ප්‍රජාතන්ත්‍රවාදයට කොට්ටෙ මාරු කිරීම

Syndicated from  samabima,

Image result for gotabaya rajapaksa


පසුගිය නොවැම්බරයේ පැවැත්වුණු ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයක් ලෙස අලු‍ත් ජනාධිපතිවරයෙකු පමණක් නොව අලු‍ත් ආණ්ඩුවක් ද බලයට පත්විය. ඇතිවූ පාලන වෙනසත් සමග නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසක් අවශ්‍ය බවට ආණ්ඩුවේ පාර්ශව විසින් සමාජය තුළ කතා බහක් ඇති කරමින් සිටී. කෙසේ වෙතත් මෙම ව්‍යවස්ථා සංශෝධන සාකච්ඡාව, සමාජය තුළ විශේෂත්වයක් අත්පත් කරගැනීමට මෙතෙක් සමත් වී නැත. කරුණු එසේ තිබියදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනා ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සදහා වන පනත් කෙටුම්පත් දෙකක් ඉදිරිපත් කර තිබේ. ජනාධිපතිධුරය තවදුරටත් බලවත් කිරීමත්, දේශපාලන පක්ෂ විසින් පාර්ලිමේන්තු මැතිවරණයකදී ආසනයක් ජයගැනීම සදහා ලබාගත යුතු කඩඉම් ඡන්ද සංඛ්‍යාව ඉහළ දැමීමත් බැලු‍ බැල්මට එකී ව්‍යවස්ථා සංශෝධන මගින් සිදුකිරීමට අපේක්ෂිත වෙනස්කම් බව පෙනී යයි.

මැතිවරණ ආශ්‍රිතව පැන නැගෙන ව්‍යවස්ථා සංශෝධන කතිකාව

විශේෂයෙන්ම ජාතික මැතිවරණවලට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන, මැතිවරණ පොරොන්දු ලෙස ප්‍රකාශයට පත්වීම පසුගිය දශක දෙක කිහිපය තුළ දක්නට ලැබෙන සාමාන්‍ය තත්ත්වයක් වේ. විශේෂයෙන්ම මැතිවරණ ක්‍රමය, විධායක ජනාධිපතිධුරය, ව්‍යවස්ථාදායක බලය වැනි කරුණු සම්බන්ධයෙන් සංශෝධන ගෙනඒම අවශ්‍ය බව ආදිය සුලබ ව්‍යවස්ථා සංශෝධන සටන් පාඨ වේ. නමුත් මෑතකාලීන දේශපාලන කතාබහ අනුව අප විසින් කල්පනා කර බැලිය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිටුපස ඇති න්‍යායපත්‍රය කුමක්ද යන්නයි. 1966 විද්‍යාභිවර්ධන සංගමයේ රැස්වීමකදී එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ජේ. ආර්. ජයවර්ධන ප්‍රකාශ කලේ මේ රට සීඝ්‍රයෙන් සංවර්ධනය කරා මෙහෙයවීමට නම් විධායක ජනාධිපතිධුරයක් ඇති කිරිම අවශ්‍ය වන බවයි. එකී අදහස අනුව යමින් 1978 ජනරජ ව්‍යවස්ථාව සම්මත කරමින් ඔහු ජනාධිපතිධුරයට පත්විය. එම විධායක ජනාධිපතිධුරය ඇති කිරීමෙන් වසර 40 ට අධික කාලයක් ගෙවී ඇතත් ඇතිවූ සීඝ්‍ර සංවර්ධනයක් ජනතාවගේ ජීවිත වලින් දක්නට ලැබෙන්නේ නැත.

පසුකාලීනව ජනාධිපතිධුරය පිළිබද සාකච්ඡාව දෝලනය වූයේ එහි ඇති ප්‍රජාතන්ත්‍රවිරෝධී ස්වරූපය සංශෝධනය කිරීම දෙසටය. මැතිවරණ වේදිකාවල ජනාධිපතිධුරය අහෝසිකිරීම සඳහාත් ඇතැම්විට එය භාරකාරධුරයක් බවට පත්කිරීම සඳහාත්, තවත් විටක එයි බලතල අඩු කිරීම සඳහාත් ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය බව පැවසීම, මැතිවරණ ආසන්නයේදී ජනප්‍රිය සටන් පාඨයක් බවට පත්විය. එය හුදෙක් ආකර්ෂණීය සටන් පාඨයක් වූවා මිස යථාර්ථයක් බවට පත් කිරීමේ දේශපාලන අධිෂ්ඨානයකින් එම පාලකයන් කටයුතු කරනු ලැබුවේ නැත.

