"චීන වෙෙරසය", කාඩිනල් මැල්කම් රංජිත් සහ ‌කොරෝනා මිථ්‍යාව ආනුභාවනන්ද ලියයි

Syndicated from lankaenews,




(ලංකා ඊ නිව්ස් -2020.මාර්තු.21, ප.ව.4.25) ලංකාවේ ජීවත්වන ලක්ෂ සංඛ්‍යාත කතෝලික ජනයාගේ නායකා කාඩිනල් මැල්කම් රංජිත්ය.  ඔහු පාප් වහන්සේගේ නියෝජිතයාය. ඔහු රෝමයෙන් පත්කරන පාප් වහන්සේට වගකියන චරිතයකි. එබැවින් ඔහුගේ ප්‍රකාශ ඉතා බැරෑරුම්ය. පසුගිය ඉරිදා (15) පැවැත්වූ දේව මෙහෙයේදී ඔහු ඉතා බරපතල චෝදනාවක් කළේය. මේ මොහොතේ ලෝකය පුරා සීඝ්‍රයෙන් පැතිරයන "කොවිට් 19" (2019-nCov) වෙෙරසය චීනට හඳුන්වාදුන්නේ ලෝකයේ ප්‍රබලතම සහ ධනවත් රාජ්‍යයක් බවටත් එය මිනිසා විසින් කෘතීම නිර්මාණය කරන ලද්දක් බවත් කාඩිනල් රංජිත් මැල්කම් චෝදනා  කළේය. මේ ජන ඝාතනය (genocide) සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලිකත්වයෙන් යුතු ජාත්‍යන්තර  පරීක්ෂණයක් පැවැත්විය යුතුව ඇතැයි කියා සිටියේය. 
කාඩිනල් මැල්කම් රංජිත් මෙම චෝදනාව කිරීමට පෙර එනම් මාර්තු 12 වන දා චීන රජයේ උසස් නිළධාරියකු "කොවිට් 19" වෙෙරසය චීනයට ගෙන ආවේ ඇමරිකානු යුධ සෙබළකු බවට කිසිදු සාක්ෂි ඉදිරිපත් කිරීමකින් තොරව ජනමාධ්‍ය ඉදිරියේ වෝදනා කළේය. එදිනම චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශයා එම චෝදනාව ටුවිටර් සහ අනෙකුත් සමාජ ජාලා හරහා සමාජගත කළේය. ඔහුට ද ඒ සඳහා කිසිදු සාක්ෂියක් නොවීය. 
කාඩිනල් මැල්කම් රංජිත් ඇමරිකාවේ නම නොකියා එම චෝදනාව කරන්නේ ද කිසිදු සාක්ෂි ඉදිරිපත් කිරීමකින් තොරවය. මේ ආකාරයේ කරුණු ඉදිරිපත් කිරීම් හඳුන්වන්නේ කුමන්ත්‍රණ න්‍යායන් (Conspiracy theories) වශයෙනි. මෙවැනි කුමන්ත්‍රණ න්‍යායන් ඉදිරිපත් කරනුයේ තම වැරදි වසා ගැනීමට, ජනතා අවධානය වෙනත් අතකට යොමු කිරීමට සහ මාධ්‍ය හරහා ජනප්‍රිය වීරයන් බවට පත්වීමටය. ඒ සඳහා නිදසුන් කිහිපයක් පහත දැක්වේ:
* සුනාමි  ඛේදවාචකයේ දී ප්‍රභාකරන් මිය ගිය අතර ඉන් පසුව ජීවත් වූයේ ඔහුගේ ඩමියකි
* ඇමරිකාව සඳ ජය ගත්තේ නැත. එය රඟපෑමකි.
* 9/11 ප්‍රහාරය ඇමරිකානු රජය විසින් මෙහෙය වන ලද්දකි. 

මිථ්‍යාව මොහොතකට විශ්වාස ක‌ළොත්...

