කොරෝනා පාලනයට හොඳම විසඳුම 2005 අංක 13 දරණ ශ්‍රී ලංකා ව්‍යසන කලමනාකරණ පනත බලාත්මක කිරීමයි..! එය මග හරින්නේ ඇයි? ‌මෙන්න ඇත්ත..! ඒකේෂ්වර ලියයි

Syndicated from lankaenews,


(ලංකා ඊ නිව්ස් -2020.මාර්තු.22, ප.ව.8.25) කොරෝනා පාලනයට හොඳම විසඳුම 2005 අංක 13 දරණ ශ්‍රී ලංකා ව්‍යසන කලමනාකරණ පනත බලාත්මක කිරීමය. 2005 මැයි මස 13 දින පාර්ලිමේන්තුවේ සම්මත කළ එකී ශ්‍රී ලංකා ව්‍යසන කලමනාකරණ පනත ( www.documents.gov.lk හරහා බා ගත හැකිය.) ශ්‍රී ලංකා ව්‍යසන කලමනාකරණ පනතේ  "ව්‍යසනය" යන්න අර්ථ දක්වා ඇත්තේ මෙසේය.
෴ ලංකාවේ යම් තැනැත්තෙකුට හෝ තැනැත්තන් කන්ඩායමකගේ ආරක්ෂාවට හෝ සෞඛ්‍යට අන්තරාදායක වන්නා වූ අන්තරාකාරී වන බවට තර්ජනයක් පවතින්නා වූ හෝ නැතහොත් යම් දේපලක් විනාශ කරන්නා වූ හෝ හානියට පමුනුවන්නා වූ හෝ විනාශ වන බවට හෝ හානි සිදුවන බවට හෝ තර්ජනයක් වන්නවූද , ස්වාභාවික හෝ මිනිසා විසින් සිදුකරනු ලබන්නවූද සිද්ධියක්, සැබැවින්ම සිදුවීම හෝ සිදුවීමට ආසන්නවීම අදහස් කරන අතර ඊට,
1) නාය යාමක්
2) සුලි සුලඟක්
3) ගං වතුරක්
4) නියඟයක්
5) කාර්මික උපද්‍රවයක්
6) සුනාමියක්
7) භූ චලනයක්
8) ගුවන් උපද්‍රවයක්
9) සමුද්‍රීය උපද්‍රවයක්
10 ) ගින්නක්
*11) වසංගතයක්*
12) පිපිරීමක්
13) ගුවන් ප්‍රහාරයක්
14) සිවිල් හෝ අභ්‍යන්තර ගැටුමක්
15) රසායනික අනතුරක්
16) විකිරණශීලීත්වයෙන් හටගත් යම් අනතුරක්
17) ගොඩබිම හෝ මුහුදේ සිදුවන තෙල් පිටාර ගැලීමක්
18) න්‍යෂ්ඨික ආපදාවක්
19) නාගරික හෝ වනාන්තර ගිනි ගැනීමක්
20) වෙරල ඛාදනය වීමක්
21) ටෝනාඩෝ චන්ඩ මාරුතයක්, අකුනු සැර වැදීමක් සහ දරුනු ගිගිරුම් සහිත කුනාටුවක්
යන ඒවා ඇතුලත් වේ.
෴ එම පනතේම "ව්‍යසන සඳහා ප්‍රති පියවර " ලෙස
සිදුවීමට ආසන්න ව්‍යසනයක ඵලවිපාක වලක්වාලීම, අවම ප්‍රමානයට අඩුකිරීම, හෝ ඊට ප්‍රතිවිරුද්ධව කටයුතු කිරීම සඳහා හෝ ව්‍යසනයට පසුව ඇතිවෙන ඵලවිපාක ජනතාව වෙත හෝ යම් පුද්ගලයෙකුට අයත්, රාජ්‍යට අයත් යම් දේපලක් වෙත හෝ බලපෑම අඩුකිරීම සඳහා හෝ අවශ්‍ය වෙන හෝ යෝග්‍ය වෙන පියවර අදහස් වන අතර, තත්කාර්‍ය සඳහා වූ පුහුණු කිරීම පැවැත්වීම් හෝ ඒවාට සහභාගීවීම ඊට ඇතුලත්‍ ය.
෴ මෙම ක්‍රියාමාර්ගයන් ගැනීම සඳහා "ව්‍යසන කලමනාකරණය සඳහා වූ ජාතික සභාව" (සභාව)ක් පිහිටුවීමට පනතේ අංක 02 .01දක්වා ඇත.