19 වන ව්‍යවස්ථා සංශෝධනය

2015 වර්ෂයේදී සම්මත කරන ලද 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම පිටුපස යම් දේශපාලන අභිලාශයන් පැවතිය හැකිවූවත්, ජනාධිපතිවරයාගේ අත්තනෝමතිකභාවය සීමා කිරීම විෂයෙහි 19 වන සංශෝධනය සාධනීය බලපෑමක් සිදුකළ බව පිළිගත හැකි කරුණක් වේ. නමුත් පැවති ආණ්ඩු සමයේ එවකට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පැවති සීතල යුද්ධය නිසා, 19 වන සංශෝධනය හරහා පිහිටුවන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන් විවේචනයන් එල්ල විය. තමන්ට කැමති කෙනෙකු තනතුරුවලට පත්කර ගැනීමට ජනාධිපතිවරුන් වඩා කැමත්තක් දක්වනවා විය හැකිය. නමුත් තමන් කැමති කෙනා වෙනුවට වඩාත් සුදුසු කෙනා පත්කර ගැනීම සදහා පවතින ඉවසීම සහ අධිෂ්ඨානය ප්‍රජාතන්ත්‍රවාදය අත්පත් කරගැනීම විෂයෙහි වඩාත් වැදගත් බව සඳහන් කළ යුතුය.

යෝජිත 21 සහ 22 සංශෝධන

පාර්ලිමේන්තු මැතිවරණයක් සදහා තරගකරනු ලබන පක්ෂයක් ආසන හිමිකරගැනීම සඳහා වර්තමානයේ සියයට පහක කඩයිම් ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීම අනිවාර්යය වේ. 21 වන සංශෝධනය හරහා එම කඩයිම් සංඛ්‍යාව සීයයට 12.5 ක් දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇත. ශක්තිමත් ආණ්ඩුවක් පත්කරගැනීම මෙහි මූලික අරමුණ බවට අදහසක් ඉදිරිපත්ව තිබේ. නමුත් මෙම යෝජනාව මගින් කුඩා පක්ෂ හා කණ්ඩායම්වල ස්වාධීන පැවැත්ම අභියෝගයට ලක්කරන බව පැහැදිලි වේ. තනිව තරග කර යම් ආසන සංඛ්‍යාවක් ලබාගන්නා පක්ෂ සඳහා දේශපාලනය තුළ සක්‍රීයවීමට පවතින අවස්ථාව අහිමිකිරීම ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කිරීමක් වේ. බහුතර ආණ්ඩු බලයක් ලබාගැනීම සදහා ජනතා විශ්වාසය දිනාගැනීම ඒ ඒ පක්ෂ සතු වගකීමක් වේ. බහුතර ආණ්ඩු බිහි නොවීම, මැතිවරණ ක්‍රමයේම ප්‍රශ්නයක් ලෙස දැකීම වූ කලී දේශපාලන පක්ෂ සහ දේශපාලකයන්ගේ අඩුපාඩු ආවරණය කරගැනීම සදහා භාවිත කරන කඩතුරාවක් මිස අන් යමක් නොවේ. එමෙන්ම ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ සමග සම්බන්ධ නොවීම සදහා සබුද්ධික පුරවැසියෙකු හට ඕනෑතරම් හේතු පවතින බව කිවයුතුය.

22 වන සංශෝධනයේ මූලික පරමාර්ථය දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අකර්මණ්‍ය කරදැමීම බව පැහැදිලිය. විශේෂයෙන්ම අභියාචනාධිකරණ සහ ශේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්, සභාපතිවරයා හැර අධිකරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් පත්කිරීමේ බලය නැවතත් ජනාධිපතිවරයාට රිසි සේ ක්‍රියාත්මක කිරීමට මෙම සංශෝධනය මගින් ඉඩ සලසා තිබේ. යෝජිත 22 වන සංශෝධනය අනුව එකී පත්කිරීම් සදහා අධිකරණ සේවා කොමිෂන් සභාවේ අදහස් විමසිය යුතු බව සඳහන් වෙයි. නමුත් එකී අදහස් ජනාධිපතිවරයාගේ පත්කිරීම් සදහා අදාළ කරගත යුතුවන බවට ප්‍රතිපාදනයක් දක්වා නොමැත. එවන් අවස්ථාවක තමන්ට අභිමත තැනැත්තන් පත්කරගැනීම සදහා ඇති අවස්ථාව භාවිතයට ගැනීමට ජනාධිපතිවරයාට හැකියාව ඇත.