ඇමරිකානු යුධ භටයකු "කොවිට් 19" චීනයට ගෙන ආවා යන කුමන්ත්‍රණ න්‍යාය පිටුපස ඇත්තේ ඇමරිකාව ජීව විද්‍යාත්මක අවියක් වශයෙන් මෙය ගොඩ නගා ඇති බවයි. පළමුව මේ මිථ්‍යාව අප මොහොතකට විශ්වාස කරන්නේ නම් චීනය වූහාන්හි නිෂ්පාදනය කළ ජීව විද්‍යාත්මක අවියක් වන "කොවිට් 19" අතපසු වීමකින් මුදාහැරියා විය නොහැකි ද?. ඒ සඳහා ද සම්භාවිතාවයක් ඇත. දෙවනුව විද්‍යාත්මකව කෘතීම  වෙෙරස හෝ බැක්ටීරියා නිර්මාණය කිරීමේ හැකියාව ඉතාම අවමය. තෙවනුව විනාශය ඇමරිකාව නිර්මාණය කළේ නම් ඔවුනට ද එයින් ගැලවීමක් නැත. ගෝලීයකරණය වූ ලෝකයක මෙහි ආර්ථික බලපෑම චීනයට පමණක් සීමාවන්නේ නැත. "කොවිට් 19" වසංගතය හේතුවෙන් දැනටමත් නිව්යෝර්ක් කොටස් වෙළෙඳපොළ බිඳවැටී ඇමරිකානු ආර්ථිකය ආර්ථික අවපාතකයට ගමන් කරමින් තිබේ. මේ අර්බුදය හේතුවෙන් ඇමරිකාවේ විරැකියාව සියයට විස්ස දක්වා ඉහළ යන බවට දැනටම ප්‍රක්ෂේපණය කර අවසානය. ජීව විද්‍යාත්මක අවි මුදාහැර තම රට විනාශ කර ගැනීමට ඇමරිකාව  කටයුතු කරන්නේ යැයි විශ්වාස කරන්නන්ගේ මානසික සෞඛ්‍ය පරීක්ෂා කළ යුතුය.
එහෙත් කාඩිනල් මැල්කම් රංජිත් මෙහිදී එක් වැදගත් කරුණක් මතු කර තිබේ. එනම් මේ "කොවිට් 19"  මතු වූ ආකාරය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රධානත්වයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි. 
කොරෝනා වෙෙරස වර්ගය මෙයට පෙරද මිනිස් ජීවිතවලට විශාල හානියක් කර තිබේ. වසර 2002 දී චීනයේ මතු වූ "සාර්ස්" (Severe Actual Respiratory Syndrome - SARS-Cov) කොරෝනා වෙෙරසයෙන් චීනයේ දී පමණක් 648ක් මිය ගියෝය. වසර 2012 දී   සෞදි අරාබියෙන් "මාර්ස්" (Middle East Respiratory Syndrome-MERS) කොරෝනා වෙෙරසය මතුවිය. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී චීනයේ වූහාන් පලාතෙන් මතුවූ "කොවිට් 19" (2019-nCov) මේ වන විට දැවැන්ත විනාශක් කරමින් ලෝකය පුරා සීඝ්‍රයෙන් පැතිරෙමින් තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වන විටත්  මේ වෙෙරසය වසංගතයක් වශයෙන් නම් කර ඇත. මෙයට පෙර එවැනි වසංගතයක් ලොව වසාගත්තේ 1918 දීය. ඒ ස්පාඤ්ඤ උණ වසංගතයයි.

ලෝක සෞඛ්‍ය සංවිධාන‌යේ දැඩි විවේචනයට ලක් වූ චීනය..

