Syndicated from samabima,
අපේක්ෂිත පරිදිම පාර්ලිමේන්තුව පසුගිය 02 වැනිදාවේ විසුරුවා හැරුන ද දේශපාලන පක්ෂ සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු පටන්ගන්තේ මීට සෑහෙන කලට පෙරය. ආණ්ඩුව බලයට පත් වූ වහාම අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාල පනත සමාලෝචනය කළ යුතු බව කීම ද සයින්දමරුදු නගර සභාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සහ එම ගැසට් නිවේදනය පසුව අත්හිටුවීම ද යහපාලන ආණ්ඩුව සම අනුග්‍රාහකත්වය දැක්වූ 30/1 යෝජනාවලියෙන් ඉවත් වීමට ආණ්ඩුව තීරණය කිරීම ද වූ කලී එම පූර්ව මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලියේ වඩාත් ආකර්ශණීය ප්‍රචාරයන් බවට චෝදනා ද එල්ල විය. ජිනීවා යෝජනාවට සහය නොදැක්වීමේ ආණ්ඩුවේ ස්ථාවරය මගින් රටේ ස්වෛරීභාවය ආරක්ෂා වීම හා රණවිරුවන් බේරා ගැනීම පිළිබඳ කතා පමණක් ඉදිරි කාලයේ මැතිවරණ වේදිකාවෙන් ඇසෙනු ඇත. ඒ නිසාම ජිනීවාහි සැබැවින්ම සිදුවූයේ කුමක්ද යන්න විමසා බැලීම වැදගත්ය.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වී තිබෙන්නා වූ මෙම යෝජනාව ඉවත්කර ගැනීම ද ඇතුළත්ව අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ යෝජනා පහක් පසුගිය 26 වැනිදා අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළේය. දේශීයව නිර්මාණය කරනු ලැබ ක්‍රියාත්මක කෙරෙන සංහිඳියා හා වගවීමේ ක්‍රියාදාමයක් ඔස්සේ තිරසර සාමය ළඟා කර ගැනීමට රජය කැපවීම, ආයතනික ප්‍රතිසංස්කරණයන් වෙනුවෙන් පියවර ගැනීම, එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම එහි නියෝජිතායතනය සමඟ ද අඛණ්ඩව කටයුතු කිරීම එම යෝජනාවලට ඇතුළත් විය.
අමාත්‍යවරයාගේ මෙම යෝජනා ඇතුළත් ප්‍රකාශයත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය, මිෂෙල් බැෂලේගේ ලංකාව සම්බන්ධයෙන් වන වාර්තාවේ අඩංගුවත් පසුගිය සමබිම කලාපයෙන් අප ඉදිරිපත් කළෙමු. අමාත්‍යවරයාගේ කරුණු දැක්වීමට අදාළව මහ කොමසාරිස්වරියගේ වාචික කරුණු දැක්වීම සහ ඊට අමාත්‍යවරයාගේ ප්‍රතිචාර දැක්වීම පසුගිය 27 වැනිදාවේ සිදුවිය. අනතුරුව පසුගිය 28 වනදා අමාත්‍යවරයා මහ කොමසාරිස්වරිය මුණගැසී සාකච්ඡා කළ බව අමාත්‍යංශය පසුගිය 29 වනදා නිවේදනය කර තිබුණි. මෙහිදී අප අවධානය යොමු කරන්නේ ඒ පිළිබඳවය.
මහ කොමසාරිස්වරියගේ ප්‍රතිචාරය
මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාව පිළිබඳ ලබා ඇති ප්‍රගතිය සලකා බැලීමේදී වත්මන් ශ්‍රී ලංකා රජය ගෙන ඇති වෙනස් වූ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බව සිය වාචික කරුණු දැක්වීමේදී මහ කොමසාරිස්වරිය ප්‍රකාශ කළාය. පෙර යෝජනාවෙන් ඉදිරිපත් කෙරුණු සංහිඳියාව, වගවීම, මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේ ප්‍රයත්නයන් වළක්වාලීමේ අවදානමක් මෙමඟින් ඇතිව තිබෙන බව ඇය එහිදී අවධාරණය කළාය.