එමෙන්ම නීතිපතිවරයා, විගණකාධිපතිවරයා, පොලිස්පතිවරයා, ඔම්බුඩ්ස්මන්වරයා සහ පාර්ලිමේන්තු මහලේකම්වරයා පත්කිරීම සදහා අගමැතිවරයාගේ අදහස් විමසිය යුතු බවට යෝජනා කර තිබේ. අගමැතිවරයා සහ ජනාධිපතිවරයා එකම පක්ෂයකින් පත්වූ විට නැවතත් එම පක්ෂයට හිතවත් පුද්ගලයන් එකී තනතුරු සදහා පත්වීමට ඇති ඉඩකඩ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් අහිතකර බලපෑම් ඇති කළහැකිය.

සුදුස්සන් පත්කරගැනීමේ යාන්ත්‍රණයක අවශ්‍යතාව

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් සුදුසු තැනැත්තන් පත්කරගැනීම සදහා යම් බාධාවක් තිබේ නම් ඒ සඳහා පිළියමක් යොජනා කිරීම අත්‍යවශ්‍ය කරුණකි. නමුත් බලයේ සිටින ජනාධිපතිවරයාට කැමති තැනැත්තන් පත්කරගැනීම සදහා අවස්ථා ඇති කිරීම ජනතාවාදී ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස හැඳින්විය නොහැක. ඉහළ අධිකරණවල විනිශ්චයකාරවරුන්ගේ පත්කිරීමේ ක්‍රියාවලිය විනිවිදභාවයකින් සිදුවීම අවශ්‍ය වේ. එකී පත්කිරීම් සිදුවන ආකාරය පිළිබදව ජනතාව තුළ සැකයක් මතුවුවහොත් සමස්ත අධිකරණ ක්‍රියාවලිය කෙරෙහිම ඇති ජනතා විශ්වාසය පළුදුවීමට ඉඩ තිබේ. එම යෝජිත සංශෝධන මගින් ප්‍රතිපාදන සලසා ඇති තනතුරු කෙරෙහි ජනතා විශ්වාසය සහතික කෙරෙන පත්කිරීමේ ක්‍රමවේදයක් රටට අවශ්‍ය වේ. ජනාධිපතිවරයාගේ කැමැත්ත ඉස්මතු වන ක්‍රමයකින් එකී ජනතා විශ්වාසය ගොඩනැගෙන්නේ නැති බව පැහැදිලි කරුණක් වේ.

රටක අධිකරණය මෙන්ම නීතිපති, පොලිස්පති ඇතුළු සියලු‍ රජයේ නිලධාරීන් සේවය කරනු ලබන්නේ ජනතාව වෙනුවෙනි. එනම් ජනතාවගේ උපරිම යහපත සැලසීමේ කාර්යය වෙනුවෙනි. එකී තනතුරු දරන්නන් අවසාන වශයෙන් වගකිවයුතු වන්නේ මේ රටේ ජනතාවටය. ඒ අනුව එම තැනැත්තන් ක්‍රියාත්මක කිරීමට බැදී සිටිනුයේ ජනතාවගේ කැමත්ත මිස පාලකයාගේ කැමැත්ත නොවන්නේය. එනයින් ගත්කල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විය යුත්තේ ජනතාවගේ උපරිම යහපත සැලසීමේ කාර්යය සදහා මිස පාලකයන්ට තමන්ට කැමති අය පත්කර ගැනීමට නොවේ. ව්‍යවස්ථා සංශෝධන සිදුවිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය සාක්ෂාත් කරගැනීම සඳහාය. නමුත් ලංකාව වැනි රටක ව්‍යවස්ථා සංශෝධන වලින් පමණක් ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගෙන්නේ නැත. ඒ සඳහා පාලකයා මෙන්ම පුරවැසියාද දේශපාලන අධිෂ්ඨානයකින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණක් වන්නේය.

90 වැනි සමබිම කලාපයට නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ විසින් ලියන ලද ලිපියකි.


Comments