කොරෝනා වෙෙරසය බහුල වශයෙන් විවිධ වර්ගයේ සතුන් තුළ තිබේ. මිනිසාට කොරෝනා වෙෙරසය වැළදෙන්නේ ක්ෂීරපායි සහ කොඳුඇටපෙළක් සහිත සත්ව විශේෂයන්ගෙනි.  "සාර්ස්" මිනිසාට පැමිණියේ වවුලන් සහ Civet cats (ලංකාවේ උගුඩුවා) හරහාය. "මාර්ස්" ඔටුවන් මගිනි. නමුත් දැනට ලොව පුරා ඉමහත් විනාශයක් කරන "කොවිට් 19" (2019-nCov) නයින් ගෙන් මිනිසාට වැළඳුන බවට ද සැකයක් පවතියි. 
වසර 2002-2003 කාලයේදී රටවල් විසිතුනක් පුරා පැතිර ගිය "සාර්ස්" මතුවූයේ දකුණු දිග චීනයේ ගුවන්ඩොං හිදී ය. මෙවර කොරෝනා වෙෙරසයට අටදාහක් ගොදුරු වූ අතර මිය ගිය සංඛ්‍යාව අටසියයකට අධිකය.
"සාර්ස්" මතුවූ අවස්ථාවේ චීනය කටයුතු කළ ආකාරය ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන සහ අනෙකුත් බොහෝ රටවල් දැඩිව විවේචනය කළේය. "සාර්ස්" වසංගතය චීනය තුළ පැතිර යෑම මාස ගණනාවක් යන තුරු ලොවට වසන් කිරීම සහ රෝගය පැතිරයෑම වැළැක්වීමට අවශ්‍ය මූලික කටයුතු ප්‍රමාද කිරීම චීනයට එරෙහි එල්ල වූ ප්‍රධාන චෝදනා විය. සතුන් සහ මිනිසුන් අතර නිරන්තර සම්බන්ධයක් පවතින මස් සඳහා වන සතුන් මරා විකුණන විවෘත වෙළෙඳ මධ්‍යස්ථාන නිසිපරිදි නියාමනය කරන ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට නිර්දේශ කළේය. චීනය පුරා ලක්ෂ ගණනින් පවතින මස් පිණිස සතුන් මරණ වෙළෙඳපොළ හරහා විවිධ වෙෙරස මිනිසුන්ට ශරීර ගතවීමේ අවදානමක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දුන්නේය. 

වෛරස් සංරක්ෂිත විද්‍යාගාර සහ වූහාන්..

එහෙත් චීනය ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගත්තේ නැත. මෙවර "කොවිට් 19" වෙෙරසය වූහාන් ප්‍රාන්තයේ පැතිර යන විට එය වසන් කිරීමට බලධාරීහු උත්සාහ කළහ. ඒ පිළිබඳව මුලින්ම හෙළිදරව් කළ වෙෙද්‍යවරුන් පිරිසක් පොලීසියට කැඳවා වැරදි තොරතුරු අන්තර් ජාලයේ සමාජගත කිරීම පිළිබඳව චෝදනා එල්ල කළ අද ප්‍රසිද්ධ රහසකි. එයට මූලික වූ තරුණ වෙෙද්‍යවරයා ලී වෙන්ලියන්ග් අවාසනාවන්ත ලෙස "කොවිට් 19" වෙෙරසයට ගොදුරුව මිය ගියේය. "සාර්ස්" තරම් කාලයක් ගත නොකළ ද චීනය මෙවර ද ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තරයට මෙම රෝගය සැඟවීමට උත්සාහ කළේය. ඇතැම් චීන බලධාරීන් දැන් ක්‍රමන්ත්‍රණ න්‍යාය ඉදිරිපත් කළ ද මෙවර ද වෙෙරසය මතුවූයේ මස් සඳහා වන සතුන් මරා විකුණන විවෘත වෙළෙඳ මධ්‍යස්ථාන ආශ්‍රිතවය. චීනයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ  (Center for Disease Control and Prevention) ප්‍රධානියා පැවසූ පරිදි "කොවිට් 19" වෙෙරසය පළමුව පැතිරීම ආරම්භ වූයේ වූහාන් ප්‍රාන්තයේ අගනුවර පිහිටි වන සතුන් මස් පිණිස මරා විකුණන වෙළෙඳ මධ්‍යස්ථානයකිනි.
වයිරස් වර්ග සුරක්ෂිතව රැක ගන්නා සංරක්ෂිත විද්‍යාගාර ලෝකයේ රටවල තිබේ. ඒවා පවත්වාගෙන යන්නේ ඒ පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයන් සඳහා ය. චීනයේ ඇති එවන් විද්‍යාගාරයක් තිබෙන්නේ වූහාන් පළාතේ ය. ඉහත කී "කොවිට් 19" වෙෙරසය පළමුව පැතිරීම ආරම්භ වූ මස් පිණිස මරා විකුණන වෙළෙඳ මධ්‍යස්ථානය තිබෙන්නේ ද ඒ විද්‍යාගාරයට ආසන්නයේ  වීම අහම්බයක් විය නොහැකි ය.  

