අලුත් ජනතාවක් පත්කර ගැනීම පිණිසයි

Syndicated from samabima.


1_W7K5Bqnus_itDSZFly6cpw

2005 දී වේදිකාගතවූ රාජිත දිසානායකගේ ‘සිහින හොරු අරන්’ නාට්‍යය නව නිෂ්පාදනයක් ලෙස නැවත නැරඹීමට දැන් අවස්ථාව උදාවී තිබේ. වසර පහළොවකට පෙර මෙම නාට්‍යයේ රාජිතගේ ප්‍රධාන උත්සාහය වී ඇත්තේ සාම්ප්‍රදායික දේශපාලනඥයා සහ නිලධාරියා රටේ පොදු ගැහැනියගේ සහ පිරිමියාගේ එදිනෙදා ජිවියට බලපාන අයුරු ස්පර්ශ කිරීමය. සුපුරුදු පරිද්දෙන්ම රාජිත එය නිවැරදිව සිදු කර ඇත, එහි ගැටලුවක් නැත. නමුත් ගැටලුව ඇත්තේ වසර පහළොවකට පසුවත් තවම එය නාට්‍යයක් පමණක් නොවීමයි. එකල සිදුවූ දේ එලෙසම තවම සිදුවේ. වෙනස්ව ඇත්තේ නව නාට්‍යයේ දැන් ඇතැම් නළු නිලියන් මාරු වී සිටීම පමණකි. සිදුවීම් එලෙසින්ම වෙමින් පවතී.

නිදහසෙන් පසු දේශපාලකයින් සහ නිලධාරීන් රට විනාශ කළ අයුරු කියවෙන දිගු ලිපියක් මෙයින් පසු ලිවිය හැක. නමුත් එය සම්පූර්ණ සත්‍යයක් නොවේ, අපේ රට එක තැන පල්වෙන රටක් නොවේ. සමහර ක්ෂේත්‍රවල කැපී පෙනෙන වර්ධනයන් ඇති අතර පුද්ගල ජීවන තත්ත්වයේද කැපී පෙනෙන ඉහළ යෑමක් මිස පහළ යෑමක් දක්නට නොමැත. එසේනම් ගැටලුව කුමක් ද? සැබැවින්ම අපේ රට මේ පවතිනවාට වඩා සමාජ ආර්ථික මට්ටමින්ද, දේශපාලනික, සංස්කෘතික සහ පුද්ගල අයිතිවාසිකම් අතින්ද මීට වඩා හොඳ තත්ත්වයකට ගෙන යා හැකි රටක් වුවත් එලෙස නොවීමයි. ඒ සඳහා වගකිව යුත්තේ දේශපාලකයන් නොවේ.

අපේ රටේ ජනතාව යනු කවුද? බොහෝ අය සිතන්නේ වසරකට වරක් ස්ලීම් – නීල්සන් සම්මාන උළෙලෙන් පරීක්ෂණයට ලක්වෙන්නේ ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන් බවයි. නමුත් සැබැවින්ම එයින් පරීක්ෂාවට ලක්වන්නේ රටේ ජනතාව කුමන වර්ගයේ අයද යන්නයි. එහිදී සිදුවන්නේ ජනතාව රූපවාහිනී වැඩසටහන් තෝරා ගන්නවා නොව රූපවාහිනී වැඩසටහන් මගින් ජනතාව කවුද කියා තෝරා ගැනීමයි. එම නිසා මෙවර සම්මාන මගින් දැන් සිටින ජනතාව කවුදැයි තේරුම් ගත හැක.
මැතිවරණය යනුද එවැන්නකි. මැතිවරණ වලින් ජනතා නියෝජිතයින් තෝරා ගැනෙන බව අප දන්නා කතාව වන අතර සැබැවින්ම මැතිවරණයෙන් සිදුවන්නේ ජනතාව තමන් කවුද කියා පෙන්වීමයි. වෙනත් ලෙසකින් කිව්වොත් ජනතාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා ගන්නවා නොව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙසිය විසි පහක් මගින් රටේ ජනතාව කවුද කියා තෝරා බේරා පෙන්වයි. ඒ නිසා බොරුවට දෙසිය විසි පහට බැන අඩ ගැසීමෙන් පලක් නැත.

අපේ පොදු සමාජය තවමත් පාලනය වන්නේ ජාතිවාදය, ආගම්වාදය, ජනප්‍රියවාදය වැනි සාධක ඔස්සේය. ඔක්සිජන් එපා කීමේ සිට කොරොනා නිරෝධායන රෝහලක් එපා කීම දක්වාද, ප්‍රජාතන්ත්‍රවාදයට වඩා ඒකාධිපතිපාලනය හොඳයි කීම දක්වාද, සිවිල් පාලනයට වඩා මිලිටරිකරණය හොඳයි කීම දක්වාද, අඩු වැඩි වශයෙන් පෙන්වා සිටින්නේ අපේ රටේ ජනතාවගේ ඒ දෙවෙනි ඉනිම වර්ගයේ රසාඥතාවයි.

