ආණ්ඩුව කොර වෙයිද ?

Syndicated from mawbima,






“අද රටේ ජනතාව බඩගින්නේ ඉන්නේ. මේ වන විට සියලුම කඩසාප්පු වසා දමා තිබෙනවා. විශේෂයෙන්ම ව්‍යාපාරිකයන් තමන්ගේ ව්‍යාපාර අතින් ඉතාමත් අසීරු තත්ත්වයට පත්වෙලා තියෙනවා. අපි සෞඛ්‍ය අංශය ගැන විතරක් හිතාගෙන මේ රටේ සියලු මහජනතාව නිරෝධායනය කරත් වැඩක් නැහැ මේ රටේ ජනතාව ආර්ථික වශයෙන් හිඟන්නෝ බවට පත් කරලා. මේ රටේ ජනතාව බඩගින්නේ තියලා නිරෝධායනයට ලක් කරලා වැඩක් නැහැ. අද මේ කිසිම දෙයක් මාධ්‍ය ඔස්සේ දාන්නේ නෑ. පෞද්ගලික මාධ්‍ය, රජයේ මාධ්‍ය රජයට කඩේ යනවා කියන එක තමා අපට පේන්න තියෙන්නේ. ඉතින් අද මේ රටේ මිනිස්සු ගෙවල්වලට හිර කරලා තියලා මේ අය නිරෝධායනයට ලක් කරනවා කියලා සමස්ත රට බඩගින්නේ තියන්න උත්සාහ ගන්නවා නම් රජය, අපි ඒකට ඉඩ තියන්නේ නෑ. ඉතාමත් කනගාටුදායක තත්ත්වයක් ඉතාමත් බැරෑරුම් තත්ත්වයක්. මේ රජය මේකට වගකියන්න ඕනේ.”
එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි කවින්ද ජයවර්ධන පසුගියදා අන්තර්ජාලයට වීඩියෝවක් මුදා හරිමින් තම බුද්ධියේ තරම විදහා පෑවේ එසේ ය. ඔහු විතරක් නොව විපක්ෂයේ බහුතරය මේ මොහොතේ හැසිරෙන්නේ අන්ධභූතයන් ලෙස ය. ඒ බව පසුගියදා අසන්නට ලැබුණු පහත දැක්වෙන කතා තුළින්ද අපට තේරුම් ගත හැකි ය.
“චීනයෙන් එන චීන ජාතිකයන් නිරෝධායනය කිරීමට රජයේ කිසිදු වැඩපිළිවෙළක් නෑ. කොරියාවෙන්, ඉතාලියෙන් ආපු අය මඩකළපුවට ගිහින් දානවා. රජය තවම නිරෝධායන ක්‍රියාවලියට නිසි පරිදි මැදිහත් වෙලා නෑ. මිනිස්සු කෑ ගහන්නේ ඒකයි.”
- විජිත හේරත්
 “හමුදාව නැත්නම් හමුදාව පැත්තකින් තියලා රජය රජයක් විදිහට කොරෝනා නැවැත්වීම සඳහා සිදු කර ඇත්තේ කුමක්ද? රජය පාසල් වැසුවේ රටේ දරුවන්ට ආදරය නිසා හෝ කොරෝනා නිසා නොවේ. ගුරු සංගම්වල වැඩ වර්ජනයට බයෙන්.”
-හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර
“කොරෝනා නිසා තුන්දෙනෙක් මිය ගිහින් තියෙනවා. දෙන්නෙක් ඉතාලියෙන් ආපු අය.”
