Syndicated from lankanewsweb,
අපේ අම්මාගේ අම්මා යූඇන්පීය. රජයේ සේවකයෙකු වුවත් අපේ අම්මා යූඇන්පී වන්නට ඇත්තේ ඒ නිසා යැයි සිතමි. තාත්තා නියමම රජයේ සේවකයෙකු නිසා ඔහුගේ පක්ෂය කවුරුත් දැන සිටියේ නැත. කුඩාකළ අපිත් යූඇන්පී යැයි කියමින් පිස්සු කරන්නට ඇත්තේ අපේ අම්මා යූඇන්පී නිසා වන්නට ඇතිය. මට අත්පොත් තැබුවේ එවකට කොළඹ නාගරික මන්ත්‍රීවරයෙක්ව සිටි, මාගේ පියාණන්ගේ මිතුරෙකු වූ දිවංගත ආර්. ප්‍රේමදාස මැතිඳුන් හෙයින් යූඇන්පියට අපගේ පක්ෂපාතීත්වයක් තිබෙන්නටද ඇත. මගේ ආගම මට ලැබුනාක් මෙන්ම දේශපාලන පක්ෂයද මුලදී එසේ ලැබෙන්නට ඇතිය. එහෙත් ටික ටික ලොකු වනවිට, යටි රැවුලක්වත් නොවවා සිටි අපේ ලොකු අයියා ලාල් වාමාංශික අදහස් වපුරමින් කොමියුනිස්ට් පක්ෂය අගය කළ නිසා හිත ඒ පැත්තට ඇදී යනවාක් මෙන් දැනෙන්නට විය. ඔය අතරවාරයේදී බණ්ඩාරනායක මැතිණිය ලස්සන නිසා ශ්‍රීලනිප කෙරෙහිද එක්තරා සිතක් පහළ වී තිබිණ.
වයස දොළහ දහතුනෙන් පසු කිසිම දේශපාලන පක්ෂයකට නොදැක් වූ ඇල්මක් ස්ත්‍රී පක්ෂයට දැක් වූ නිසා පක්ෂයකට බැඳීමට හෝ ක්‍රියාකාරී වන්නට ඉඩකඩක් මට තිබුණේ නැත. නීති විද්‍යාලයේදීද තත්වය වෙනස් නොවීය. අද මෙන් නොව එදා නීති විද්‍යාලයේ පක්ෂ දේශපාලනය තිබුණේ නැත. තිබුණේ මිතුරු කණ්ඩායම් දෙකක් බලය ලබා ගැනීම සඳහා කළ අරගල පමණි. එහෙත් නීති ශිෂ්‍ය සිංහල සංගමයේ සභාපති වූ පසු නියම දේශපාලන පක්ෂ යෝජනාවන්ට මුහුණ දීමට මට සිදු විය. කෙසේ වෙතත් නීති විදුහලින් පිටව වසරකින් පමණ එංගලන්තයට සම්ප්‍රාප්ත වූ හෙයින් තවදුරටත් මම කැමති ප්‍රේමදාස මහත්තයාගේ හිනාවටද, ජේ.ආර්.ගේ ගැට මොළයටද, මැතිණියගේ ලස්සනටද යන්න මට ප්‍රශ්නයක් නොවීය.