‘රජය සියලු ජනතාව වෙනුවෙන් කටයුතු කළ යුතු අතර සියලු ජන කොටස්වල, විශේෂයෙන් සුළු ජාතීන්ගේ අවශ්‍යතා හඳුනාගෙන ඒවාට පිළියම් යෙදිය යුතුයි. පසුගිය වසර කිහිපය තුළ ලබා ගත් දේ සුරැකීමට හා වර්ධනය කිරීමට ක්‍රියා කරන ලෙස මම රජයෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්, අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය සහ වන්දි ගෙවීමේ කාර්යාලයට, දේශපාලනිකව හා සම්පත්වලින් සහාය ලබා දෙන බවට සහතික වන ලෙස මම ආණ්ඩුව දිරිගන්වමි. එමෙන්ම සියලු ජන කොටස්වල අතුරුදහන්වූවන්ගේ පවුල්වලට යුක්තිය හා සාධාරණය ඉටු විය යුතු’ බව ඇය පැවසීය.
‘19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ශක්තිමත් කෙරුණු ශ්‍රී ලංකාවේ ස්වාධීන ආයතන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයේ කුලුණක්. එමෙන්ම සිවිල් සමාජයට වැඩි ඉඩක් ලැබීම හා ස්වාධීන මාධ්‍ය ආරක්ෂා කිරීම කළ යුතුයි. එබැවින් ආරක්ෂක අමාත්‍යාංශය හෝ විශ්‍රාමික හමුදා නිලධාරීන් යටතට සිවිල් ක්‍රියාකාරකම් පත්කිරීම සහ මානව හිමිකම් ආරක්ෂකයින්, මාධ්‍යවේදීන් සහ වින්දිතයින් මුහුණ දෙන සෝදිසි කිරීම් සහ හිරිහැර කිරීම් පිළිබඳ නව සිදුවීම් වාර්තාවීමේ මෑත කාලීන ප්‍රවනතාව පිළිබඳ තමන් කණගාටුවට පත්වන’ බව මහ කොමසාරිස්වරිය ප්‍රකාශ කළාය.
‘මූලික ගැටලුවක් වන්නේ ශ්‍රී ලංකාවේ අතීතයේ සිදුවූ හිංසන සම්බන්ධව දඬුවම් ලබා දීම පිළිබඳ අවධානය යොමු නොවීම සහ ඒ සඳහා අවශ්‍ය ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණය සිදුනොකිරීමයි. අපරාධ යුක්ති විනිශ්චය ක්‍රමය තුළ පවත්නා පද්ධතිමය බාධක සැබෑ යුක්තිය ලබාගැනීමට බාධාවකි. අතීතයේ දේශීය යාන්ත්‍රණයන් වගවීම ඉටු කිරීමට අපොහොසත් විය. තවත් පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කිරීම මගින් මෙම ක්‍රියාදාමය ඉදිරියට ගෙන යනු ඇතැයි මට විශ්වාසයක් නැත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, වින්දිතයින්ට යුක්තිය අහිමි වනු ඇති අතර, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ අතීත රටාවන් නැවත ඇති නොවන බවට සියලු ප්‍රජාවන්ට අයත් ශ්‍රී ලාංකිකයන්ට සහතිකයක් ද නැතිවනු ඇතැ’යි මහ කොමසාරිස්වරිය ප්‍රකාශ කළාය. ශ්‍රී ලංකාවේ මෙම තත්ත්වය සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින ලෙසත් ශ්‍රී ලංකාවේ වගවීම ඉදිරියට ගෙනයාම සඳහා සියලු මාර්ග ගවේෂණය කරන ලෙසත් ඇය මානව හිමිකම් කවුන්සිලයෙන් ද ඉල්ලා සිටියාය.
රජයේ පිළිතුර
මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ වාචික ප්‍රකාශයට, විදේශ කටයුතු අමාත්‍ය දිනේශ් ගුණවර්ධන ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ, ව්‍යවස්ථානුකූලව සකසා ගත් දේශිය යාන්ත්‍රණයක් තුළ සිට ශ්‍රී ලංකාව සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් වූ ක්‍රියාවලියට කැප වී සිටින බවයි. දේශීය විමර්ශන කොමිසමක් පත් කිරීමෙන්, තිරසර සංවර්ධන අරමුණු සපුරාගැනීම සඳහා රජයේ තිබෙන කැපවීම සමග බැඳුණු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙන් සහ එක්සත් ජාතීන්ගේ හා එහි නියෝජිතායතනවල සහයෝගය සමග අඛණ්ඩව කටයුතු කරගෙන යාමෙන් මෙම කැපවීම තම රජය පෙන්නුම් කරන බවද අමාත්‍යවරයා පැවසීය.
