කොරෝනා අස්සේ නන්දසේන දළ විලිස්සයි..! මිරිසුවිල් සමූහ ඝාතනයට මරණීය දණ්ඩනය නියමව සිටි සාජන්ට් සුනිල්ට ක්‍රම විරෝධී ජනාධිපති සමාවක්..! වසංගතයකට මුවා වී මෙවැනි වැඩ කරද්දී ලෝකයාගේ උපකාර ලැබෙයිද?

Syndicated from lankaenews,


(ලංකා ඊ නිව්ස් -2020.මාර්තු.26, ප.ව.6.25) කොරෝනා වසංගතය අස්සේ තම පුද්ගලික වනචාරී දේශපාලන ගේම් ගහන පාලකයන් ලංකාවේ හැර මේ පෘථිවියේ දැනට දක්නට නොලැබේ. ඉරාණය තම සිරකරුවන් 85000 කට ‘තාවකාලික’ නිදහසක් ලබා දුන්නේ සිරගෙවල් වලට වෛරසය පැතිරුණහොත් ඇති වන භයානක තත්තවය අවම කර ගැනීම සඳහා සිරගෙවල් වල තද බදය අඩු කිරීමට ය. ඔවුන් මිනීමැරුම් වලට දඬුවම් ලබන වරදකරුවන් නොව සුළු වැරදි වලට දඬුවම් ලබන වුන් ය.  එය ද සිදුකෙළේ ඉරාණයේ කොරෝනා මරණ සංඛ්‍යාව ඉහල යෑමත් සමග ය. 
එසේ වී නමුත් ශ්‍රී ලංකාවේ වියරු පාලකයා නන්දසේන ගෝඨාභය අද(26)  5 හැවිරිදි දරුවෙකු ද ඇතුළු යුද අනාථයන් 8 දෙනෙකු පිහි වලින් ඇන කපා කොටා සමූහ ඝාතනය කිරීමේ වරදට මරණ දණ්ඩනය හිමි වී සිටි ස්ටාෆ් සාජන්ට් සුනිල් රත්නායක පමණක් ජනාධිපති සමාව යටතේ නිදහස් කර තිබේ. 
මෙය කොරෝනා වසංගතය හා බැඳුනු තීරණයක් නොව සම්පූර්ණයෙන්ම ජනාධිපති බලතල අවභාවිතා කරමින් තමන්ට හිතුමතයේ ක්‍රියා කිරීමකි. මන්ද යත් ජනාධිපතිවරයෙකු යම් පුද්ගලයෙකුට ජනාධිපති සමාව ලබා දීමේ දී අනුගමනය කළ යුතු කිසිවක් ඔහු අනුගමනය කර නැත. ඒ නම්, වින්දිතයන්ගේ කැමැත්ත, නඩු තීන්දුව දුන් විනිසුරුවන්ගේ කැමැත්ත, නීතිපතිවරයාගේ කැමැත්ත, අධිකරණ ඇමැතිවරයාගේ කැමැත්ත ආදියයි. ඒ කිසිවක් නොමැතිව නන්දසේන අද මිනීමරු සුනිල් රත්නායකට නිදහස ලබා දී තිබේ. 

මිරිසුවිල් සමූහ ඝාතනයට වරදකරු කරමින් සුනිල් රත්නායකට මරණ දඬුවම දීමේ ඉතිහාසය..  

