ජිනීවා ගිය දහනවය

Syndicated from samabima,


LIVERPOOL_SHIRT_19

ජිනීවා අවසන් අදියරේදි එනම් පසුගිය 27 වැනිදාවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හා සම්බන්ධ වෙමින් ප්‍රකාශයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කටයුතු කළේය. මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මහ කොමසාරිස්වරියගේ ප්‍රකාශය අගය කරමින් රටෙහි ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත්ව පැවතීමට නම් එම සංශෝධන දුර්වල නොකළ යුතු බව එහිදී ප්‍රකාශ කළාය.

මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂලේගේ වාර්තාවේ මෙන්ම ඇය ලංකාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමේදී ද 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අගය කිරීමට කටයුතු කළාය. 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ශක්තිමත් කරන ලද ශ්‍රී ලංකාවේ ස්වාධීන ආයතන ඉතා වැදගත් වේ. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව ස්වාධීන හා වෘත්තීයමය ලෙස මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා සක්‍රීයව සහ ඍජුව කටයුතු කර ඇත. 2019 අපේ‍්‍රල් ප්‍රහාරයන්ගෙන් පසු පමණ ඉක්මවා ගිය පියවරයන් වැළැක්වීමේලා එහි කාලෝචිත බව මහ කොමසාරිස්වරියගේ ඇගයීමට ලක්ව තිබේ. සියලු‍‍ රාජ්‍ය බලධාරීන්ගෙන් තොරතුරු ලබා ගැනීමට පුරවැසියන්ට ඇති අයිතිය සහතික කරමින් 2016 පිහිටුවනු ලැබූ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව තවත් වැදගත් ආයතනයක්’ බව වාර්තාව පෙන්වා දේ.

‘19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ශක්තිමත් කරන ලද ශ්‍රී ලංකාවේ ස්වාධීන ආයතන එහි ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයේ ප්‍රධාන කුළුණකි.’ යනුවෙන් පසුගිය 27 වැනිදාවේ විදේශ කටයුතු ආමාත්‍ය දිනේශ් ගුණවර්ධනගේ කරුණු දැක්වීම්වලට ඇය ප්‍රතිචාර දැක්වූවාය.
මෙම ප්‍රතිචාර සම්බන්ධයෙන් අදහස් දක්වමින් මානව හිමිකම් කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම මානව හිමිකම් කවුන්සිලය අමතමින් කියා සිටියේ, 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ එන ප්‍රතිපාදනයන් දුර්වල කිරීම විසින් තුලන සහ සංවරණයන් සහ නීතියේ ආධිපත්‍යය යටතේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම දුර්වල කරනු ඇති’ බවයි.

‘ඇත්ත වශයෙන්ම, නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලිසිය අපක්ෂපාතී, නිර්පාක්ෂික ලෙස කටයුතු කිරීම එහි සාරයයි. මානව හිමිකම් ආරක්ෂා කිරීම, ප්‍රතිසන්ධානය සහ අතීත සංවේදනයන් සමඟ කටයුතු කිරීම යන සියල්ලම එකිනෙකට සම්බන්ධය. එබැවින් අතුරුදහන්වූවන්ගේ කාර්යාලය සහ වන්දි ගෙවීමේ කාර්යාලය ශක්තිමත් කිරීම අත්‍යාවශ්‍යය.’

දේශපාලන හෝ හුදු තාක්‍ෂණික කෝණයකින් පමණක් මැන බැලිය නොහැකි මානව හා මානුෂීය ගැටලු‍‍ රැසක් ඒවා විසින් ආමන්ත්‍රණය කරනු ලබන බවත් මානව හිමිකම් ආරක්ෂකයින් සහ මාධ්‍යවේදීන්ට අහිතකර ප්‍රතිවිපාක ඇති වනු ඇතැයි බියෙන් තොරව කටයුතු කිරීමට නිදහස තිබිය යුතු බවත් ඇය අවධාරණය කළාය.

‘වාර්ගික සමගිය සඳහා වැඩි ආයෝජනයක් කරමින් මහජන ආරක්ෂක පියවරයන් පරෙස්සමින් සමතුලනය කරන අතර සියලු‍‍ ආකාරයේ අන්තවාදයන් පරාජය කිරීමේ වැදගත්කම අවධාරණය කරන බව මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය එහිදි ප්‍රකාශ කළාය.

