සැඟවී සිටිමින් ලියා එවමි..! රටවිරු ඉතාලියා ලියයි

Syndicated from lankaenews,


(ලංකා ඊ නිව්ස් -2020.මාර්තු.22, ‌පෙ.ව.2.20) මෙම  ලිපිය ලියන මා ඉතාලියේ රැකියාවක් කරන ශ්‍රී ලාංකිකයෙකි. නිවාඩුවක් ලබා ලංකාවට එද්දීම කොරෝනා වෛරසය ගැන කතාවක් තිබුනත් ඒ ගැන එහෙමට ලොකු තේරුමක් අපට තිබුනේ නැහැ. ලංකාවේ කටුනායක ගුවන් තොටුපොලින් ගොඩ බහින විටදිත් ඒ ගැන ලොකු හැඟීමක් අවබෝධයක් තිබුනේ නැහැ. ගුවන් යානයෙන් බැහැලා ඇවිදගෙන එන කොරිඩෝරයේ කෙළවර මොකක්දෝ ටෝච් එකක් වගේ උපකරණයක් තියාගෙන කිහිප දෙනෙක් හිටියා. ඔවුන් මගීන්ගේ නළලට එය එල්ල කරලා බලා යන්න කීවා. ඒ පරීක්ෂණයට භාජනය නොවී ගිය අයත් හිටියා. ඊට පස්සෙ එළියට යන්න කලින් ෆෝර්ම් එකක් පුරවන්න තිබුනා ඒ ෆෝර්ම් එක පුරවලා අපි ගෙදර ගියා, එච්චරයි. 
හැබැයි ටික දවසක් යද්දී කොරෝනා භීතිකාව රට පුරා පැතිරෙන්න පටන් ගත්තා. ඉතාලියෙන් ආ අය ලංකාවට කොරෝනා වෛරසය ගෙනාවා කියලා තමයි මාධ්‍ය ඇමැතිවලින් මැති ඇමැතිවරුන් සහ තවත් අය කිව්වේ. ෆේස් බුක් එකේ ඉන්න අය ඉතාලියෙන් ආපු උදවිය තමන්ව මරාගෙන කන්න ආපු යම පල්ලො ටිකක් වගේ තමයි පෝස්ට් -  කොමෙන්ටු දාලා තිබුනේ. 
වෙන රටවල නම් ආණ්ඩු ලෙඩක් දුකක් වසංගතයක් හැදුනාම මිනිස්සුන්ට යන්න කියන්නේ දොස්තර කෙනෙක් ගාවට නැතිනම් ඉස්පිරිතාලෙට. අපේ රටේ වැඩ කරන ආණ්ඩුව අපට කිව්වේ වහාම ලඟම තියෙන පොලිසියට ගිහින් ඇන්ට්‍රියක් දාන්න කියලයි. මට මේක තේරෙන්නෙ නෑ. අපි පුරුදු වෙලා උන්නෙ සාමාන්‍යයෙන් උණ හෙම්බිරිස්සාවක් හැදුනත් ගමේ ඩිස්පෙන්සරියට නැතිනම් වෙද ගෙදරට එහෙමත් නැතිනම් ඉස්පිරිතාලෙට යන්නයි. කවදාවත් ලෙඩකට පොලිසියකට ගියේ නම් නෑ. 
ඊලඟට ආණ්ඩුව කිව්වේ රෝගීන් නිරෝධායනය (ජනාධිපතිතුමා නම් කීමේ නිරෝධනය කියලයි) කරන්න යුද හමුදාවට බාර දීලා තියෙනවා කියලයි. මේක අමුතු රටේ අමුතු වැඩක් නිසා අපට සැකයි. ඉස්පිරිතාලෙක දොස්තර මහත්තුරු නර්ස් නෝනලා කරන නිරෝධායනය ගැන නම් අපි දන්නවා. ඒ අය උණ බලනවා, සේලයින් දෙනවා, ඉන්ජෙක්ෂන් ගහනවා, බොන්න බේත් දෙනවා, එක්ස් රේ ගන්නවා, ඔක්සිජනුත් දෙනවා ආදී දේවල්. ඒත් මේ හමුදාවේ අය කරන නිරෝධායනය ගැන අපිට බයයි. බුදාම්මෝ..!
හමුදා ‘නිරෝධායනය’ යටතේ ඉඳලා පණ බේරා ගත්ත අය කියන කතා ඇහෙන කොට ඇඟේ මයිල් ඉස්මයිල් වෙනවා. බාල්ක වල එල්ලනවලු, පොලු වලින් ගහනවලු, වතුර බැරල් වල ඔළුව ඔබනවලු, පස්ස පැත්තෙ එස් ලෝන් බට විකට් කූරු කටු කම්බි යවනවලු, නියපොතු ගලවනවලු, ඉස්තිරික්ක වලින් පුච්චනවලු, බිජ්ජ ලාච්චුවේ දානවලු මේ ආදී හමුදා ‘නිරෝධායන’ ක්‍රම අපි අහලා තියෙනවා. ඉතිං බය හිතෙන්නෙ නැත්තෙ කාටද අප්පේ..? බුදාම්මෝ..!
