“අගමැතිතුමා දැන ගන්න ඔ්නෙ දැන් මමයි ජනාධිපති කියලා” - තිරය පිටුපස රඟදුන් මහින්ද-ගෝඨා බල අරගලය වේදිකාව මතට..!

Syndicated from lankaenews,



(ලංකා ඊ නිව්ස් -2020.මාර්තු.11, ප.ව.8.55) මෙතෙක් කලක් තිරය පිටුපස රඟදුන් මහින්ද-ගෝඨාභය බල අරගලය අද ප්‍රසිද්ධියේම වේදිකාව මත රඟ දුන්නේ ය. ඒ “අගමැතිතුමා දැන ගන්න ඔ්නෙ දැන් මමයි ජනාධිපති කියලා” යනුවෙන් ජනාධිපති ගෝඨාභය ප්‍රසිද්ධියේම පැවසීමෙනි.
සිද්ධිය වූයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ අද පැවැති කොරෝනා නිරෝධායන වැඩ සටහන පිලිබඳ සාකච්ඡාවේ දී ය. මෙම සාකච්ඡාවට ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස් ප්‍රධානීන් සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන්, ආගමන විගමන බලධාරීන්ද, ඩලස් අලහප්පෙරුම, කෙහෙළිය රඹුක්වැල්ල ආදී ඇමැතිවරුද සහභාගී වී සිටියහ. 
එහිදී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ කොරෝනා නිරෝධායනය සඳහා හිස්බුල්ලාගේ මඩකලපු සරසවිය වෙත යවන ලද කණ්ඩායම යළි කන්දකාඩුවේ ඇති හමුදා කඳවුරේ පවත්වාගෙන යන නිරොධායන මධ්‍යස්ථානය වෙත ගෙන යෑමට කටයුතු කළ යුතු බවයි. 
ජනාධිපති වරයා ඒ මන්දැයි විමසා සිටි විට, හමුදාපති වරයා කීවේ තමාට අගමැති මහින්ද පුද්ගලිකවම දුරකථනයෙන් අමතා මඩකලපු සරසවියට නිරෝධායනය සඳහා ජනතාව යැවීම අත්හිටුවන ලෙස කී බවයි. එවිට කිපුණු ජනාධිපති ගොඨාභය,
“අගමැතිතුමා හිතාගෙන ඉන්නේ තාම එයා ජනාධිපති කියලා වෙන්න ඇති. නමුත් මමයි දැන් ජනාධිපති. මමයි නියෝග කෙළේ මඩකලපුව සරසවියට නිරෝධායනය කළ යුතු අය යවන්න. මගේ නියෝගය වෙනස් කරන්න කාටවත් බැහැ” යි ගෝඨාභය පැවසීය. 
සියළු දෙනාගේම මුහුණු අමුතු වූ අතර කෙහෙළිය රඹුක්වැල්ල හමුදාපතිවරයා වෙත පවසා සිටියේ “කොහොමත් අපි ඡන්දෙට කලින් කියලා තිබුනේ ඒ සරසවිය රජයට පවරා ගන්නවා කියලා. දැන් ජනාධිපතිතුමා ඒක ඉටු කළ වග මේ සිද්ධියෙන් ජනතාවට ඒත්තු ගැන්විය යුතුයි” කියා ය.
මෙතෙක් කාලයක් ‌දේශපාලන ‌ගොසිප් ‌ලෙස පැවැති මහින්ද-‌ගෝඨා බල අරගලයක කතාව ප්‍රසිද්ධියේ එළියට ආ පළමු අවස්ථාව ‌මෙය විය.

Comments