-සරත් ෆොන්සේකා
ගෝලීය වසංගතයක් බවට පත් වී ඇති කොවිඩ් 19 වයිරසය ලෝකයේ රටවල් 199ටම ව්‍යාප්ත වී හමාර ය. ලෝකෙට ලොක්කා යැයි කියා ගන්නා දැවැන්ත ඇමෙරිකාවද අද වන විට කොරෝනා නිසා දණින් වැටී ඇත. මානව හිමිකම් ගැන තුන්වැනි ලෝකයේ රටවලට ඇඟිල්ල දික්කරන ඇමෙරිකාව අද හෙල්ත් ඉන්ෂුවරන්ස් එකක් නැත්නම් කොරෝනා ආසාදිතයන්ට බෙහෙත් කරන්නේ ද නැත. ලොව දියුණුම සෞඛ්‍ය සේවාවක් ඇති ඉතාලියේ ජනතාව අද ප්‍රතිකාර ලබන්නේ පාරවල් දිගේ දාපු ඇඳන්වල ය. මැරෙන්නේ බල්ලෝ බළල්ලු ගාණටය. කොරෝනා ව්‍යසනය විසින් අද දියුණු යැයි කියා ගන්නා රටවල් ඒ තත්ත්වයට ඇද දමා ඇත. තත්ත්වය එසේ තිබියදී ලංකාවේ ආණ්ඩුව මේ විනාසයෙන් ගැලවෙන්න පුළුවන් හැම උත්සාහයක්ම ගනිද්දී... විපක්ෂ දේශපාලකයන් කළ යුත්තේ නන්‍ෙදාඩවමින් ආණ්ඩුවට පහර ගහන එක නොව, හැකි උපරිමයෙන් ආණ්ඩුවේ මෙහෙයුමට සහාය වන එක ය. ඒ අතින් ගත්තාම එජාප නායක රනිල් වික්‍රමසිංහ පසුගියදා පක්ෂ නායක සමුළුවේදී යථාර්ථය තේරුම් ගෙන කතා කළේ ය. කොරෝනා වයිරසය මර්දනය කිරීමට රජය ගෙන යන සෞඛ්‍ය වැඩපිළිවෙළ අගය කරන බවත්, එම වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙන යා යුතුව ඇති බවත්, ජනතාව ඒකරාශී වීම වැළැක්වීමට ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක කරන අතරේ අත්‍යවශ්‍ය නොවන රජයේ සේවකයන්ගේ නිවාඩු තවදුරටත් දීර්ඝ කරන ලෙසත් ඔහු යෝජනා කළේ ය. කොරෝනා වසංගතයේ පළමු වටය දැන් අවසන් වී දෙවැනි වටයට පිවිසෙමින් තිබෙන බවත්, දෙවැනි වටයට සාර්ථකව මුහුණදීම සඳහා ජර්මනියෙන් ආදර්ශ ලබාගත හැකි බවත් රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේ ය. රෝහල්වල ඇඳන් සංඛ්‍යාව වැඩි කරගත යුතු බවත් අයි.ඩී.එච්. රෝහලට ඇඳන් 1000කින් යුත් වාට්ටුවක් හදන ලෙසත් ඔහු රජයෙන් ඉල්ලා සිටියේය. හුස්ම ගැනීමේ යන්ත්‍ර හැකිතාක් දුරට අලුතින් නිෂ්පාදනය කළ යුතු බවත්, ඒවා ඕනෑම අවස්ථාවකදී රටට ප්‍රයෝජනවත් වන බවත් ඔහු කීවේ ය. අනෙක් අතට, ජන ජීවිතය සවිබල ගැන්වීම හා සුරක්ෂිත කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් තමා ඇතුළු සියලු දෙනාගේ සහයෝගය ලබා දෙන බවත්, ජනතාව මේ මොහොතේ සියලු අපහසුතා දරාගෙන කටයුතු කිරීම ගැන ගෞරවය පුදන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද කීවේ ය. 
සුනාමි ව්‍යසනයේදී හා පශ්චාත් සුනාමි තත්ත්වය පාලනය කිරීමේදී චන්ද්‍රිකාගේ ආණ්ඩුව ක්‍රියා කළ හැටි අප දැක ඇත. යහපාලන ආණ්ඩුව මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටීම ඇතුළු ස්වාභාවික ව්‍යසන
කළමනාකරණය කරපු හැටි ද, පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය සහ ඉන් පසු උද්ගත වූ තත්ත්වයන් පාලනය කිරීමේ දී ‘පිස්සු කෙළිය’ හැටි ද මෙරට ජනතාවට හොඳින් මතක ඇත. එහෙම බැලුවාම කොරෝනා වයිරසය පැතිරීම සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය ගෙනයන වැඩපිළිවෙළ විවේචනය කළ හැක්කේ දේශපාලන කුහකයන්ට පමණ ය.  සැලසුමකින් තොරව අයාලේ ගිය පාලන තන්ත‍්‍රයක්, දූෂිත වූ නිලධාරි ක්‍රමයක්, දුර්වල ආර්ථික සංවර්ධනයක් සහිත රටක් කොරෝනා වැනි භයානක වයිරස් රෝගයක් මැඬලීම සඳහා සූදානම් කිරීම ලෙහෙසි පහසු රාජකාරියක් නොවේ ය. ජනාධිපති ගෝඨාභය සහ අගමැති මහින්දගේ උපදෙස් සහ සෘජු අධීක්‍ෂණය යටතේ ආරක්ෂක හමුදාව සහ සෞඛ්‍ය අංශ ප්‍රබල කාර්යක්ෂමතාවකින් යුතුව, දිවිහිමියෙන් ඒ කර්තව්‍යය කරමින් සිටින්නේ ය. එමෙන්ම ලංකාවේ කොරෝනා රෝගියෙක් වාර්තා වී විනාඩි කිහිපයක් තුළ ලෙඩා හඳුනාගෙන, ඔහු හෝ ඇය ආගිය තැන්, ඇසුරු කළ අය ආදිය සොයා වහාම ක්‍රියාමාර්ග ගැනීමේ ක්‍රමවේදයක් යුහුසුලුව සකසා ඇත. ඒ අනුව මේ වන විට වාර්තා වූ රෝගීන් සියයකට වැඩි පිරිසකගේ සම්බන්ධතා ජාලය හඳුනාගෙන ඔවුන් ද නිරෝධායනයට යොමු කර හමාර ය. 
හමුදා නිලධාරියකු ලෙස හා ආරක්ෂක ලේකම් ලෙස ගෝඨාභයගේ වසර 25ක අත්දැකීමෙන් ලත් පළපුරුද්ද මේ මොහොතේ ලංකාව හරි මඟට යොමු කොට ඇත. ලෝක නායකයන් කොරෝනා හමුවේ කොර වෙද්දී ජනපති ගෝඨාභය ගෙනයන කොරෝනා මර්දන
වැඩපිළිවෙළ අද ජාත්‍යන්තර පැසසුමට ද ලක්වී ඇත. ලොව කොරෝනා මර්දනය සාර්ථකම රටවල් අතරින් 4 වැනි තැනට ද අද ලංකාව පත් වී ඇත.
කොරෝනා වයිරසයෙන් ශ්‍රී ලාංකේය ජනතාව බේරාගැනීමට රජය විසින් සිය සමස්ත ශක්තිය අප නොසිතූ ආකාරයට යොදවා ඇත. මුළු ත්‍රිවිධ හමුදාවම සතු සම්පත් කිසිදු පැකිළීමකින් තොරව ජනතාව වෙනුවෙන් කැප කර ඇත. වාර්තා වූ රෝගීන් ඇසුරු කළ අය හා සමීපතමයන් සොයා බුද්ධි අංශ සිය ශ්‍රමය යොදවන්නෙත් ඔවුන්ගේ තොරතුරු සොයා අදාළ අංශ දැනුවත් කොට නිරෝධායනය සඳහා ඉක්මනින් යොමුකරන්නෙත් කෝටි දෙකක ජනතාව රැක ගන්නටත් ය. ජනපති ගෝඨාභය රාත්‍රි 12ටත් හමුදාපති සමඟ, ආරක්ෂක ලේකම් සමඟ, සිය සොයුරු අගමැති සමඟ සාකච්ඡා කරමින්, පරිගණක දත්ත, ජාත්‍යන්තර තොරතුරු සොයමින්, සෞඛ්‍ය බලධාරීන් සහ ඇමැතිනිය සමඟ නිරන්තර සොයා බැලීම් කරමින් කටයුතු කරන්නේ ය. ඔබත් මාත් නිදියන මොහොතේ පවා ඔහු විදේශීය රටවල වෛද්‍ය වාර්තා කියවමින්, කළමනාකරණ සැලසුම් හදමින්, විද්වතුන් සමඟ සාකච්ඡා කරමින් මේ ව්‍යසනයෙන් රට බේරා ගන්නට කටයුතු කරන්නේ ය. ඔහුටම ගැළපෙන යුද හමුදාපති සහ ආරක්ෂක ලේකම් සේම අගමැති අයියාගේ යෝධ බලයත් මේ මොහොතේ ඔහු වටා සාමූහික වීම රටේත් ජනතාවගේත් වාසනාවකි.
කොරෝනා වසංගතය හමුවේ ලංකාව එවැනි සූදානමකින් සහ පැහැදිලි සැලසුමකින් කටයුතු කරද්දී... ලෝක බලවතා ඇමෙරිකාව අද ඉන්නේ ලංකාවටත් වඩා ගව් ගාණක් පහළින් ය. ඇමෙරිකාවේ ප්‍රධාන රෝහලක සේවය කරන ශ්‍රී ලාංකික විශේෂඥ වෛද්‍යවරියක වන ගයා කුලසිංහ විසින් තැබූ සටහනෙන් ඒ බව මනාව තහවුරු වන්නේ ය. 
පළමු ලෝකයේ රටක් යැයි කියන ඇමෙරිකා එක්සත් ජනපදයත් තුන්වන ලෝකයේ රටක් යැයි කියන
ශ්‍රී ලංකාවත් අතර විශාල වෙනසක් ඇය දකින බවත්, මෙම බිහිසුණු සටන මෙහෙයවීමේදී ඊනියා සංවර්ධිත රටවල් සමඟ සසඳන විට ශ්‍රී ලංකා රජය, සෞඛ්‍ය සේවා නිලධාරීන්, මිලිටරිය සහ අසාමාන්‍ය රාජ්‍ය නායකත්වයේ දායකත්වය අගය කිරීමට වචන නැති බවත් ඇය කියන්නී ය. ශ්‍රී  ලංකා රජය මේ අයුරින් ක්‍රියාත්මක වීම රටේ ජනතාවගේ වාසනාවක් බව ඇයගේ මතය ය. ඇමෙරිකාවේ වෛද්‍යවරුන් පවා එකම මාස්ක් එක දිගටම පාවිච්චි කරන තත්ත්වයකට ඇද වැටී ඇති බවත්, අපගේ ජීවිත, අපගේ සගයන්, සෞඛ්‍ය සම්පන්න රෝගීන් සහ ආදරණීයයන්ගේ ජීවිත අවදානමට ලක් කරමින් “සෙල්ලම් තුවක්කු” රැගෙන යුද පිටියට යන ලෙස බලධාරීන්් ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවත් ඇය සඳහන් කරන්නී ය. ඇය අවසාන වශයෙන් ඉල්ලා සිටින්නේ... ‍ෙදාස් පැවරීම නවත්වා මෙම තීරණාත්මක මොහොතේදී  දේශපාලන අදහස් පසෙකට දමා කොරෝනා සටන ජය ගැනීමට රජයට සහාය වන ලෙසත් රජයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන ලෙසත් ය.
හොඳට නරකට දෙකටම දෙස් තියන දිව දෙකේ දේශපාලකයන්ගේ පටු වාසි කතාවලට ඇහුම්කන් නොදී රජය මේ වෙලාවේ ගෙන යන වැඩපිළිවෙළට උපරිම සහාය දීම සියලු ශ්‍රී  ලාංකිකයන්ගේ වගකීම ය. ඒ අනුව ආණ්ඩුව, ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ මේ වෙලාවේ දෙන උපදෙස්, දාන නීති-රීති, අකුරටම පිළිපදිමින් නිවෙස්වලට වී සිටීමට අප වග බලා ගත යුතුව ඇත. අත්‍යවශ්‍ය ආහාර නිවෙස අසලටම සැපයීමට ආණ්ඩුව විසින් දැන් කටයුතු කරමින් යන්නේ ය. අනෙක් අතට කොරෝනා වසංගතය හමුවේ නිවෙසේ ගත කරන කාලය තුළ ඉදිරි ආහාර අර්බුදයට මුහුණ දීමට ගෙවතු වගාවට යොමුවන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත. මහා පරිමාණ කෘෂිකර්ම වැඩපිළිවෙළක් ආරම්භ කිරීම සේම ගෙවතු වගාව පිළිබදව අවධානය යොමු කරමින් සෑම බිම් අඟලක්ම වගා කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසන ලෙසටත්, ගෙවතු වගාව දිරිමත් කිරීම සඳහා ප‍්‍රාදේශීය ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් අවශ්‍ය පොහොර සහ බීජ නිකුත් කිරීමට කටයුතු කරන ලෙසත්, ඒ සඳහා වන උපදෙස් ප‍්‍රාදේශීය කෘෂි නිලධාරීන් හරහා ජනතාවට ලබාදීමට පියවර ගන්නා ලෙසත් ඔහු, ගොවිජන සේවා කොමසාරිස්වරයාට උපදෙස් ලබා දී ඇත. එම උපදෙස් නිසි පරිදි වහාම ක්‍රියාත්මක කිරීමට එම නිලධාරීන් කටයුතු කළ යුතුව ඇත.
කොරෝනාවෙන් ජනතාව බේරා ගන්නට රට පුරාම ඇඳිරි නීතිය දාලා තියෙද්දිත් සෞඛ්‍ය සේවාව වැඩ ය. කුඹුරුවල ගොවියෝ වැඩ කරති. ආර්ථික මධ්‍යස්ථාන විවෘත ය. එළවළු ලොරි රට පුරා යයි. හාල් ලොරි රට පුරා යයි. ගෑස් ටික රට පුරා යයි. තෙල් ටික
ෂෙඩ්වලට යයි. තෙල් නැව් වරායට එයි. ඉස්පිරිතාල ඉදිවෙයි. ආහාර ද්‍රව්‍ය ගෙදරටම දෙයි. චූන් පාන් පාරේ දුවයි. ඒ අස්සෙ ඇඳිරි නීතිය කැඩූ 6247කුත් අත්අඩංගුවට අරගෙන ය. ගෝඨාභය වැඩ කරන්නේ එහෙම ය. කොරෝනාට හරි හැටි නැඟිටගන්නට බැරි ඒ නිසාය.

Comments