මහ කොමසාරිස්වරිය සඳහන් කරන ආකාරයේ බිය ගැන්වීම්, සෝදිසි කිරීම්, හිරිහැර කිරීම් පිළිබඳ පැමිණිලි සහ පළිගැනීම් සම්බන්ධ චෝදනා රජය දැනටමත් ප්‍රතික්ෂේප කර ඇති බවත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ සිවිල් සමාජ අවකාශය ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට ආණ්ඩුව කැප වී සිටින බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
පාර්ලිමේන්තු පනත් මගින් පිහිටුවන ලද අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සහ හානිපූරණ කාර්යාලය වැනි යාන්ත්‍රණයන් රාජ්‍ය ප්‍රතිපත්ති රාමුවට අනුකූල යෝග්‍ය අනුවර්තන සහිතව අඛණ්ඩව පවත්වාගෙන යන බවත් අතුරුදහන්වූවන් සම්බන්ධව නිසි විමර්ශනවලින් පසුව මරණ සහතික හෝ දක්නට නොමැති බවට වන සහතික නිකුත් කිරීමට පියවර ගන්නා බවත් පීඩාවට පත්වූවන්ගේ පවුලවල ජීවනෝපායන් සහ අනෙකුත් සහයන් ලබාදීමට රජය කටයුතු කරන බවත් අමාත්‍යවරයා මානව හිමිකම් කවුන්සිලයේදී අවධාරණය කළේය. මෙම වාචික කරුණු දැක්වීම්වලින් අනතුරුව අමාත්‍යවරයා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස මානව හිමිකම් මහ කොමසාරිස්වරිය මුණගැසුණ අතර එහිදී ද ශ්‍රී ලංකා නියෝජිත පිරිස වැඩිදුරටත් කරුණු දැක්වීම් සිදුකළේය. සංහිඳියා ක්‍රියාමාර්ග වෙනුවෙන් ප්‍රමාණවත් අරමුදල් වෙන් කිරීම, පෙර ඉදිරිපත් කරන ලද ප්‍රතිත්‍රස්ත පනතේ අඩුපාඩු සහ විධිවිධානවලට අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමේ අරමුණින් යුතුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදුකිරීමේ රජයේ අභිප්‍රාය ආදිය ඊට අයත් විය.
ජාත්‍යන්තර ප්‍රතිචාර
ශ්‍රී ලංකා රජය මෙම යෝජනාවලියෙන් ඉවත් වීමට ගත් තීරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මානව හිමිකම් කවුන්සිලය තුළද ඉන් පිටත ද විවිධ පාර්ශ්වයන් සිය ප්‍රතිචාර පළ කර තිබේ.
කැනඩාව, ජර්මනිය, මැසිඩෝනියාව, මොන්ටිනිග්‍රෝ සහ එක්සත් රාජධානිය යන රටවලින් සමන්විත ශ්‍රී ලංකාව පිළිබඳ ලක්ෂ්‍ය කණ්ඩායම (Co-Group) ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කළ අතර එය මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කරනු ලැබුවේ මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර තානාපතිනි රීටා ෆ්‍රෙන්ච් විසිනි.
‘2015දී ශ්‍රී ලංකාව විසින් 30/1 යෝජනා සම්මතයට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් ගැටුමෙහි උරුමයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට සහ තිරසර හා සියල්ලන් ඇතුළත් කරගන්නා සාමයකට පදනම් දැමීමටත් එමගින් රාමුවක් සැකසිණි. 2015 වසරේ සිට අතුරුදහන්වූවන් සඳහා කාර්යාලය සහ හානිපූරණ කාර්යාලය පිහිටුවීම ඇතුළු ආයතනික ගොඩනැංවීම් හරහා සිදු වූ කැපී පෙනෙන ප්‍රගතිය ඇගයීමෙහිදී මහ කොමසාරිස්වරිය සමග අප එක්වන්නේ” යැයි ඇය එහිදී කියා සිටියාය. ‘යෝජනා සම්මත වීමෙන් පසුව, මානව හිමිකම් ආරක්ෂකයන්ට, සහ ජනමාධ්‍යවේදීන්ට වැඩි නිදහසක සහ අඩු තර්ජිතභාවයක අත්දැකීම් ලැබීමට හැකි විය. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට පෙර සමයේත්, ඉන් පසුවත්, නිදහස් හා විවෘත ප්‍රජාතාන්ත්‍රික සමාජයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇපකැප වීම සම්පූර්ණ කිරීම සඳහා සිවිල් සමාජය, නිදහස් මාධ්‍ය සහ මානව හිමිකම් ආයතන තර්ජනවලින් ආරක්ෂා කිරීම අතිශය වැදගත් වේ. යෝජනා සම්මතය සම්බන්ධයෙන් රජය තම ප්‍රවේශය වෙනස් කිරීම පිළිබඳ අපි දැඩි ලෙස කණස්සල්ලට හා බලාපොරොත්තු කඩවීමට පත්ව සිටින්නෙමු. සෞභාග්‍යවත් හා සියල්ලන් ඇතුළත් කරගන්නා ශ්‍රී ලංකාවක් තහවුරු කිරීම වෙනුවෙන් මෙකී සියලු මූලධර්මයන් ඉදිරියට ගෙන යන ලෙස අපි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නෙමු.’ නීතියේ ආධිපත්‍යය පිහිටුවීම හා දණ්ඩමුක්තිය අවසන් කිරීම එහි මූලික මූලධර්ම වන බව ද එම ප්‍රකාශයෙන් අවධාරණය කෙරිණි.
