Syndicated from lankanewsweb,
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා සුබ නැකතින් සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තබන අවස්ථාවේ ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කර තිබුණු අතර එහි අපූර්ව දසුන වූයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් එතැන, පසෙකට වී වැඳගෙන සිටීමය.
ඒ වැඳගෙන සිටින්නේ පසුගිය සති කිහිපය පුරාම පොහොට්ටු මන්ත්‍රීවරුන්ගෙන් පඹයා කියා අසාගත් මෛත්‍රීමය. ඒ වැඳගෙන සිටින්නේ පොහොට්ටු මන්ත්‍රීවරුන්ගෙන් උකුස්සා, ආප්පයා කියා අසාගත් මෛත්‍රීමය. ඒ වැඳගෙන සිටින්නේ තමන්ට ගෑවුණු එකෙකුටවත් මනාප නොදෙන්නැයි පොහොට්ටු ඇමතිවරුන්ගෙන් ප්‍රසිද්ධියේම අසාගන්නා මෛත්‍රීමය.
මෛත්‍රී ඒ වැඳගෙන සිටින්නේ ද මහින්ද රාජපක්ෂ මහතාට නොවේ. ඒ වැඳගෙන සිටින්නේ හැදුවොත් පාරක් පාරක් ගානේ ඇවිදවන බවට තමන්ම කියූ පොහොට්ටුවටය. තමන්ව සත පහකට අදටත් විශ්වාස නැති බව හැමතැනම කියන පොහොට්ටුවටය. තමන්ට හෝ තමන්ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයින්ට මනාප නොදෙන්නැයි ප්‍රසිද්ධියේම කියන පොහොට්ටුවටය. පල නොකියා පලා බෙදමිනුත් නොව ළඟට කැඳවා පයිනුත් ගසමින් සිටින පොහොට්ටුවටය.
මේ වඳින්නේ ඊළඟ ජනාධිපතිකම ගන්නටත් නොවේ. අගමැතිකම හෝ කථානායකකම ගන්නටත් නොවේ. වෙනෙකක් තබා ප්‍රබල කැබිනට් ඇමතිකමක් ගන්නටවත් නොවේ. තමන්ට ඒවා කොහෙත්ම නොලැබෙන බව මෛත්‍රී හොඳටම දනී. මේ වැඳවැටෙන්නේ කෙසේ හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් ගන්නටය ! හිටපු ජනාධිපති තනතුරේ සිට නිකම්ම නිකම් පො.දි.පා.ම. වෙන්නටය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වනවිටත් නිල නොවන වශයෙන් එකිනෙකා ඉලක්ක කරගනිමින් යුධ ප්‍රකාශ කර තිබේ. වැඩි බලය ඇත්තේ පොහොට්ටුවට නිසා මින් බොහෝදුරට සිදුවන්නේ ශ්රීලනිපය විනාශ වී යාමය. දැනටත් ඔවුන් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට මනාප නොදෙන ලෙස දිස්ත්‍රික්කයක් දිස්ත්‍රික්කයක් පාසා කියමින් යනු පෙනේ. ඒ අනුව සන්ධානගත වීමෙන් සිදුවන්නේ ශ්‍රීලනිපයට ඉතිරි ඡන්ද ටිකේ මනාප ටිකත් පොහොට්ටුවටම පුදදී ශ්‍රීලනිප අපේක්ෂකයින් මනාප ලැයිස්තුවල කෙළවරට තල්ලු වී හැළියාම බව ඉතාම පැහැදිලිය. එහෙත් ඊටත් එකඟ වන්නේ නම් එය ඔවුන්ගේ දේශපාලන තීන්දුවකි. එහි ප්‍රශ්නයකුත් නැත.
එහෙත් තමන්ව මෙතරම් ප්‍රතික්ෂේප කරන මේ පිරිස අසලටම ගොස් ඔවුන්ට වැඳගෙන සිටීම යනු වෙනම තලයක ක්‍රියාවකි. එය දීනකමේ පතුළටම පැනීමයි. ඔතැනට ගොසින් වැඳගෙන නොසිටියා කියා නාමයෝජනා ලැබෙන්නට ඇතිනම් එය ඔහුට නොලැබී යන්නේ නැත. ඔහුට නාමයෝජනා නොදෙන්නට තීරණය වන්නේ නම් ඔතැන ගොසින් වැඳවැටුණා කියා එය ලැබෙන්නේත් නැත.
එක්සත් ජාතික පක්ෂයේ සිට පැමිණියත් වත්මන් ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා අවම වශයෙන් සිය පක්ෂයේ ආත්ම ගෞරවය රැකගැනීම සඳහා තැන් තැන්වල හෝ එක එක කියවමින් පොහොට්ටුවට යම් පමණකින් හෝ අභියෝග කරමින් සිටී. ඒ අතර ශ්‍රීලනිප නායක මෛත්‍රී තමන් ඡන්දය ඉල්ලන්නේ පොලොන්නරුවෙන් පමණක් බව කියමින් පක්ෂ නායකත්වයේ වගකීමෙනුත් පැන යමින් සිටී. ඒ අතරම පොහොට්ටු මන්ත්‍රීවරුන්ට එහෙන් මෙහෙන් ඇන කුපිත කරවා තම පක්ෂයට අම්බානෙක පෝරියල් ඉල්ලා දෙන ඔහු මහින්ද රාජපක්ෂ මහතා නාමයෝජනා අත්සන් කරන දවසේ එතැනට දිවගොස් පොහොට්ටු මන්ත්‍රීවරුන්ට වැඳගෙන සිටී.
බලය විසින් මිනිසුන් කොතෙක් නම් දුරට විනාශ කරන්නේද යන්නට මෛත්‍රී ජීවමාන උදාහරණයකි. මේ ඡායාරූපයම හිටපු ජනාධිපතිවරයාට පෙන්වමින් අපට ඔහුගෙන් අසන්නට ඇත්තේ එකකි. මෛත්‍රී, මිනිහෙකුට මීටත් වඩා දීන වෙන්නට පුළුවන්ද ?
( 2014 අග සිට 2018 අග දක්වා මෛත්‍රීපාල සිරිසේන මහතා රාජපක්ෂ පවුලට සහ රාජපක්ෂවාදී දේශපාලන කඳවුරට කී කතා අප මෙහි නොලීවේ ඒවා අමතක නිසා නොව නිකරුණේ යුනිකෝඩ් නාස්ති කරන එක තේරුමක් නැති නිසාය. )
අපට අවසාන වශයෙන් කියන්නට ඇත්තේ මෛත්‍රී ඡන්දය ඉල්ලන්නට තිබුණේ පුත්තලම් දිස්ත්‍රික්කයෙන් බවය. එසේ වූයේ නම් පො.දි.පා.ම. කියනවාට වඩා ඔහුට ගැළපෙන ආකාරයට පු.දි.පා.ම. කියන්නට අපට හැකිවනු ඇත.
Comments
Post a Comment