චීන ව්‍යාජ සංඛ්‍යාලේඛන.. 

චීන ජාතිකයන්ගේ ආහාර රටාව සහ මෙම නව වෙෙරස පැතිරීම අතර සෘජු සම්බන්ධයක් ඇති බව විවෘත රහසකි. වූහාන් ප්‍රාන්තයේ පළමු "කෝවිට් 9" වෙෙරසය ආසාදිත රෝගීන් මුණ ගැසෙන්නේ පසුගිය දෙසැම්බර් මාසයේ පළමු සතියේදීය. එහෙත් ප්‍රාන්ත බලධාරීන් මෙම රෝගය මර්දනය කිරීමට සක්‍රීයව දායක වන්නේ ජනවාරි 20 වන දාය.  ඒ දක්වා කාලය පුරා වූහාන් දේශපාලන බල‍ධාරීන් උත්සාහ කරනුයේ නව රෝගය පිළිබඳ අනතුරු හැඟවූ  වෙෙද්‍යවරුන් මර්දනය කිරීමට සහ  රෝගය පිළිබඳ තොරතුරු පිටත යෑම වළකා ගැනීමටය. ජනවාරි මාසයේ ආරම්භයේදී චීනයේ මහජන කොංග්‍රසය නම් වාර්ෂික දේශපාලන සංදර්ශනය පැවැත්වෙන බැවින් ජනතාවගේ අවධානය එයින් ගිලිහීම වළක්වා ගැනීමට මෙම ක්‍රියාමාර්ගය ගත් බවට විවේචන එල්ලවෙයි.  "කෝවිට් 9" වෙෙරසය වූහාන්හි සහ චීන පුරා පැතිරයමින් තිබිය දී පවා රට පුරා ලක්ෂ ගණනින් පවතින මස් පිණිස වන සතුන් මරණ වෙළෙඳ ස්ථාන ඉක්මනින් වසා දැමීමට චීන රජය පියවර නොගත්තේය. ඔවුන්ගේ තොරතුරු සැඟවීම සහ නිසි පියවර නිසි වේලාවට නොගැනීම සහ ලෝක සෞඛ්‍ය සංවිධානය යෝජනා කළ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමේ ප්‍රතිවිපාක අද සමස්ථ ලෝකයට විඳීමට සිදුවී තිබේ. මේ ලිපිය ලියන මාර්තු 18 වන දා සවස හය වන විට "කෝවිට් 9" වෙෙරසයෙන් මිය ගොස් ඇති සංඛ්‍යාව 8787කි. රෝගය වැළඳුන පිරිස 209,300 කි . මේ මොහොත වන විට රටවල් 145 කට රෝගය පැතිරගොස් අවසානය. 
චීනයේ සමාජ දේහය වසා පවතින්නේ වංචාව, බොරුව සහ මවාපෑමයි.  චීනයේ සංඛ්‍යා ලේඛන කිසිවකු විශ්වාස නොකරයි. ඒ පිටුපස ඇත්තේ බොරුව, මිථ්‍යාව සහ අහංකාරකමයි. ඔවුන්ගේ ආර්ථික වර්ධනය පිළිබඳ සංඛ්‍යා කිසිදු ස්වාධීන ආර්ථික විශ්ලේෂකයකු පිළිගන්නේ නැත. "සාර්ස්" මෙන්ම "කෝවිට් 9" පිළිබඳ සංඛ්‍යා ලේඛන ද එයින් වෙනස් නොවෙයි.

වෛරස මර්දනය ‌වෙනුවට චීනය කළ මාධ්‍ය මර්දනය..

