- Get link
- X
- Other Apps
Syndicated from bbc,
ෂර්ලි උපුල් කුමාරBBC සිංහල
2020 වසරේ ගෙවුණු මාස තුන සහ දින 16ක කාලය තුළ දියත් කල මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම් මගින් රුපියල් බිලියන 21කට (කෝටි 2,100) ආසන්න මත්ද්‍රව්‍ය තොග සොයා ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස හැඳින්වූ ශ්‍රී ලංකාව අතීතයේ පටන් පෙරදිග සමුද්‍ර වෙළෙඳ මාර්ගයේ කේන්ද්‍රස්ථානයකි.
භාණ්ඩ හුවමාරුව සහ සැපයුම් සේවා වැනි සම්මත වෙළෙඳ කටයුතුවලට අමතරව ශ්‍රී ලංකාව සහ ඒ අවට මුහුදු කලාපය මේ වන විට නීතිවිරෝධී, මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා ද යොදා ගන්නා බව නොරහසකි.
ඊට ආසන්නතම උදාහරණය වන්නේ රුපියල් මිලියන 3,270කට (කෝටි 327) ආසන්න වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයන් 07දෙනෙකු රැගත් යාත්‍රාවක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගියදා සිය භාරයට ගැනීමය.
යාත්‍රාව නාවික බහුදව භාරයට ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ සිට මුහුදු සැතපුම් 548 ක් (දල වශයෙන් 985 km පමණ) පමණ ඔබ්බෙන් පිහිටි ගැඹුරු මුහුදේදීය.
අදාළ යාත්‍රාව අප්‍රේල් 15 වෙනිදා ගොඩබිමට රැගෙන ආ අතර එහි තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 281 ක් සහ අයිස් (Crystal Methamphetamine) නැමති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 48 ක් සොයා ගත් බව නාවික හමුදාව පැවසීය.
එම මත්ද්‍රව්‍ය තොගයෙන්, යම් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ද ලබා දීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබුණු බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර බීබීසී සිංහල සේවයට කියා සිටියේය.
ශ්‍රී ලංකා නාවික හමුදාව වගකීම දරණ මුහුදු කලාපය ගොඩබිම සිට නාවික සැතපුම් 200ක් දුරට විහිදෙයි. එහෙත් මේ වන විට ඊට ඔබ්බෙන් පිහිටි ජාත්‍යන්තර මුහුදු කලාපය තුළ ද සිය භට කණ්ඩායම් යොදවා නීති විරෝධී මත්ද්‍රව්‍ය වෙළෙඳාමට එරෙහි මෙහෙයුම් සිදු කරන බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
ගැඹුරු මුහුදේ සිදු කෙරෙන ඇතැම් මෙහෙයුම් සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීහු ද සහභාගී වෙති.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසන පරිදි වර්තමානයේ ශ්‍රී ලංකාව වෙත හෙරොයින් ගෙනන ප්‍රධාන රට ඇෆ්ගනිස්තානයයි. ශ්‍රී ලංකාව වෙත වැඩි වශයෙන්ම කොකේන් ගෙන එන රට බ්‍රසීලය බවත් වැඩි වශයෙන්ම ගංජා ගෙන එන්නේ ඉන්දියාවෙන් බවත් එම කාර්යාංශය සඳහන් කරයි.
"මේ වනවිට හෙරොයින් මාර්කට් එක පාලනය කරන්නේ ඇෆ්ගනිස්තානයෙන්. ලෝක සිතියම ගත්තොත් ශ්‍රී ලංකාවට පහළින් තිබෙන ඉන්දුනීසියාව, ඔස්ට්‍රේලියාව වගේ රටවල් ගණනාවකට මේවා යන්නේ ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව හරහා. ඒක නිසයි කියන්නේ ශ්‍රී ලංකාව මධ්‍යස්ථානයක් කියලා. ගොඩක් මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාව ඇතුළට එන ඒවා නෙමෙයි, ශ්‍රී ලංකාව හරහා යන ඒවා" යනුවෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත බීබීසී සිංහල සේවයට කියා සිටියේය.