කෙසේ නමුත් පසුගිය 06 වැනිදාවේ අරලියගහ මන්දිරයේ ප්‍රවෘත්ති කර්තෘවරුන් සමඟ පැවැති සාකච්ඡාවකදී අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ, 19 වන සංශෝධනය මැතිවරණයෙන් පසු අහෝසි කිරීමට නියමිත බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය මහ මැතිවරණයෙන් පසුව අවලංගු කරන අතර එය රාජ්‍යයේ සහ දේශපාලන පක්ෂවල ගැටලු‍‍ රාශියක් ඇති කර ඇති බව අග්‍රාමාත්‍යවරයා එහිදි සඳහන් කළ බව ඩේලී නිව්ස් පුවත්පත පසුගිය 07 වනදා වාර්තා කර තිබුණි.

එක්සත් ජාතික පක්ෂය තුළ ප්‍රශ්න උද්ගත වීමට හේතු වී ඇත්තේ ඔවුන් විසින් සම්මත කරන ලද 19 වන ව්‍යවස්ථා සංශෝධනය බව අගමැතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ. 

මැතිවරණය සහ ප්‍රතිසංස්කරණ පිළිබඳ අනාගත සැලසුම් සම්බන්ධයෙන් එහිදී මාධ්‍යවේදීන් නැගු පැනයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා පවසා ඇත්තේ, මහජනයාගෙන් අපේක්ෂා කරන තුනෙන් දෙකක බහුතරය සමඟ නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට රජය සැලසුම් කර ඇති’ බවයි.

එම සාකච්ඡාවට සහභාගී වූ අමාත්‍ය ජී.එල්.පීරිස්, 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් ජනාධිපතිවරයාට පොලිස්පතිවරයා ඉවත් කළ නොහැකි වී ඇති බවත් මේ වන විට මාංචු දමා ඇති පොලිස්පතිවරයා මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන එන බවත් ඉල්ලා අස්වන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියද එය ඔහු ප්‍රතික්ෂේප කරන බවත් පැවසීය. 19 වන ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් මෙවැනි අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව ඩේලී නිව්ස් වාර්තාව පෙන්වා දේ.

නව ආණ්ඩුව 19 වන ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කළ පළමු අවස්ථාව මෙය නොවේ. විශේෂයෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැටලු‍ සහගත බව පෙන්වා දී තිබුණි.

එසේම ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් තමන්ට 2/3ක බලයක් ලැබුනහොත් අසාර්ථක 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසිකරන බව’ට ඉන්දීය සංචාරය අතරතුර හින්දු පුවත්පත සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ප්‍රවෘත්ති කර්තෘවරුන් සමඟ පැවති සාකච්ඡාවේදී 2/3 ජනවරමක් ඉල්ලීමේ අරමුණ කුමක්දැයි ජනාධිපතිවරයාගෙන් මාධ්‍යවේදියෙකු විමසු විටි19 ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් රාජ්‍ය පාලනය කිරීම අපහසුවක් වී ඇති බවත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ව්‍යවස්ථාමය බාධා ඇති විට එම ව්‍යවස්ථාවෙන් ඵලක් නැති බවටත් කරුණු දැක්වීය.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු වීම, ජනපතිගේ ධුර කාලය සීමා වීම, රාජ්‍ය පරිපාලනයට අදාළ කොමිෂන් සභා පිහිටුවීම, එම කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත සිදුවීම, අධිකරණ විනිසුරුවරයන්, අභියාචානාධිකරණයේ විනිසුරුවරයන්, නීතිපති සහ පොලිස්පති වැනි තනතුරුවලට පුද්ගලයන් පත් කිරීමේ දී පෙර පැවති ජනාධිපති බලය සීමා කිරීම ඇතුළු කරුණු ගණනාවක් ඇතුළත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයට 2015 වසරේ පාර්ලිමේන්තුවේ 215 දෙනෙකුගේ සහය හිමි විය. ආණ්ඩුව 2/3 බලයක් සමඟ ආපසු හැරවීමට අපේක්ෂා සහගතව සිටින්නේ එම සංශෝධනයයි.

ඕනෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට ඒ මොහොතේ බලයේ සිටින පාර්ශ්වයේ බල-දේශපාලන ව්‍යාපෘතියට ඇතුල් වීම වැළැක්විය නොහැක. එහෙත් එය සාධාරණීකරණය කළ හැකි වන්නේ එමගින් සමස්තයක් ලෙස රටට සිදුවන ප්‍රයෝජනය සහ යහපත මතයි. 19 යෙන් එලෙස ප්‍රජාතන්ත්‍රීය අවකාශය පුළුල් වූ බව මානව හිමිකම් කොමිසම වැනි රාජ්‍ය ආයතන විසින්ම පෙන්වාදීම අගය කළ යුතුය. දැන් ගැටලු‍ව ඇත්තේ ඒ ප්‍රජාත්ත්‍රවාදී අවකාශය රැක ගත හැකි වේද යන්නය.


#557 වැනි සමබිම ඉරිදා අතිරේකය සඳහා ජයනි අබේසේකර විසින් ලියන ලද ලිපියකි.



Comments