලද බව චීනය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
“Covid-19 පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) වාර්තා කළ පළමු රට චීනයයි. එයින් අදහස් කරන්නේ වයිරසය වුහාන් පළාතෙන් ඇති වූ බවක් නොවේ” යැයි විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ෂාවෝ ලිජියන් බ්‍රහස්පතින්දා පැවසීය.
Covid-19 නිසා එක්සත් ජනපදයේ 45,000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර 824,000 කට අධික පිරිසක් ආසාදනය වී ඇත. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත අනුව, වෛරසය මගින් පුද්ගලයින් 177,445 ක් මිය ගොස් මිලියන 2.5 කට වඩා ආසාදනය වී ඇත.
-ද ඉකොනොමික්ස් ටයිම්ස්හි 2020 අප්‍රේල් 23  දා පළවූ US State files lawsuit against China on Covid-19 handling නම් ඉංග්‍රිසි ලිපියේ පරිවර්තනයකි-

සිංහලට නැගුවේ - ආනන්ද

Comments