මැතිවරණයේ නාමයෝජනා දෙන මේ කාලයේ අපි ජනතාවගේ මේ (නො)ගුණ වැයීමට තීරණය කලේ දැන් බොහෝ දෙනෙකු තමන්ගේ උගත් බුද්ධිමත් ජනතාව ඉතා ඉහළින් අමතමින් සිටින නිසාය. සිවිල් සමාජ සංවිධාන ලෙස අප ඡන්දය ඉල්ලන්නේ නැති නිසා අපට බහුතර කැමැත්ත අවශ්‍ය නැත. නමුත් බහුතරය සෑම විටම නිවැරදි නොවන බව පෙන්වා දීමට සිවිල් සමාජ ව්‍යාපාරයක් අවශ්‍යය. බහුතර මතය නිවැරදි නම් අපේ රට අද තිබිය යුත්තේ මෙතන නොවේ. එසේ නම් ලංකාවට බෝට්ටුවෙන් පනින අය ඩෙල්ෆ් දූපතේ රඳවා තබන බවට ඕස්ටේ්‍රලියාවේ මාධ්‍යවල දැන්වීම් දැමීමට ලංකාවට සිදුවනු ඇත.

ඉදිරියේදී ජනප්‍රිය දේශපාලන තරු මාධ්‍යවල පිරී ඉතිරෙනු ඇත. නැවතත් රට බේරා ගැනීමේ මහා සංග්‍රාමය ඇරඹෙනු ඇත, බටහිර කුමන්ත්‍රණ, රණවිරු දඩයම, පාස්කු ප්‍රහාරය, මහබැංකු හොරු, පවුල් පාලනය, විල්පත්තුව, සියල්ල රංගගත වනු ඇත. 2015 වසරේ ඇරඹි මාර්තු 12 ව්‍යාපාරය දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියේ මැතිවරණ සඳහා නාම යෝජනා ලබා දීමෙදී අවම සාධක අටක් සලකා බලා නාම යෝජනා ලබා දෙන ලෙසයි. එසේම ජනතාවගේ ඉල්ලා සිටියේ තම නියෝජිතයන් පත් කරගැනීමේදී ඉතා සරල නිර්ණායකයන් කිහිපයක් හෝ සලකා බලන ලෙසයි.

සිවිල් සමාජ ව්‍යාපාරයක් ලෙස අප මෙම ඉල්ලීම සිදු කළේ රටේ පරමාධිපත්‍ය පවතින්නෙ ජනතාවට නිසාය. එම පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම්, සහ ඡන්ද බලය ඇතුළත්ය.

ජනතාවගේ එම පරමාධිපතය බලය ක්‍රියාත්මක වීම සහ භුක්ති විදීම සිදුවන්නේ,

අ. ව්‍යවාස්ථාදායක බලය ජනතාව විසින් තෝරාපත්කරන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින්ද
ආ. රටේ ආරක්ෂාව ඇතුළු ජනතාවගේ විධායක බලය ජනරජයේ ජනාධිපතිවරයා විසින්ද,
ඇ. ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුව හරහා අධිකරණය විසින්ද,
ඈ . ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා තිබෙන මූලික අයිතිවාසිකම් සියලු පාලන ආයතන මගින් ආරක්ෂා කරනු ලැබීමෙන්ද,
ඉ. වයස 18 වැඩි සියලු ඡන්ද හිමියන් ජනාධිපතිවරණය, මහමැතිවරණය සහ ජනමත විචාරණවලදී සිය ඡන්ද බලය ක්‍රියාත්මක කිරීම මගින්ය.
ඒ අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවය.

එහෙත් මුදල් බලය, දේශපාලන බලය, මාධ්‍ය බලය වැනි කාරණා එකතු වූ විට ඉහත පරමාධිපත්‍ය බලය නිසි ලෙස ක්‍රියාතමක නොවේ. පරමාධිපත්‍ය රැකෙන්නේ ඉහළ ගුණාත්මක බවින් යුත් ජනතා තීන්දුවක් සමගය. එහෙත් පොදු මහජනයාගේ ගුණාත්මකභාවය තිරණය කරන්නෙ ඉහත සාධකයි. ඉහත සාධක ඉතා බලවත්ය. ඒ නිසා මුදල් දේශපාලන බලය සහ මාධ්‍ය බලය මගින් පාලනය නොවන මහජනයා ආරක්ෂා කරන ප්‍රාකාරයක් වන සිවිල් සාමාජ ව්‍යාපාර අවශ්‍යය. ඒ රටේ පරමාධිපත්‍ය රැක ගැනීම වෙනුවෙනි. වෙනත් ලෙසකින් කිව්වොත් මව්බිම බේරා ගැනීම වෙනුවෙනි. මව්බිම බේරා ගැනීම දේශපාලකයන්ට පෙටන්ට් බලපත්‍රයකින් ලබා දුන් සටන් පාඨයක් නොවේ. මව්බිම බේරා ගැනීම සිවිල් සමාජයටද අයිතිය. නමුත් හොඳින් මතක තබා ගත යුත්තේ මේ එළැඹ ඇත්තේ මව්බිම බේරා ගැනීමේ අවසන් අවස්ථාව නොවන බවයි.
හොරු ගන්නට හෝ සිහින තිබිය යුතුය. ඒ නිසා නාට්‍යය තවම අවසන් නැත.


නීතිඥ ප්‍රබෝධ රත්නායක විසින් සමබිම 91 වන කලාපයට ලියන ලද කතුවැකියයි.


Comments