දේශපාලනමය වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, යූඇන්පීයත් එකක් වන නිසා මා හට තෝරා ගැනීමට තිබුණේ එක් එක් ප්‍රමුඛ දේශපාලනඥයන්ගේ සිත් ඇද ගන්නා යමක් ඇත්නම් ඒ දේ පමණි. එංගලන්තයේ සිට වුවද මම චන්ද්‍රිකා නෝනාගේ පෙනුමට කැමැත්තෙන් සිටියෙමි. මිතුරා සමඟ වුව සිනහ නොවන නිසා රනිල් මහත්මයාට අකමැති වූ වෙමි. ජීවිතයේ ප්‍රථමවරට හමුවන කෙනෙකු සමඟ වුව සුහදශීලිව කතාබහ කරණ නිසාත්, ජේ.ආර්. මහත්මයාටවත් නොතිබූ ශුර මොලයක් ඇති නිසාත් මහින්ද මහත්මයාට කැමැත්තෙන් සිටියෙමි. හොඳින් හෝ නරකින් මේ රට හදාවි යන බලාපොරොත්තුව නිසා ගෝඨාභය මහතාට කැමැත්තෙන් සිටිමි. මේ මාගේ දේශපාලන දර්ශනයයි, ප්‍රතිපත්තියයි. වෙන දේශපාලන මතිමතාන්තරවලින් මට වැඩක් නැත. පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනවලින් මට වැඩක් නැත.
කෙසේ වෙතත් පුද්ගලික පම්පෝරියක් ගසන්නට මට සිදු වූවේ එක් තැනකට යන්නටය. ඒ ශ්‍රී ලංකාවේ බොහෝ ඡන්දදායකයන් මෙන් මාද පුද්ගල දේශපාලන ඇදහීමක සිටින බව පැවසීමටය. එනම් පොහොට්ටුවෙන් නොව ජෙවීපී එකෙන් ඉල්ලුවත් ගෝඨාභය මහතා ජනාධිපති වන්නේය යනු මගේ විශ්වාසය නිසාය.
බ්‍රිතාන්‍යය ලංකාවට සමාන වන්නේ එයත් දූපතක් නිසා පමණි. අවුරුදු එකසිය පණහක් ඔවුන්ට යටත් වී සිටියද, ඔවුන් හා අප අතර අසමානකම් මිස සමානකම් දක්නට ලැබෙන්නේ නැත. සුද්දාගේ කලිසම ඇඳ ඔවුන්ගේ භාෂාවෙන් කතා කළ පළියට සමාන වන්නේද නැත. ඔවුන් පරිදි හැසිරෙන්නට ගියද සමාන වන්නේ නැත. ඒ නිසා එංගලන්ත දේශපාලන ක්‍රියාකාරකම් ගැන මේ ලියන්නේ සිත නිදහස් කර ගැනීමට පමණමය.
1975 දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායිකාව සහ කොන්සර්වේටිව් පක්ෂ නායිකාව ලෙස පත්වූ මාගරට් තැචර් මහත්මිය එසේ පත්වූවේ එවකට පක්ෂ නායක එඩ්වර්ඩ් හීත්ට අභියෝග කොට පක්ෂය තුල පැවැත්වූ නිලවරණයකිනි. 'අයන් ලේඩි' නමින් අයෝමය හස්තයකින් රට පාලනය කළ ඇයගේ දකුණු අත මෙන් සිටි හෙසල්ටයින් ඇමතිවරයා ඇගේ නායකත්වය අභියෝගයට ලක්කොට පක්ෂ ඡන්දයක් ඉල්ලූ අවස්ථාවේ අගමැතිකමින් සහ පක්ෂ නායකකමින් ඉල්ලා අස් වූවාය. පක්ෂ නායකත්ව ඡන්දයෙන් දිනූ ජෝන් මේජර් එය දිනා අගමැති පදවියට පත් විය. ජෝන් මේජර්ගෙන් අනතුරුව 1996 මහා ඡන්දයෙන් ජයගෙන ලේබර් නායක ටෝනි බ්ලෙයාර් අගමැති විය. පිට පිට මහා ඡන්ද තුනක් ජයගත් ඔහු 2007 දී ඔහුට විරුද්ධව පක්ෂය තුළින් නැඟී ආ විරෝධය හමුවේ ගෝර්ඩන් බ්‍රවුන්හට පක්ෂ නායකත්වයත් අගමැති පදවියත් දී ගෙදර ගියේය.