ඒ මදිවාට හමුදා නිරෝධායනය කරන්න හමුදා කඳවුරු ඇතුලේ. කන්දකාඩුව කිව්වම අපට මතක් වෙන්නෙම වෙල්ලමුල්ලි වයික්කාල්, නන්දිකඩාල් වගේ නම්. ඔය කියන කඳවුර වුනත් යුද්ද කාලේ ප්‍රසිද්ධ වුනේ කොටි සැකකරුවන්ට වද දීලා මරණ වධකාගාර තිබූ කඳවුරක් කියලයි. ඒ මැරිච්ච අයගේ හොල්මන් පවා තාම ඇති මං හිතන්නෙ.  ඔය කියන පැතිවල කඳවුරු වල හමුදාවෙ ‘නිරෝධායනයට’ ගිය දෙමළ මිනිස්සු ආපුහු ගෙදර එන තුරු ඒ අයගේ ගෙවල් වල උදවිය තාමත් පින්තූර අතේ තියාගෙන බලාගෙන ඉන්නවා. 
අනික ඉස්සෙල්ලම අපිව යවනවා කිව්වෙ මඩකලපුවෙ ෂරියා විශ්ව විද්‍යාලයටනෙ. ඔය ෂරියා නීතිය, ෂරියා විශ්ව විද්‍යාල කියන්නෙම පොඩ්ඩ වැරදුනොත් බෙල්ල කපන තැන් නොවැ. නැතිනම් ගල් ගහලා මරා දාන තැන්. හොඳයි ඒ දෙකම නූනත් කන්න බොන්න දෙන එකකට වඳ පෙත්තක් දෙකක් දාල දුන්නොත් ජාතියම වඳයි. මං බොරු ද කියන්නෙ. බුදාම්මෝ..!
ඒ කාලෙ යුද්දෙ තියෙද්දි හමුදාවට බාර වුනා නම් හරි පාදිලි තුමෙක් එක්ක බාරදුන්න නම් හරි ඒ කවුරුවත් ආයෙ ගෙදර ආවේ නෑ. වෙන එකක් තියා පාදිලි තුමාත් ආගිය අතක් නෑ. කන්දකාඩුව එපා. ගිරිතලේ හරි මත්තෙගොඩ හරි කෑම්ප් එකකට එක්ක ගිය එකෙක් වත් ආපහු පණ පිටින් ආවද නෑනේ.. බුදාම්මෝ..! 
අනෙක අපිට තියෙන ලොකුම බය කොරෝනා නිරෝධායනය ගැන කතා කරන යුද්දෙන් රට බේරා ගත්ත හිටපු ආරක්ෂක ලේකම් තුමා දැන් ජනාධිපති. හමුදාවට බාර වෙච්චි අය වැඩිම ගණනක් අතුරුදහන් කරපු  58 වෙනි සේනාංකාධිපති අද හමුදාපති. නන්දිකඩාල් පොත ලියපු කමල්ගුනේ ආරක්ෂක ලේකම්. මේ තුන් දෙනාටම මිනිස්සු මරපු අතුරුදහන් කරපු චෝදනා තියෙනවා. ඉතින් පණ ඇති සිහි මොළේ ඇති මිනිහෙක් වසංගත සීයක් හැදුනත් මෙයාලට බාර වෙනවද? බුදාම්මෝ..!
ගෝඨාභය මහත්තයා මාතලේ අණ දෙන නිලධාරියා වෙලා හිටපු කාලේ එයාගේ අත් අඩංගුවේ ඉඳලා පණ බේරාගෙන ගෙදර ගිය එකෙක් හරි ඉන්නවා නම් අනේ කරුණාකරලා ඉදිරිපත් වෙන්න පිං සිද්ද වෙයි. එතකොට අපිට නිරෝධායනයකට හමුදාවට බාර වෙන්න හිතන්නවත් පුළුවන්. 
ඒ නිසා අනේ අම්මාපල්ල මම නම් මේ හැංගිලා ඉන්නේ වෙන කිසි කාරණේකට නොවේ බයටමයි.. කොරෝනා හැදිලා මළොත් අඩු ගානේ ගෙදර උදවියට මරණ සහතිකේ වත් ලැබෙයි. එහෙම නැතිව හමුදා ‘නිරෝධායනය’ යටතේ අතුරුදහන් වුනොත් එහෙම මරණ සහතිකයක් තියා පාංසකූලයක් වත් ලැබෙන්නෙ නැති බව සහතිකයි. බුදාම්මෝ..! 
ඒ නිසා ශ්‍රී ලංකා වාසී ජනතාවෙනි. කොරෝනාව පටන් ගත්ත චීනෙ ඉන්න කම්කරු පන්තියට වඩා චීන කම්කරු පන්තියක් ලංකාවේ ඉඳිද්දි, ඒ අය කිසි නිරෝධානයක් නැතිව කෙළින්ම චීනෙන් ලංකාවට යද්දි එද්දි, චීනෙන් ඉතාලියට ගිහින් ඉතාලියෙන් ලංකාවට කොරෝනා ගෙනාවා කියලා අපට අල්ලගෙන තලන්න හදන්න එපා. අපි අන්තිම අසරණයි. අපට අනුකම්පා කරන්න. අප අත වරද නැත. හැමදෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, කොරෝනා හැදුනු අය ඉක්මනින් සුවපත් වෙත්වා. තෙරුවන් සරණයි. ජේසු පිහිටයි. දෙවි පිහිටයි. 
මීට
අසරණ (තාමත් සැඟවී සිටින)

රටවිරු ඉතාලියා

Comments