Syndicated from lankaenews,
(ලංකා ඊ නිව්ස් -2020.මාර්තු.25, ප.ව.9.40) කොරෝනා රෝගීන් හඳුනා ගැනීමේ වෛද්‍ය පර්යේෂණ වල යෙදී ඉන්නා විශේෂඥයන්ට අවශ්‍ය විශේෂ මුඛ ආවරණ, මෝස්තරයට මිලට ගෙන හිතුමතේ පාවිච්චියට ගැනීම නිසා කොරෝනා වෛරස් ආසාදිතයන් හඳුනාගැනීමේ කටයුතු අඩාල වීමේ අවදානමක් මතුව තිබේ.
ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර ජීවී විශේෂඥවරියක් පෙන්වා දෙන පරිදි රෝගීන්ගේ සාම්පල පරීක්ෂා කරන වෛද්‍යවරුන්ට මුඛ ආවරණ හිඟවීම එම අවදානමට හේතුවයි.
වෛද්‍ය පරීක්ෂණ වල නිරත වෘත්තිකයන්ට අවශ්‍ය විශේෂිත N95 ශල්‍ය මුඛ ආවරණ (Surgical Masks) පොදු මහජනතාව විසින් අයුතු ලෙස භාවිතයට ගැනීම හේතුවෙන් පරීක්ෂණ සඳහා අවශ්‍ය මුඛ ආවරණ වල හිඟයක් මෙරට තුළ පවතින බවයි මහාචාර්ය නීලිකා මලවිගේ පවසන්නේ.
කොරෝනා වෛරසය හඳුනාගැනීමේ පරීක්ෂණ මේ වන විට විද්‍යාගාර තුළ සිදු කරන බව පෙන්වා දෙන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ වැඩි දුරටත් පවසන්නේ මෙය ශ්‍රී ලංකාවේ පමණක් නොව මේ වන විට මුළු ලෝකයේම ඇති වී තිබෙන ගැටළුවක් බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාව විසින් ප්‍රසිද්ධ කර තිබෙන වීඩියෝවක් මගින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරිය එම අනතුරු ඇඟවීම කර තිබේ.
රට තුළ N95 ශල්‍ය මුඛ ආවරණ නොමැති වුවහොත් කොරෝනා වෛරස් ආසාදිතයන් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ නවත්වන්නට සිදු වන බව පෙන්වා දෙන මහාචාර්යවරිය වැඩි දුරටත් අවධාරණය කරන්නේ එය රටේ සියලු දෙනාට අහිතකර ලෙස බලපෑමක් ඇති කරන බවයි.
එවැනි තත්වයක් තුළ අනවශ්‍ය ලෙස N95 ඇතුළු අනෙකුත් මුඛ ආවරණ භාවිත නොකරන ලෙස ඇය ශ්‍රී ලාංකිකයන්ගෙන් වැඩි දුරටත් ඉල්ලා සිටී.
මුව වැසුම් කුමටද..?
සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පසුගියදා නිකුත්කළ නිවේදනයක සඳහන්ව තිබුනේ දැනට ලංකාවේ උද්ගත වී ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් බොහෝ වෙළෙඳසල්, බැංකු සහ සමහර රාජ්‍ය ආයතන මුඛ ආවරණයක් නොමැතිව මහජනතාව තම පරිශ්‍ර තුළට ඇතුල්වීම වැළැක්වීමට කටයුතු කර තිබෙන නමුත් ශ්‍රී ලංකාවේ මෙම රෝගී තත්ත්වය ප්‍රජාව තුළ සක්‍රියව පැතිරීමක් සිදු නොවන නිසා මෙලෙස මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කිරීම නිර්දේශ කළ නොහැකි බවයි.
නමුත් කෙනෙකු මුඛ ආවරණයක් පැළඳීමට තීරණය කළහොත් එම තීරණය තමා සතු වන අතර එය නියමාකාරයෙන් සිදු කරන ක්‍රමවේද වලට අනුව සිදු කිරීම ඉතාමත් වැදගත් බවත් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වරයා එහිදී පෙන්වා දී තිබුනි.