චීන බලධාරීන් "කෝවිට් 9" මර්දනය කිරීමේ දී ගත් පළමු පියවර වූයේ චීනයේ රැදී සිටි විදේශ මාධ්‍යවේදීන් රටින් පන්නා දැමීම සහ සිය රට තුළ සමාජ මාධ්‍ය භාවිතයට නව වාරණ පැනවීමයි. ඒ හරහා සත්‍යය ලෝකය මෙන්ම චීන ජනතාව දැන ගැනීම වළක්වන ලදී. පසුගිය පෙබරවාරි තුන්වන දා The Wall Street Journal පුවත්පතේ Opinion පිටුවේ පල වූ Walter Russell Mead ගේ  "China is the Real Sick Man of Asia"  ලිපිය චීන බලධාරීන් කෝප ගැන්වීමට හේතුවිය. ඒ හේතු කොට ගෙන චීනයේ රැඳී සිටි එම පුවත්පතේ වාර්තාකරුවන් තිදෙනා චීනයෙන් පිටුවහල් කිරීමට චීන බලධාරීහු කටයුතු කළහ. එම ලිපිය සහ එම වාර්තාකරුවන් අතර කිසිදු සම්බන්ධතාවයක් නොමැති වුවද ඔවුහු අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්හ. එම  මාධ්‍ය මර්දනය දිගින් දිගටම ක්‍රියාත්මක වූ අතර මාර්තු 18 වන බදාදා වන විට චීනයේ සිටි අවසාන ඇමරිකානු විදේශ මාධ්‍යවේදීන් දෙදෙනා ද රටින් පිටුවහල් කිරීමට බලධාරීහු පියවර ගත්හ.
රෝගය චීනයේ පැතිරීම සහ චීන බළධාරීන්ගේ අමානුෂික හැසිරීම් පිළිබඳ වීඩියෝ වාර්තා සැපයූ චීන ජාතික බ්ලොග් කරුවන් 6 දෙනෙකු මේ වන විට අතුරුදහන් ය.

චීනයේ උද්දච්චකම සහ වර්ගවාදීන්ට ආයුධ..  

චීන දේශපාලන බලාධිකාරයේ වැරදි තීරණ, නොසලකා සහ උද්දච්චකම හේතුවෙන් සමස්ත ලෝකවාසීන්ම අද ජීවිතය සහ මරණය අතර සටනකට මුහුණ දී සිටියි. මෙම යථාර්ථයට මුහුණ දීමට නොහැකි වන විට ක්‍රමන්ත්‍රණ න්‍යාය සමාජ ගත  කරමින් සිටියි.  සහය ගායනය සඳහා චීනය විසින් සිය නව යටත් විජිත වශයෙන් පවත්වා ගෙන ශ්‍රී ලංකාව වැනි රටවල චීන ඒජන්තවරු එක්ව සිටිති. ශ්‍රී ලංකාවේ දේශපාලන නායකත්වය, දේශපාලන පක්ෂ, ආගමික නායකයන්, මාධ්‍යය සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් චීනය මිලදී ගෙන අවසානය. ලෝකයේ ඕනෑ රටකින් ලංකාවට පැමිණෙන පුද්ගලයන් දින දාහතරක් නිරෝධය කළ යුතු වුවද චීන ජාතිකයන්ට එම නීතිය බලපාන්නේ නැත. රට වැටී තිබෙන තත්ත්වය එයින් පැහැදිලිය. 
චීනයේ ක්‍රමන්ත්‍රණ න්‍යාය ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි සුදු වර්ගවාදීන්ට බොරදියේ මාළු බෑමට අපූරු අවස්ථාවක් සලසා දී ඇත. චීනයේ ක්‍රමන්ත්‍රණ න්‍යායට එරෙහි එකට එක කිරීමක් ලෙස ඔහු "කෝවිට් 9" වෙෙරසය "චීන වෙෙරසය" නමින් හඳුන්වමින් සිටියි. මේ හරහා ඇමරිකාවේ මෙන්ම අනෙකුත් රටවල සිටින චීන සම්භවයක් ජනයා වර්ගවාදීන්ගේ පහසු ඉලක්කයක් බවට පත්කර තිබේ. වර්ගවාදීන්ට අවශ්‍ය ආයුධ සපයා දී අවසානය.
චීන කුමන්ත්‍රණ න්‍යායේ සහය ගායනයට පැය හැත්තෑ දෙකක් තුළ එකතු වූ කාඩිනල් මැල්කම් රංජිත් ඉදිරිපත් කරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලිකත්වයෙන් යුතු ජාත්‍යන්තර  පරීක්ෂණයක් පැවැත්වීමේ යෝජනාවට ක්‍රියාත්මක කිරීමට අප බල කළ යුතුය. එවිට "කෝවිට් 9" වෙෙරසය නිර්මාණය වීම පිටුපස තිබෙන රහස හෙළිකරගත හැකිය. 

අනුභාවනන්ද

Comments