බිලියන 21 ක (කෝටි 2,100) මත්ද්‍රව්‍ය සොයා ගැනේ
2020 වසරේ ගෙවුණු මාස තුන සහ දින 16 ක කාලය තුළ දියත් කල මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම් මගින් පහත දැක්වෙන මත්ද්‍රව්‍ය තොග සොයා ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
- හෙරොයින් - 718 kg
- අයිස් (Crystal Methamphetamine) - 797 kg
- කැටමින් - 581 kg
- කේරළ ගංජා 2,475 kg
මත්ද්‍රව්‍ය ජාවාරම් අඩාල කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුහුදු කලාපයේ සිදු කළ මෙහෙයුම් තුනක් සාර්ථක වූ බවත් එහිදී මෙතෙක් ශ්‍රී ලංකාවෙන් සොයාගෙන නොතිබූ කෙටමින් (ketamine) නමැති මත්ද්‍රව්‍ය සොයා ගැනීමට හැකිවූ බවත් නාවික හමුදාව පවසයි.
මොනවද මේ මෙහෙයුම්?
නාවික හමුදාව පවසන පරිදි:
01. පසුගිය මාර්තු මස 28 වෙනි දින නාවික හමුදාව විසින් 'සයුර' නෞකාව යොදාගෙන ශ්‍රී ලංකාවේ දකුණු වෙරළේ සිට නාවික සැතපුම් 463ක පමණ දුරකදී (දළ වශයෙන් 835km පමණ) සිදු කළ මෙහෙයුමකදී පාකිස්තාන ජාතිකයන් 09 නෙකු සමග රුපියල් මිලියන 12,500 කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන ඇත. නාවික හමුදා ඉතිහාසයේ මෙහෙයුමකදී සොයාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය එයයි.
එහිදී අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින්ගෙන් ප්‍රශ්ණ කිරීමේදී ලද තොරතුරු, ඒ හරහා ලබා ගත් අත්දැකීම් සහ දේශිය හා ජාත්‍යන්තර බුද්ධි තොරතුරු විශ්ලේෂණය කිරීමේදී තවත් මත්ද්‍රව්‍ය රැගත් යාත්‍රාවක් ශ්‍රී ලංකාව දෙසට පැමිණෙන බවත් එයින් යම් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් අනාවරණය කරගෙන තිබේ.
02. මාර්තු මස 28 වන දින ලද තොරතුරු අනුව ක්‍රියාත්මක වූ නාවික හමුදාව 2020 මාර්තු මස 30 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාවක් වන 'සමුදුර නෞකාව' දින 14 ක සාගරික මෙහෙයුමකට අදාල මුහුදු ප්‍රදේශය වෙත යොමු කර ඇත.
"මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආයතනය (UNODC) ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා දුන් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබා ගත් ඡායාරූප කිහිපයක් තවදුරටත් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව අපි සමුදුර නෞකාව සමකය දෙසට යොමු කිරීමට කටයුතු කළා. එහිදී තමයි 2020 අප්‍රේල් මස 10 වෙනිදා රාජ්‍ය ධජයක් ප්‍රදර්ශනය කර නොමැති (Flag Stateless) සැක සහිත විදේශීය යාත්‍රාවක් හඳුනාගන්න ලැබුණේ. අදාළ සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් නාකොටික් එකට භාර දෙනවා" යනුවෙන් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
03. අප්‍රේල් 01 වෙනිදා නාවික හමුදාව ශ්‍රී ලංකාවේ සිට මුහුදු සැතපුම් 548 (දල වශයෙන් 985km පමණ) දුරකින් වු ගැඹුරු මුහුදේදී හෙරෝයින් කිලෝග්‍රෑම් 260 සහ අයිස් කිලෝග්‍රෑම් 56 සමඟ ඉරාන ජාතිකයින් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී අයිස් නමැති මත්ද්‍රව්‍ය (Methamphetamine) කිලෝ ග්‍රෑම් 605 ක ප්‍රමාණයක් ද, කෙටමින් නම් මත්ද්‍රව්‍ය (ketamine) කිලෝග්‍රෑම් 579 ක් ද සොයා ගෙන ඇත.
කොරෝනාවෛරසය නිසා ප්‍රශ්න කිරීම්වල වෙනසක්
නාවික හමුදාව විසින් භාර දෙනු ලබන සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම සහ අධිකරණ කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදු කරයි.