එහෙත් හියුමන් රයිට්ස් වොච් සංවිධානය ලක්ෂ්‍ය කණ්ඩායමේ එම නිවේදනය විග්‍රහ කරන්නේ ශ්‍රී ලංකාවේ ස්ථාවරය සම්බන්ධයෙන් පළ කරන ලද ‘දුර්වල ප්‍රතිචාරයක්’ ලෙසය. එවැනි ප්‍රතිචාර මගින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනයන්ට ගොදුරු වූ වින්දිතයන්ගේ ඉරණම නොසලකා හැර ඇති බවයි. ශ්‍රී ලංකා ආණ්ඩුවේ ‘හිස් පොරොන්දු’ ගැන විශ්වාසය තබනු වෙනුවට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමයක් ඇතිකරන මෙන් මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටීමට ලක්ෂ්‍ය කණ්ඩායම මූලිකත්වය ගත යුතු බව ඔවුන් කියා සිටියි.
‘අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයේ සහ හානිපුරණ කාර්යාලයේ කටයුතු දිගටම පවත්වාගැනීම සහතික කරමින්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට වෙනත් පනතක් හඳුන්වා දෙමින් සහ ජාතීන් අතර විශ්වාසය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් මාර්ගයෙන් කල් පවත්නා සහ තිරසාර සංහිඳියා ක්‍රියාදාමයක් පවත්වාගෙන යන මෙන් යුරෝපා සංගමය ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය හා අදාළව සිවිල් සමාජය, ස්වාධීන මාධ්‍ය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම, නීතියේ ආධිපත්‍යය සහ සංහිඳියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව ක්‍රියාකාරී සැලසුමක් ඉදිරිපත් කළ යුතු යයි යුරෝපා සංගමය මෙහිදි නිර්දේශ කරනු ලැබීය.
ශ්‍රී ලංකාව මෙම යෝජනාවෙන් ඉවත්වන බව දැනුම් දීම ‘හෙළාදකින’ බව විනිසුරුවරුන්ගේ ජාත්‍යන්තර කොමිසම (ICJ) නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. ‘සත්‍යය, යුක්තිය, වගවීම සහ සංහිඳියාව වෙනුවෙන් ඵලදායී පියවර ක්‍රියාවට නැංවීම ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම, ජාත්‍යන්තර නීතිය යටතේ තම බැඳීම් උල්ලංඝනය කිරීමක්’ බවත් අදාළ යෝජනාවලියෙන් ඉවත්වීම නිසා, පවතින එකම විකල්පය ලෙස පෙනී යන්නේ මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව ජාත්‍යන්තර මට්ටමින් විභාග කිරීම බව විනිසුරුවරුන්ගේ ජාත්‍යන්තර කොමිසමේ ආසියානු හා ශාන්තිකර කලාපය භාර අධ්‍යක්ෂ ෆ්‍රෙඞ්රික් රවුස්කි එම නිවේදනයේ සඳහන් කර තිබේ.
එක්සත් රාජධානිය හා කැනඩාව ද ශ්‍රී ලංකාව මෙම යෝජනාවෙන් ඉවත් වීමට ගත් තීරණය සම්බන්ධයෙන් දැඩිව කනස්සල්ල පළ කර ඇති අතර එක්සත් රාජධානියේ විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය අමාත්‍ය තාරික් අහමඞ් සාමිවරයා ට්විටර් පණිඩියක් ද එක් කරමින් ශ්‍රී ලංකාවට කියා සිටින්නේ මානව හිමිකම්, ප්‍රතිසන්ධානය, යුක්තිය සහ වගවීම ආරක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසයි.