යාපනය මිරිසුවිල් ප්‍රදේශයේ තම පැරණි නිවහන් ඉතිරි වී තිබේදැයි පරික්ෂා කොට බැලීමට පැමිණි උඩුප්පිඩි හි කඳවුරක දිවි ගෙවූ යුධ අනාථයින් 8 දෙනෙකු පිහි වලින් ඇන කපා කොටා වෙඩි තබා ඉතාමත් සාහසික ලෙස 2000 දෙසැම්බර් 20 වෙනි දින ඝාතනය කර වැසිකිලි වලක දමා තිබී හමුවී තිබිණ. මිරිසුවිල් සමූලඝාතනය නමින් පැවැත්වූ නඩු විභාගය වෙනුවෙන් ශ්‍රී ලංකා හමුදාවේ 13 දෙනෙකු හට ඝාතන චෝදනාව එල්ල විය.
මරා දැමූ 8 දෙනා අතර කුඩා දරුවන්ද සිටි බව මරණ පරික්ෂණයේදී හෙළිවිය. දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරී දොස්තර සී කාතිර්වේතිපිල්ලේ  ගේ නිගමනයට අනුව ඔවුන්ගේ ගෙල තියුණු ආයුධ වලින් සිඳ දමා තිබුණු බව නඩු විභාගයේදී හෙළිවිය. මරා දැමූ 8 දෙනා අතර 5 හැවිරිදි විල්වරාජා ප්‍රසාද්  හා තවත් හිරිමල් යෞවනය ගතකරමින් සිටි තිදෙනෙකුද වූහ.
මෙම සමූලඝාතනය ඉලක්කකොට ජාතික සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන විසින් පරික්ෂණයක් ඉල්ලා යුධ හමුදාවට හා එවක තිබූ චන්ද්‍රිකා රජයට බලපෑම් කළ අතර එහි ප්‍රතිපලයක් ලෙස එවකට එජකාරි කළ හමුදා සොල්දාදුවන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන නඩු විභාගය පවත්වන ලදී. ප්‍රථම නඩු විභාගය යාපනයේ චාවකච්චේරි උසාවියේදී පැවැත්වූ අතර පසු කලෙක විත්තියේ ඉල්ලීම පරිදි අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන එන ලදී. පසුව වැඩිදුර නඩු විභාගය පැවැත්වීම පිණිස කොළඹ අලුත්කඩේ මහාධිකරණය තුල වසර 13 ක් තිස්සේ පවත්වන ලදී.
අවසාන නඩු විභාගය අතර තුරදී අත්අඩංගුවට ගත් 14 දෙනා අතරින් 9 දෙනෙකු නිදොස්කොට නිදහස් කළේය. පසුව නීතිපතිවරයා විසින් ඉතිරි සොල්දාදුවන් 5 දෙනා හට අධිචෝදනා බාර දෙමින් නඩු විභාගය ඉදිරියට රැගෙන එන ලදී. ඒ නඩු විභාගය මහින්ද රාජපක්ෂ යුගය පුරා විභාගය විණි. මිරිසුවිල් සමූලඝාතන  නඩු විභාගය 2015 ජුනි 23 වෙනිදින අවසන් කළ මහාධිකරණය Staff Sergeant සුනිල් රත්නායක හට මරණීය දණ්ඩනය පමුණුවන ලදී. චෝදනා 15 කට වරදකරුවූ සුනිල් රත්නායකට එසේ මරණිය දණ්ඩනය හිමි වෙද්දී අනිත් 4 දෙනා නිදොස් කොට නිදහස් කළේය. 
කුඩා දරුවෙකු ඇතුළු අනාථයන් 8 ‌දෙනෙකු අමානුෂික ‌ලෙස ඝාතනය කළ අපරාධයට අධිකරණය එකෙකු ‌හෝ වරද කරුවෙක් කළ නමුත් දැන් ජනාධිපති නන්දසේන ගෝඨාභය ඒ එකාවද ක්‍රම විරෝධීව නිදහස් කර තිබේ. 
ලංකාවේ නීතියේ ආධිපත්‍යයට, ස්වාධීන අධිකරණයට අබ සරණය. ලෝකයා අපේ රට වනචාරි ගෝත්‍රිකයන්ගේ රටක් ලෙස නොසැලකුවහොත් පමණක් පුදුම විය යුතුය. සම්පත් ද අවමව දරුණු වසංගතයකට මුහුණ දී තිබෙන අප වැනි දූපතකට ලෝකයාගේ උදව් අත්‍යාවශ්‍ය මෙවැනි අවස්ථාවක ලෝකයාගෙන් කොන්වන තාලේ මේ තරම් ගොබ්බ කම් කරන අදූරදර්ශී මංඤමෙක් රටේ පාලකයා වූ කල අඳෝමැයි..!

චන්ද්‍රප්‍රදීප් 

Comments