යුරෝපයටම අසාධ්‍යයි, ඉතාලියෙන් තවත් මරණ 756

Syndicated from lankanewsweb


මේ වනවිට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් ප්‍රමාණය ලක්ෂ 07 ඉක්මවා තිබෙනවා. මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 702,368 ක් වන අතර ඉන් පුද්ගලයන් 33,178 කට ජීවිතය අහිමි වී තිබෙනවා. තවත් පුද්ගලයන් 26,337 ක් සිටින්නේ ජීවිතයත් මරණයත් අතර සටනකයි.
මීට සුළු මොහොතකට පෙර නිකුත් වූ සංඛ්‍යා ලේඛන අනුව අවසන් පැය 24 තුළ ඉතාලියේ පුද්ගලයන් 765 දෙනෙකු වෛරසය හේතුවෙන් මියගොස් ඇති අතර එරටින් වාර්තා වන සමස්ත මරණ ප්‍රමාණය 10,779 කි. එය ආසන්න වශයෙන් ලොවපුරා මියගිය පුද්ගලයන්ගෙන් තුනෙන් එකක ප්‍රමාණයකි.
මීට අමරතව අවසන් පැය 24 තුළ ස්පාඤ්ඤයෙන් මරණ 624 ක්, එක්සත් රාජධානියෙන් මරණ 209 ක්, නෙදර්ලන්තයෙන් 132 ක්, ඉරානයෙන් 123 ක්, ඇමරිකා එක්සත් ජනපදයෙන් 108 ක් වාර්තා වී තිබෙනවා. ලොවපුරා අද දිනය තුළ සිදුව ඇති සමස්ත මරණ ප්‍රමාණය 2321 කි. නව ආසාදිතයන් 40,000 කට ආසන්න පිරිසක් වාර්තා වී තිබේ.
ලෝක ජනගහනයට සාපේක්ෂව පුද්ගලයන් ලක්ෂයකට වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණය 09 කි. ඉතාලියේ එම අගය 161 ක් වන අතර ස්පාඤ්ඤයේ 168 කි. ඉතාලියේ පුද්ගලයන් ලක්ෂයකට මරණ 18 ක් වාර්තා වන අතර ස්පාඤ්ඤයේ එම අගය පුද්ගලයන් ලක්ෂයකට මරණ 14 කි.
ලොවපුරා වෛරසය හේතුවෙන් සිදුවන මරණ ප්‍රමාණය දිනෙන් දින ඉහළ යන අතර පසුගිය 23 වැනිදා වනවිට වාර්තා වූ මරණ ප්‍රමාණය 16,513 කි. දවස් 06 ක් ඇවෑමෙන් අද වනවිට එම ප්‍රමාණය දෙගුණයක් බවට පත්ව තිබේ. වෛරසය ආසාදනය වන පුද්ගලයන්ගේ ප්‍රමාණය දෙගුණයක් දක්වා වර්ධනය වීමට ගතව ඇත්තේ දින 07 ක කාලයක් පමණි.
විශේෂයෙන් යුරෝපා කලාපය දිනෙන් දිනම වෛරසයේ බලපෑමට නතුවෙමින් පවතින අතර ආසාදිතයන්ගෙන් 50% කට වඩා වාර්තා වන්නේ යුරෝපා රටවලිනි. මරණ ප්‍රමාණය සැලකිල්ලට ගතහොත් යුරෝපය සිටින්නේ බරපතල අවදානමකයි. ලොවපුරා සිදුව ඇති සමස්ත මරණ ප්‍රමාණයෙන් තුනෙන් දෙකකටත් වඩා ප්‍රමාණයක් සිදුව ඇත්තේ යුරෝපා රටවල් තුළය.

Comments