වී මෝල් අත්‍යාවශ්‍ය සේවාවක් කර, හාල් හිඟයක් ගැන බොරුවකින් ජනතාව රැවටූ හැටි සුන්දරා ලියයි

Syndicated from lankaenews,




(ලංකා ඊ නිව්ස් -2020.අප්‍රේල්.21, පෙ.ව.2.30) ජනපති, අගමැති, ආර්ථික උපදේශක සහ කෘෂිකර්ම ඇමති සොහොයුරු කැල එක්ව නාටකයක් රඟ දක්වා සහල් මිල අඩුවීමට තිබූ අවස්ථාව වංචනික ලෙස  ජනතාවට අහිමි කරමින් ඊනියා සහල් මෝල් අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කර ජනතාව රැවටීම සුපුරුදු ලෙසම සිදුකර තිබේ.
රටේ ප්‍රශ්නයක් නැති නම් ඔවුන් විසින් ම ප්‍රශ්නකාරී තත්වයන් නිර්මාණය කිරීම සහ පසුව ඔවුන් විසින් ජනතාවාදී බව පෙන්වමින්  විසඳුම් දීම ඔවුන්ගේ ක්‍රමය බව අතීත ක්‍රියාකාරකම් තුළින් සැමදා පෙන්නුම් කර ඇත.
ඒ අනුව සහල් හිඟයක් පිලිබඳව සහ සහල් මිල අඩු වීමක් පිළිබඳ ජනතාවට පෙන්නුම් කරමින් ව්‍යාජ විසඳුමකට මගක් ඉදිරිපත් කළ අතර, මේ තුළින් සහල් මිල අඩුවීම වලක්වා එහි වාසිය මහා පරිමාන සහල් මෝල් හිමියන් වන සිය දේශපාලන සගයන් වෙත අත්කර දී තිබේ
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් මහා පරිමාන සහල් මෝල් සේවකයන්  සඳහා නිවාඩු ලබාදීම ⁣10 දින වන විට කරන්නේ එම සේවකයන් ටද අලුත් අවුරුද්ද වෙනුවෙන් සූදානම් වීමට වන අතර, වෙළඳපොලට අවශ්‍ය සහල් තොග මාර්තු  අගවන විට යවා අවසන් බැවින්, ඉතිරි හාල් තොග අලුත් අවුරුද්දෙන් පසුව වෙළඳ පොලට නිකුත් කෙරේ. එය සාමන්‍යයෙන් කෙරෙන වැඩ පිලිවෙල ය.
මාර්තු අගවන විට සියලු කුඹුරු වල අස්වනු නෙලීම ද අවසන් අදියරට පැමිණීම මෙන්ම වී මිල අඩුවීමද සිදුවේ.
අලුත් අවුරුද්ද සමග හාල් ඉල්ලුම වැඩි වීම නිසා හාල් මිල වැඩිවන නමුත්, අවුරුද්ද පසු වී ටික කාලයක් යනවිට සහල් ඉල්ලුම අඩු වී මිල අඩුවීම ද සාමාන්‍යය.
⁣එහෙත්, මෙවර සහල් ඉල්ලුම වැඩිවීම සඳහා සිංහල අලුත් අවුරුද්ද නොව කොරොනා අවදානම හේතු වූ අතර, සහල් හිඟයක් සඳහා කෙසේවත් අවස්ථාව නොතිබුනේ, මෙවර වී අස්වැන්න ද හොඳින් ලැබී තිබූ බැවිනි.
කොරොනා උවදුර සමගින් ආහාර හිඟයක් පිලිබඳ භීතියෙන් මිදෙනු පිනිස නාගරික ජනතාව විසින් අතිරික්ත සහල් තොග රැස්කර තබාගැනීමට පෙළැඹීම මත සහල් සඳහා විශාල ඉල්ලුමක් පැවතිය ද , එම තොග පැවතීම සහ තව දුරටත් සහල් ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය රැස්කර තබාගැනීම සදහා මුදල් නොමැතිවීම පදනම්ව දැන් එම සහල් ඉල්ලුම අඩුවී තිබේ. සහල් හිඟයක් පිලිබඳ වූ භීතිය ද පහව ගියේ ය.
මේ තත්වය තුල,  මහා පරිමාන සහල් මෝල් හිමියන් විසින් කෘත්‍රිම ලෙස සහල් මිල වැඩිකිරීම පාලනය සඳහා රජය සතු වී තොග කුඩා පරිමාණ වී මෝල් හිමියන් ලවා සහල් බවට පත්කිරීම සහ ඒවා සහන මිලට සතොස හරහා පාරිභෝගිකයන් අතට පත්කිරීම සඳහා උචිත වාතාවරණයක් පැවතීම සැලකිල්ලට ගෙන සහල් මිල අඩුකරගැනීම ට අනගි අවස්ථාවක් ඒ වන විට රජයට උදාවිය.
එහෙත්, රජය සිදුකළේ කුමක්ද ?  සහල් හිඟයක් පිලිබඳ අවදානමක්  ව්‍යාජ ලෙස මවා පා , එයට පිළියම් ලෙස වී මෝල් අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කර ජනතාව රැවටීම ය. 
රජයේ නියෝගයක් නිසා මහා පරිමාණ වී මෝල් හිමියන් අවම මට්ටමෙන් තම වී මෝල් ක්‍රියාත්මකව තැබීමට කටයුතු කරනු ඇති නමුත් කුඩා පරිමාණ වී මෝල් හිමියන් හට තමන්ගේ ගෙදර දොර වැඩකට තිබූ කාලය වී මෝලට වී නිකරුණේ ගෙවා දැමීමට සිදුවන ඇත.

සුන්දරා


Comments