මේ අතර 1996 මහ ඡන්දයෙන් පැරදුනු ජෝන් මේජර් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස් වූ අතර ඉයන් ඩන්කන් ස්මිත් නායකත්වයට පත් විය. මහ ඡන්දයේදී කොන්සර්වටිව් පක්ෂය ලේබර් පක්ෂයට පැරදුනු නිසා ඔහු 2001 දී නායකත්වයෙන් ඉල්ලා අස් විය. ඉන්පසු විලියම් හේග්ද, ඩේවිඩ් කැමරන්ද, තෙරේසා මේද පක්ෂ නායකත්ව සහ අගමැතිකම් දැරූ අතර දැනට බොරිස් ජොන්සන් කොන්සර්වැටිව් නායක සහ අගමැති වන්නේය. මේ අතර ලේබර් පක්ෂයේද නායකත්ව වෙනස්කම් කීපයක් සිදු කෙරෙන ලදී.
මෙම ක්‍රියාවලියෙන් කියැවෙන එක දෙයක් වෙයි. එනම් බ්‍රිතාන්‍යය තුළ මෙන්ම මෙහි දේශපාලන පක්ෂ තුළද ප්‍රජාතන්ත්‍රවාදය අකුරටම ක්‍රියාත්මක වන බවයි. පක්ෂ නායකත්වය තබා අග්‍රාමාත්‍ය ධුරය දැරූවත් ඔහුට හෝ ඇයට තමනට විරුද්ධව පක්ෂය තුළින් බිහිවන රැල්ලට පිටුපා නොතකා සිටින්නට හැකියාවක් නැත. මෙහි සදාකාලික නායකයෝ නොවෙති. එබඳු ව්‍යවස්ථාද නැත. එසේම පක්ෂ සාමාජිකත්වයට විරුද්ධව රැඳෙන්නට දත මදින නායකයෝද නොවෙති. රට පෙරට එන්නේ මෙතැනය. බහුතර ජනතා කැමැත්ත අහිමි වූවත් ශක්තිමත් විපක්ෂයක් තිබීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ පිටකොන්ද බව මෙහි නායකයෝ දනිති. එනිසා ඔවුහු ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරති. තම පක්ෂය තුළ නොමැති ප්‍රජාතන්ත්‍රවාදයක් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිය හැක්කේ කවරාකාර නායකයෙකුටදැයි මම නොදනිමි.
පාක්ෂිකයන්ගේ අදහස් ගරු නොකරන නායකත්වය එම පක්ෂය විනාශය කරා රැගෙන යයි. එම පක්ෂය විපක්ෂයේ ප්‍රධාන පක්ෂය නම් එම ක්‍රියාව විපක්ෂය දුර්වල කරවන අතර ආණ්ඩුව ශක්තිමත් කිරීමට වක්‍රාකාරීව උපකාරී වෙයි. එවිට ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධීව කටයුතු කළහොත් එහි ප්‍රධාන චූදිතයා වන්නේ දුර්වල විපක්ෂය සහ එහි නායකත්වයයි. මේ අනුව අද ශ්‍රී ලංකාණ්ඩුව ශක්තිමත් කරන්නේ දුර්වල විපක්ෂය බව පාසල් දරුවන් පවා දනිති. ඒකාධිපතිත්වයෙන් යුතු පක්ෂයක ක්‍රියාකාරකම් අහිතකර වන්නේ තම පාක්ෂිකයන්ට පමණක් නොවේ, මුළු මහත් රටටමය, ජනතාවටමය.
තත්ත්වය එසේ හෙයින් ශ්‍රී ලංකාවේ ජනතා විරෝධී ඒකාධිපතිත්වයක් ඇත්තේ යූඇන්පීයේය යන්න දේශපාලනීකරණය වූ මනස්වලින් පිරී ගිය ශ්‍රී ලාංකිකයින් වටහාගෙන ඇත යන්න අපගේ නොසන්සුන් දේශපාලන මානසිකත්වයයි.
Comments
Post a Comment