සාමාන්‍යයෙන් අත්අඩංගුවට ගෙන ඉතාමත් ඉක්මනින් අදාළ ප්‍රශ්න කිරීම් සිදු කෙරුන ද කොරෝනාවෛරස් වසංගතය හමුවේ එම කටයුතු සිදු කරනු ලබන්නේ සැකකරුවන් දින 14ක නිරෝධායනයට ලක් කිරීමෙන් අනතුරුවය.
"අප්‍රේල් 01 වෙනිදා අත්අඩංගුවට ගත්ත පාකිස්තාන ජාතිකයන් 09 දෙනාගේ නිරෝධායන කටයුතු අවසන් වෙලා අප්‍රේල් 15 තමයි අපේ භාරයට ගෙන ප්‍රශ්න කිරීම ආරම්භ කළේ. ඒ අයට දින 07 ක රැදවුම් නියෝග ලබා ගෙන තියෙනවා. නාවික හමුදාව අප්‍රේල් 15 අත්අඩංගුවට ගත්ත ඉරාන හා පාකිස්තාන ජාතිකයන් 07 දෙනාගෙන් ප්‍රශ්න කරන්න ලැබෙන්නේ නිරෝධායන කාලය අවසන් වුණාට පසුවයි. මේ ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලංකාවේ අයත් අපි හඳුනාගෙන තියෙනවා. සමහරු මේවා කරන්නේ බන්ධනාගාරයේ ඉඳලා" යනුවෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ ඉතිහාසගත මත්ද්‍රව්‍ය වැටලීම්
මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ක්‍රියා කරන ප්‍රධාන ආයතන ලෙස පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය, නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ශ්‍රී ලංකා රේගුව මෙහෙයුම් සිදු කරනු ලැබේ.
2016 වසරේ 09 වෙනිදා කන්ටේනරයක තිබුණු කොකේන් කිලෝ 928 ග්‍රෑම් 229ක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සොයා ගනු ලැබීය. එය ශ්‍රී ලංකා ඉතිහාසයේ අත්අඩංගුවට ගත් වැඩිම කොකේන් තොගය වේ.
2019 පෙබරවාරි 23 වන දින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව කොළඹ, කොල්ලුපිටිය ප්‍රදේශයේ සුපිරි වෙළඳ සංකීරණයක රථ ගාලේදී රුපියල් මිලියන 2,945කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 294 ග්‍රෑම් 490ක් සොයාගත් අතර එය මෙතෙක් ශ්‍රී ලංකාව තුළින් සොයාගත් විශාලතම හෙරොයින් තොගය බව පොලිස් මූලස්ථානය පවසයි.
මත්වීම සඳහා භාවිත කරන ටැමඩොල් පෙති මිලියන 16ක් 2018 වසරේ ජුනි 28 වෙනිදාපොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සොයා ගනු ලැබ ඇති අතර එය වැටලීමකදී සොයා ගැනුණු වැඩිම මත්පෙති තොගය වේ.
ශ්‍රී ලංකාව ආශ්රිත මත්ද්‍රව්‍ය ජාලයේ ප්රවණතා
1970 දශකයට පෙර ශ්‍රී ලංකාවේ හෙරොයින් භාවිත කරන්නන් වාර්තාවී නොමැති අතර මෙරට හොරොයින් භාවිතයේ ව්‍යාප්තිය සංචාරක ව්‍යාපාරයේ ප්රවර්ධනයත් සමග බැඳී පවතින බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.
2016 වනවිට ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තුගත හෙරොයින් භාවිත කරන සංඛ්‍යාව 45,000ක් පමණ වූ අතර වාර්ෂිකව වීථි මට්ටමේ හෙරොයින් කිලෝග්‍රෑම් 1478ක් අවශ්‍ය බවට ඇස්තමේන්තු කර තිබුණි.
එකල ශ්‍රී ලංකාවට හෙරොයින් ලැබෙන ප්‍රධාන රටවල් වූයේ ඉන්දියාව සහ පාකිස්තානය බව බලධාරීහු පවසති.
මේ වන විට මත්වීම සඳහා ඖෂධ වැඩි වශයෙන් භාවිත කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කරයි.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment