දැන් ට්‍රම්ප් වීරයෙක්ද?

Syndicated from samabima,



Image result for donald trump

හැට වියද ඉක්මවූ වියපත් නායකයින් දෙදෙනෙකු ස්වකීය මානසික උද්දච්ඡ භාවය හේතුකොටගෙන තුන්වන ලෝක යුද්ධය ආරම්භ වසර ලෙස 2020 ලෝක ඉතිහාසය තුල කළු පැල්ලම් තබන්නට ගිය උත්සාහය නූලෙන්‘ වෙනස් විය. ඉරානයේ මේජර් ජනරාල් කසේම් සොලෙයිමානි ඝාතනය කරමින් අමෙරිකාව ඉරානයට එල්ල කළිකණේ පහර’ ට ප්‍රති උත්තර දීමට ඉරානයේ අයතොල්ලා කටයුතු කළේ බැලස්ටික් මිසයිල සූදානම් කර ගනිමිනි. ලෝක මට්ටමේ මෙන්ම ඉරාන අමෙරිකා දෙරටේම මානවවාදීන්ගෙන් එල්ල වූ අනවරත විරෝධය හමුවේ වොශින්ටන් ධවල මංදිරයේ ිඉකෝ’ සවුන්ඩ් අතර හිද ට්‍රම්ප් ජාතිය ඇමතුවේය. යුද්ධයකට යාමේ සිතක් තමන් වෙත නොවන වගට හෙතෙම නිම්නාද ස්වරයකින් මිමිණුවේය. දැන් දෙරට තරමක් සන්සුන්ය.

තෙවැනි ලෝක යුද්ධයක් පිලිබඳව සිහින දුටු ආයුධ ජාවාරම්කරුවන්ටත් කුණු රස තලු‍‍ මරන්නට සිටි ඇතැම් ජනමාධ්‍යයන්ටත් ස්වකීය

බලාපොරොත්තු කඩවීම’ පිලිබඳව කණගාටුවක්ද දැනෙන්නට ඇත.

ලෝක යුධ ඉතිහාසය පිරික්සන්නෙකු වහා අවබෝධ කරගත යුත්තක් තිබේ. ඒ මේ බොහෝ සංහාරයන්ගේ මූලාරම්භය නොසැලකිය යුතු මට්ටමේ කුඩා හේතුවක්’ බවය. එක්කෝ එය ජාතිවාදී වස්තු බීජයකි. එක්කෝ ආගම්වාදී මත ගැටුමකි. එක්කෝ ඊටත් වඩා කුඩා හේතුවකි. විශේෂයෙන්ම ජාතිවාදය යනු මිනිසෙකු විසින් තවත් මිනිසෙකු වෙත එල්ල කරන බරපතලම තර්ජනයයි. ඇත්තෙන්ම එය නොසැලකිය හැකි තරම් කුඩා හේතුවක් සඳහා වූ අප්‍රමාණ වෛරයකි. එකී වෛරයේ කුරිරු ගිනි පුලිඟු‍‍ ලෝකය දවා ඇත්තේ වරක් දෙවරක් නොවේ.

පළමු ලෝක යුද්ධයේදී සටන් වැදුනු අය අතරින් ඉතිරිව සිටි පිරිසෙන් දිගුම කලක් ජීවත් වූ සොල්දාදුවා වන්නේ හැරී පැච්’ය. ඔහු මෙසේ කීවේය.

“යුද්ධය”‍ යනු සංවිධානාත්මක මනුෂ්‍ය ඝාතනයකි; අන් කිසිවක් නොවේ!

උන්මාදයෙන් සහ ඔල්මාදයෙන් යුතුව යුද්ධය සාධාරණීකරණය කරන්නට කිසිවෙකුට හැකි වෙතත් හෘද සාක්ෂිය අංශුමාත්‍රයකින් හෝ මානව වර්ගයා වෙනුවෙන් ළතෙත් බවකින් යුක්ත කිසිවෙකුට යුද්ධය කුමනාකාරයකින් හෝ සාධාරණීකරණය කරන්නට නොහැක.

වරක්, ඩ්වයිඩ් ඩී. අයිසන්හවර් අපූරු ප්‍රකාශයක් සිදුකර තිබේ.

‘නිපදවූ සෑම තුවක්කුවක්මත්, දියත් කල සෑම යුධ නැවක්මත්, පත්තු කල සෑම රොකට් වෙඩිල්ලක්මත්, එක්තරා ආකාරයකට සයින් පෙලෙන්නාවූත් ද ආහාර නොදුන්නාවූත් ද, සීතලයෙන් පීඩා විඳින්නාත් වූද වස්ත්‍රයක් නොදුන්නාත් වූද, සමූහයාගෙන් කෙරෙන්නාවූ සොරකමකි. සන්නද්ධ වූ මේ ලෝකය වියදම් කරන්නේ මුදල් නොවේ. ඒ වියදම් කරන්නේ කම්කරුවන්ගේ දහදියයි, විද්‍යාඥයින්ගේ ඥානයයි, දරුවන්ගේ බලාපොරොත්තුවයි. මේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජීවන ක්‍රමයක් නොවේ. යුද්ධයේ වළාකුල පසුපස යකඩ කුරුසිය මත ඇණගැසී ඇත්තේ මනුෂ්‍යත්වයයි.’

යන්ත්‍රානුසාරයෙන් මස් පිණිස සතුන් මරද්දී ආයුධ අනුසාරයෙන් බලය උදෙසා මිනිසුන් මරා ගනී. එමතු නොව ඒ මහා ව්‍යසනය මිනිසා විසින්ම සෞන්දර්යකරණය කරගනු ලබයි.

පළමුවැනි ලෝක මහා සංග්‍රාමය ආරම්භයට හේතු වුණේ ගැටවරයෙක් අර්ධ ස්වයංක්‍රීය පිස්තෝලයකින් එල්ල කළ වෙඩි පහර දෙකකි. ඔස්ටි්‍ර-හන්ගේරියානු ඔටුන්න හිමි මහාදිපාද ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් හා එම මැතිණිය සරජේවො නුවරදී වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ එම ගැටවරයාය. ඔහු ගැව්රිලෝ ප්‍රින්සිප් ය. ක්‍රමානුකූලව මෙය ලෝක සංග්‍රාමය දක්වා පුපුරා ගියේය.

මුළු , උතුරු මුහුද යුරෝපය පුරාමත්, අප්‍රිකාවේ උතුරු කොටස, බෝල්ටික්‌, පැසිෆීක්‌, අත්ලාන්තික්‌, මධ්‍යධරණීහා ඒ වටා ද පැතිර ගියේය. ප්‍රංශය, බි්‍රතාන්‍ය, රුසියාව, සර්බියාව, බෙල්ජියම. මොන්ටිනීග්‍රෝ, ජපානය, ඉතාලිය, ඇමෙරිකා එක්‌සත් ජනපදය, පෘතුගාලය, චීනය, තායිලන්තය, ජර්මානු අධිරාජ්‍යය, ඔටෝමාන් අධිරාජ්‍යය බෙල්ජියම මෙම යුද්ධයට සම්බන්ධ විය. පිස්තෝලයක මූනිස්සම් දෙකකින් ආරම්භ වූ පළමු ලෝක යුද්ධය හමාර වන්නේ ලක්ෂ 90 ක හමුදාවක් මෙන්ම ලක්ෂ 90ක සිවිල් ජීවිත කන්දරාවක්ද මිහිමතින් තුරන් කරමින් ය. පළමු වැනි ලෝක යුද්ධයට කිසිදු අරමුණක්‌ තිබුණේ නැති අතර, යුද විචාරකයන් විසින් මේ යුද්ධය හඳුන්වනු ලබන්නේ ඉබාගාතේ ගිය යුද්ධයක්‌ ලෙසය.

යුද්ධයක ජයග්‍රහණය සමරන්නන් බොහෝ විට අමතක කරන්නක් තිබේ. ඒ යුද්ධයෙන් සිදුවූ අහිමිවීම් වල විලාපයයි. වරක් වෝටර්ලූ සටන් බිමේ ඇතිව තිබූ මහා විනාශය දුටු ජයග‍්‍රාහී පිලෙහි වෙලිංටන් ආදිපාදවරයා, යුද්ධයක් පරාජය වීමේ දුකට නොදෙවැනි දුක වන්නේ යුද්ධයක් ජයග‍්‍රහණය කිරීම යැයි කීවේය.

එහෙත් එවැනිම යුද්ධයක් හමාරව සමහරුන් කැවුම් කිරිබත්’ බුදිති.

පළමු ලෝක යුද්ධයෙන් පාඩම් ඉගෙන නොගත් ලෝකයා ඉන් දශක කිහිපයකට පසුව, දෙවන ලෝක යුද්ධයකටද මුල පිරීය. චිත්‍ර ශිල්පියෙකු වන්නට සිහින දුටු ඇඩොල්ෆ්’ නැමති කොළු ගැටයා කාලානුරූපීව  බලය’ පසුපස දුවන උන්මත්තක හිට්ලර්’ බවට පරිවර්තනය වන්නේ තීරණාත්මක කලු‍‍ පැල්ලමක්’ ලෝක ඉතිහාසයේ පිටු තුල ලියමිනි. නාසි ජර්මනිය, ඉතාලිය සහ ජපන් අධිරාජ්‍යය මූලික කොට සෑදුනු අක්ශීය බලවතුන් සහ සෝවියට් රුසියාව, ඇමෙරිකා එක්සත් ජනපදය සහ මහා බි්‍රතාන්‍යය එක්ව නිර්මාණය වූ මිත්‍ර පාර්ශවය අතර ඇති වූ මහා සංග්‍රාමය දෙවන ලෝක යුද්ධය ලෙස ලොවම ගිල ගත්තේය. එක් අතකින් වර්ෂ 1937 වන විට ජපන් අධිරාජ්‍යය, චීන සමූහාණ්ඩුවට එරෙහිව යුද්ධය අරඹා තිබූ අතර අනෙක් අතින් හිට්ලර් 1939 සැප්තැම්බර් පළමු වන දින පෝලන්තය ආක්‍රමණය කරනු ලැබීය. දෙවන ලෝක යුද්ධය ආරම්භ වන්නේ ඒ සමඟය.
දෙවන ලෝක යුද්ධය සමයේ,

1939 – 1945 අතර කාලයේදී මිත්‍ර හමුදා සතුරු පාර්ශ්චය ඉලක්ක කරගෙන හෙළු බෝම්බවල බර ටොන් මිලියන 3.4ක් වන අතර එය මාසයකට ටොන් 27,700ක සාමාන්‍ය අගයක් ගනු ලැබීය. දෙවන ලෝක යුද්ධයේදී විශාල ප්‍රමාණයේ බෝම්බ හෙළන ගුවන් යානා 12,000ක් පමණ බිම හෙළා ඇත. යුරෝපය තුල මිත්‍ර පාර්ශ්වයේ බෝම්බ හෙළන යානාවල හුන් සෙබලු‍‍න් 100,000කට වඩා මිය ගියහ. 1944 ජූනි 6 සිට 1945 මැයි 8 දක්වා යුරෝපය තුල මිත්‍ර පාර්ශ්වයේ හමුදා 200,000ක් මිය ගොස් 550,000ක් තුවාල ලැබීය. දෙවන ලෝක යුද්ධයේදී ජර්මන් යූ බෝට් සබ්මැරීන තුල 40,000ක් සේවය කලද ඔවුන්ගෙන් 30,000ක් නැවත පැමිණියේ නැත. යුද්ධය අතරතුර ජර්මන් ජෙනරාල්වරු 84ක් හිට්ලර්ගේ නියමයෙන් මරා දැමිණි. හිට්ලර් ඔවුන්ව සැක කරනු ලැබීම ඊට හේතුවය. මිලියන 50කට අධික මිනිසුන් ප්‍රමාණයක් මිය ගිය දෙවන ලෝක යුධ සමයේ මිය ගිය සෙබළුන් සංඛ්‍යාව මිලියන 15 කි.

1923 වසරේ උපන් රුසියානු පිරිමින්ගෙන් 80%ක්ම දෙවන ලෝක යුද්ධයෙන් මිය ගියහ. ජපානයට එල්ල වූ පරමාණු බෝම්බ ප්‍රහාර දෙක අදත් ලෝකය භීතියෙන් ත්‍රස්ත කරන්නට සමත් කුරිරු ප්‍රහාරයන්ය. පරාජයෙන් හතරගාතේ වැටී සිටි ජපන් හිස මතට කඩා හෙලූ මේ පරමාණු ප්‍රහාර දෙක සහමුලින්ම තුච්ඡ’ වැඩක් ලෙස අමෙරිකන් ජනාධිපති හැරී එස්. ටෲමන්ගේ කාර්යයමණ්ඩල ප්‍රධානියා වූ අද්මිරාල් විලියම් ලීහි පවා පවසා තිබුණි.

1945 අගෝස්තු හය වෙනිදා ග්‍රිනිච් වේලාවෙන් උදෑසන 08.10ට ඇමරිකා එක්සත් ජනපදය විසින් හිරෝෂිමාවට හෙළනු ලැබූ න්‍යෂ්ටික බෝම්බය මීටර් හයසීයක වපසරියක් සුනු විසුනු කරමින් පුපුරා ගියේ හැත්තෑ දහසකට ආසන්න ජපාන සිවිල් වැසියන් එක වර ඝාතනය කරමිනුයි. බෝම්බය හෙලු‍‍ 8.10 වේලාව තෝරාගෙන තිබුණේත්, එය හෙලීමට හිරෝෂිමාව තෝරාගෙන තිබුණේත් අහඹුවකින් නොවේ. 8.10 යනු ජපන් දරුවන් පාසැල් වලට පිටතට එන වෙලාවය. අනෙක් අතට ඒ වනවිටත් යුද්ධ භීතියෙන් තෝකියෝව තිබුණේ ජන ශුන්‍යව ය. ජනයාගෙන් පිරී තිබුණේ හිරෝෂිමා වැනි කුඩා නගර ය.

මෙලෙස දෙවන ලෝක යුද්ධය වසර හයක පමණ දීර්ඝ කාලයක් පැවැති අතර මිනිස් ජීවිත මිලියන ගණනාවක් මිහිපිටින් වනසා දැමූහ. එම යුද්ධය ලෝකයේ දේශපාලන මුහුණුවර මුළුමනින්ම වෙනස් කළ අතර චෙකොස්ලෝවැකියාව නැමති රට මුලු‍‍මනින්ම ලොවෙන් අතුගා දමන්නට සමත් විය.

යුද්ධයක පසු සටහන් කියවන්නෙක් වෙත්නම් වහා විමසා බැලිය යුත්තේ යුද ජයෙන් ඔද්දල්ව උන්මාදනීය රණ ගී ගයන්නන් ගැන නොව එහි වින්දිතයින් ගැනය. ඊනියා ඉතිහාස නිර්මාපකයින් ගොඩ නගන්නේ ජයග්‍රාහකයාගේ උස් ස්වරයයි. අප සොයා බැලිය යුත්තේ පරාජිත ට්‍රෝජන් වැසියන් ගැන මිස ජයග‍්‍රාහී ග‍්‍රීකයන් ගැන නොවේ. අප විමසිය යුත්තේ විනාශයට පත් කාර්තේජිනියාව ගැන මිස, මහේශාක්‍ය රෝමය ගැන නොවේ. අප සානුකම්පිතව බැලිය යුත්තේ ආදිවාසී ඇමරිකානුවන්ට වූ විපත මිස ආක්‍රමණශීලී යුරෝපියයන්ගේ යශෝරාවය’ ගැන නොවේ.

එහෙත් ඉතිහාසය අපට ලියා දී තිබෙන්නේ අනෙකකි.

ජයග්‍රාහකයාගේ සහ බලවතාගේ යශෝරාවයෙන් පීඩිතයාගේ සහ පරාජිතයාගේ අනුවේදනීය කඳුල යටපත් කොට තිබේ. මේ එලැඹ තිබෙන්නේ, දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ සිවිල් යුද්ධයකින් බැට කෑ ජාතියක් වශයෙන්, යුද්ධයක වීරත්වයක් නොමැති බවත් – එමතින් ගොඩ නැගෙන ඉතිහාසයකට සිනහව තැවරීමේ කාර්යයේ දුෂ්කර බවත්’ ලෝකයටම හඬ ගා කිව යුතුව තිබෙන කාලයකි.

90 වැනි සමබිම කලාපයට රංජිත් සමරකෝන් විසින් ලියන ලද ලිපියකි.

Comments