‘අසාර්ථක දේශීය වගවීමේ යාන්ත්‍රණයන් පිළිබඳ දීර්ඝ ඉතිහාසයක් ශ්‍රී ලංකාවට තිබේ. එම අසාර්ථකත්වයන් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ඊට ගොදුරුවුවන් දැඩි කලකිරීමකට පත් කර ඇති අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ප්‍රතිඵල ලබා ගැනීමට අසමත්ව ප්‍රතිඵලයක් බලාපොරොත්තුවෙන් වසර ගණනාවක් බලා ඉඳ තිබේ. ඔවුන්ට සාධාරණය ඉටුකිරීම පිණිස විශ්වාසදායක මෙන්ම ඵලදායී විය හැකි ජාත්‍යන්තර යාන්ත්‍රණයක් අවශ්‍ය බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.
සැබෑ අභියෝගය
2019 මාර්තුවේ 40/1 යෝජනාවට සමඅනුග්‍රහකත්වය දැක්වීමට යහපාලන ආණ්ඩුව තීරණය කළ අවස්ථාවේ එවකට විපක්ෂ නායකව සිටි මහින්ද රාජපක්ෂ ජිනීවා හිදී ආණ්ඩුව ගත යුතු ස්ථාවරය පැහැදිලි කරමින් කියා සිටියේ, මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය ලංකාව සම්බන්ධයෙන් සම්පාදනය කර තිබූ 2015 සැප්තැම්බර් 28 දින දරන අංක 30/61 වාර්තාවේ එන චෝදනා ප්‍රතික්ෂේප කිරීම, රටේ පුරවැසියන්ගේ මූලික අයිතීන්ට හානිකර අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාල පනත සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය පනත සහ සාපරාධි කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාවය දැක්වීමේ පනත යන පනත් අවංලගු කළ යුතු බවය.
එහෙත් අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මෙවැනි කිසිවක් මානව හිමිකම් කවුන්සිලයේදි කීවේ නැත. 43 වැනි සැසිවාරයේ ලංකාව සම්බන්ධ සමස්ත ක්‍රියාවලිය නැවත විමසා බැලීමේදී පෙනී යන්නේ, දේශීය ප්‍රමුඛතා සහ ප්‍රතිපත්තිවලට අනුකූලව ඉදිරිපත් කෙරෙන සංහිඳියා ක්‍රියාදමය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එහි නියෝජිතායතනවල සහය ආණ්ඩුව ප්‍රතික්ෂේප නොකරන බවයි. යම් යම් අනුවර්තනයන් සහිතව වුවද 30/1 යෝජනාවලියේ මූලික අඩංගුවක් වූ අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සහ හානිපුරණ කාර්යාලය තවදුරටත් ක්‍රියාත්මක කෙරෙන බව ආණ්ඩුවේ ස්ථාවරය වී තිබේ. ශ්‍රී ලංකාව බහු වාර්ගික බහු ආගමික බහු සංස්කෘතික රටක් බව ආණ්ඩුව මානව හිමිකම් කවුන්සිලය තුළ වඩා හැඟීම්බරව සපථ කර පැමිණ සිටීම අගය කළ යුතුය. ආණ්ඩුව, ජිනීවා අමතන්නට ගියද සැබවින්ම පෙනෙන්නට ඇත්තේ ජිනීවා, ආණ්ඩුව ඇමතු සෙයකි.
ලංකාව මානව හිමිකම්, සාමය, සංහිඳියාව සහ වගවීම කෙරෙහි කැප විය යුත්තේ ජිනීවා නිසා නොව රට තුළ සැබෑ ප්‍රශ්නයක් තිබෙන නිසා බව අමුතුවෙන් කිව යුතු නැත. නමුත් ජිනීවා අපට මුණ ගැසෙන්නේ එම සැබෑ ප්‍රශ්නය රට තුළ හුදු මැතිවරණ සටන්පාඨයක් පමණක් බවට පත්ව ඇති නිසාය. ජිනීවා බිල්ලෙක් බවට පෙන්වා ජනතාව බිය කර ඡන්ද දිනිය හැකි වුවත් ඒ බියෙන් ජීවත් වන ජනතාවක් සමග රට පාලනය කිරීම ඡන්දයෙන් දිනන කිසිදු ආණ්ඩුවකට පහසු නැත.
#556 වැනි සමබිම ඉරිදා අතිරේකය සඳහා ජයනි අබේසේකර විසින් ලියන ලද ලිපියකි.
Comments
Post a Comment