කොරෝනා සෙන්චරියට නගිද්දී බැසිල් ලොක්කාත් රජ කරලියට -දක්ශින ගාල්ලගේ ලියයි-

Syndicated from lankaenews,


(ලංකා ඊ නිව්ස් -2020.මාර්තු.24, ප.ව.11.45) මාර්තු 11දා එක් රෝගියකුගෙන් ආරම්භ වු  කොරෝනා ආසාදිතයින් ගණන අද ශතකය ඉක්මවා 102 වාර්තා  ‌කෙළේය. රජය මාධ්‍ය සංදර්ශන ඔස්සේ පාරම්බාමින් පය බරවායට පිටි කර  බෙහෙත් බඳින්නා සේ ගෙන යන අදූරදර්ශි කොරෝනා මර්දන වැඩ පිලිවෙල තව දුරටත් එසේම සිදුවේ.
කොරෝනා අවදානම ඉහලටම නගිද්දී උණ රෝහ‌ලේ වෛද්‍යවරයකුට ද කොරෝනා ආසාදිත වී ඇති බව නිවේදනය කළ ද අනිල් ජාසිංහ එය රෝහලෙන් නොව ඔහුගේ පුද්ගලික බෙහෙත් ශාලාවේ දී බෝවන්නට ඇති බව සනාථ කිරීමේ වෑයමක නිරත විය.
කොළඹ 21 , කලුතර 13 සහ ගම්පහ 10 වශයෙන් කොරෝනා දිස්ත්‍රික්  අවදානම ඉහල ගොස් තිබේ .
මේ අතර ඉතාලියේ සිට පැමින සැඟවී සිටින බව කියන 12 දෙනෙකු සොයා ගැනීමට රජය මහජන සහාය පැතීම නහුතෙටම ශක්තිමත් බුද්ධි බැටෑලියන් සීරුවෙන් සිටින බවට පාරම්බාමින් සිටින ගෝටා -මහින්ද සුසංයෝගයට ලැජ්ජා නැතිකම මහ මුදලිකමටත් වඩා ලොකු යැයි කියන අපේ ආතාගේ කියමන සිහිපත් කරන්නකි.
කොරෝනාවෙන් බේරීමට මුඛවාඩම් දමාගෙන සිටිය යුතු නැති බවත් පවිත්‍රා නෝනාගේ සුව අමාත්‍යාංශය එවැන්නක් නිර්දේශ කර නැති බවත් විශේෂඳ වෛද්‍ය පබා පලිහවඩන අද රූප පෙට්ටියෙන් නිවේදනය කළ ද පොලිස් රාජ්‍ය කියන්නේ අනිවාර්යයෙන් ඒවා පැළඳිය යුතු බවයි. පොලිසිය විසින් මුඛවාඩම් නොමැතිව  සිටි  තරුණයන්ගේ  දහදියෙන් තෙත් වු අපිරිසිදු උඩුකය ඇඳුම්  ගලවා මුඛවාඩම් ලෙස බලහත්කාරයෙන්  බන්දවන අයුරුත් බඩ ගියත් රාජපක්ෂලාටම කඩේ  යන කුඩු දුමින්දලාගේම රූප පෙට්ටියෙන් දැක ගන්නට ලැබිණි. මෙයින් පෙනෙන්නේ මුඛවාඩම් ගැනවත් මේ ලොක්කන්ට ප්‍රතිපත්තියක් නොමැති බවයි.
මේ අතරේ නිසි වැඩපිළිවෙළක් නොමැතිව දිගින් දිගටම තවත් පොලිස් රාජ්‍යය ක්‍රමයක් වූ ඇඳිරි නීතිය පැනවීමෙන් හා ආහාර පාන බෙදා හැරීමේ නිසි  ක්‍රමයක් ක්‍රියාත්මක නොවීමෙන් ජනතාව අන්ද මන්ද වී සිටිති. දුප්පත් ජනතාව උග්‍ර ලෙස ආහාර හා බෙහෙත් හේත් හිඟයකින් පීඩාවට පත්ව අසරණ වී සිටිති.
ආණ්ඩුව කලින් කීවේ, කොළඹ, ගම්පහ, කලුතර දිස්ත්‍රික්ක වල ඇදිරි නීතිය 27 සිකුරාදා උදේ 6 ට අවසන් කර නැවත දහවල් 12.00 ට නැවත පනවන බවය.
ඒ අනුව, ජනතාව දින දෙකකට පමන අත්‍යාවශ්‍ය භාණ්ඩ රැස්කරගත් පසුව අඛණ්ඩව ඇදිරි නීතිය ක්‍රියාත්මක කරන බව කියයි. අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවෙස් වලට සපයන වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමට උපදෙස් දුන් බව කියතත් සල්ලි නැති මිනිසුන් හාමතේය. දුප්පතා මිය යන්නේ ‌කොරෝනාවෙන් ‌නොව කන්න නැතිව ය. 
ගෙදරටම බඩුබාහිරාදිය ගෙනත් දෙන බවට දුන් අලුත්ම පොරොන්දුව සඳහා කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇති බවත් එහි ලොක්කා  බැසිල් ලොක්කා බවත් ප්‍රසිද්ධියට පත් විය. පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක වන ඔහු රජයේ කිසිදු තනතුරක් නැති  කෙනෙකි. කොරෝනාවට බයේ පසුගිය දිනවලදී ගෙදරටම වී නිරෝධායන වෙමින් සිටි මෙවැනි කෙනෙක් රජය යටතේ කාර්ය සාධක බලකායක ලොක්කෙක් වී රාජ්‍ය පාලනයට එක්වී සිටින්නේ කෙසේදැයි ජනතාව ප්‍රශ්න කරති.
සෙස්ස පස්සට.

-දක්ශින ගාල්ලගේ-

Comments