මුඛ ආවරණ මගින් පැළඳ සිටින පුද්ගලයාට ආරක්ෂාවක් ලැබීමට වඩා පැළඳ සිටින පුද්ගලයා ගෙන් පරිබාහිර අයට රෝගය පැතිරීම වැළැක්වීම සඳහා මෙම මුඛ ආවරණ වැදගත් වන බැවින් උණ සෙම්ප්රතිශ්යාවෙන් පෙළෙන අයකු හෝ රෝගය වැළඳීමට දැඩි අවදානම් සහිත තත්වයකට ලක් වූ අයකු නම් පමණක් මෙවැනි මුඛ ආවරණයක් පැළඳීම යෝග්‍ය වන බවට ඔහු විසින් යෝජනා කර තිබුනි.
එවැනි තත්ත්වයක් තිබියදී කොරෝනා මර්දනය අතට අරගෙන තිබෙන සමහර ආරක්ෂක අංශ මුඛ වැසුම් නොමැතිව නගරයට ඇතුළු වීම තහනම් කර තිබේ. පසුගියදා මෝටර් සයිකලයකින් ගමන් ගත් මුඛ වැසුම් නොමැති තරුණයින් දෙදෙනෙකු නතර කරන පොලිසිය බලහත්කාරයෙන් ඔවුන්ගේ දහඩියෙන් තෙත් වුනු ටී ෂර්ට් ගලවා මුහුණ වැසෙන සේ බැඳගෙන යන්නැයි බලපෑම් කරනු දක්නට ලැබිණ. කිසිදු කොරෝනා රෝගියෙක් හමු නොවූ දිස්ත්‍රික්ක වල පවා ඈත ගම් වල ගැමියන්ට අමුඩ ලේන්සුවක් හෝ මුහුණේ නොබැඳ නගරයට ඇතුළුවීම පොලිසිය තහනම් කර තිබේ.
ඇමරිකානු වෛද්‍යවරු පවසන්නේ Surgical Masks සාමාන්‍ය මිනිසුන් භාවිතා කරනවා වෙනුවට අමු රෙදි පට දෙකක් එක මත තබා නිවසේදීම තමන්ගේ මුඛ ආවරණය තමන්ටම සාදා ගත හැකි බවයි.
දුරස් නොවීම නිසා රටටම කොරෝනා බෝවීමේ අවදානමක්..
මේ අතර, කොරෝනා වෛරසය ආසාදිත බවට ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇති රෝගීන් සමග ස්පර්ශක සබඳතා පැවැති පුරවැසියන් 19000 ක් හඳුනාගෙන ඇති බැවින් මුළු රටේම රෝගය පැතිරීමේ අවදානමක් පවතින බවට රජයේ වෛද්‍යවරු අනතුරු අඟවති.
එම පිරිස සෞඛ්‍ය ආරක්ෂක හා පරිපාලන අංශ වල නිරෝධායන, නිරීක්ෂණය යටතේ සිටින නමුත් මෙම පිරිස රට පුරා ව්‍යාප්තව සිටිය හැකි බැවින් අවුරුදු සමය උදාවන විට අවදානම මුළු රටටම බලපානු ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.
මේ වනවිට වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වු කොළඹ, ගම්පහ, කලුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක දැඩි අවදානම් කලාප ලෙස නම් කර තිබේ. ගත වූ පැය 24 තුළ ලංකාවෙන් එකදු රෝගියෙක් හෝ හමු නොවූ අතර කිසිදු රෝගියෙක් මේ දක්වා මිය ගොස් නැත. සම්පූර්ණ සුව වූ සංඛ්‍යාව තිදෙනෙකි. ආසාදිත සංඛ්‍යාව 102 කි.
ලෝකාචාර්ය ජනගුප්ත
මහාචාර්ය නීලිකා මලවිගේ වීඩියෝව
Comments
Post a Comment