පනතේ අංක 02.02 හි දක්වා ඇති ඒ ජාතික සභාවට

1) සභාපති ( නිලබලයෙන් ජනාධිපති)
2) උපසභාපති ( නිල බලයෙන් අගමැති)
3) විපක්ෂ නාකයගෙන් (පනතේ සඳහන් නැතත්, පාර්ලිමේන්තුව විසුරුවා ඇති විටෙක හිටපු විපක්ෂ නායක හෝ සර්වපාක්ෂික සමුලුවක් හරහා තෝරා පත්කර ගත හැක)
4) නම් කළ අමාත්‍යාංශ 20 ක් භාර ඇමතිවරුන්
5) පලාත්  ප්‍රධාන අමාත්‍යවරු
6) කතානායක නම් කරනු ලබන විපක්ෂ මන්ත්‍රීවරු 05 ක් ගෙන් මෙම සභාව සමන්විත යුතුය.

සභාවේ කර්තව්‍යන් පනතේ අංක 04 හි ඉතාමත් පුලුල්ව දක්වා ඇත

෴ සභාවේ ගණ පූර්නය සාමාජික ගණනින් 1/3 කි. එනම් සාමාජිකයින් 31 දෙනාගෙන් 10 දෙනෙකි. ( පන‌තේ අංක 06)
෴ පනතේ අංක 08 ට අනුව අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුගෙන් යුතු ව්‍යසන කලමනාකරණ මධ්‍යස්ථානයක් පිහිටු විය යුතුය. මෙම මධ්‍යස්ථානයේ කාර්‍යභාරය අනුව ඕනෑම රාජ්‍ය ආයතනයක් සම්බන්ධීකරනයෙන් ඉහත කී ව්‍යසන සඳහා ප්‍රතිපියවර ගත හැකිය. මේ සඳහා පුලුල් බලතල මෙම මධ්‍යස්ථානයට ලබා දී ඇත.
෴ දැනට covid-19 වෛරස් වසංගතය මැඩලීමට පිහිටුවා ඇති ජනාධිපති කාර්‍යසාධක බලකාය වැනි ව්‍යුහයන්ද මෙම මධ්‍යස්ථානයට අනුබද්ධ කළ හැකිය. ඒ හරහා දැනට පවතින ක්‍රියාවලිය සියලුම රාජ්‍ය ආයතන සම්බන්ධීකරනය කරමින් වඩාත් පුලුල් හා වේගවත් කළ හැකිය.
෴ පනතේ 11 වගන්තිය අනුව ජනාධිපතිවරයා විසින් රටෙහි කොටසකට හෝ මුලු රටටම ප්‍රකාශ කළ විට ඒ ව්‍යසනය වෙනුවෙන් ඕනෑම ක්‍රියාවක් කිරීමට සභාවට බලය ඇත. (මුදල් වෙන් කිරීම ඇතුලු) එවන් තත්වයක් තුල සිදුකරන යෝජනා ඊලඟ ආසන්න පාර්ලිමේන්තුවට යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ යුතුය. එම යෝජනාව පාර්ලිමේන්තුවේ පරාජය වුවත් කළ ක්‍රියාවන් සියල්ල නීත්‍යානුකූල සේ සැලකේ. ( පනතේ 11.03 සහ 11.04)
෴ පනතේ වගන්ති 12 තුල ව්‍යසනයක් ලෙස ජනාධිපතිවරයා නම් කළ විට ගත හැකි පියවරයන් විග්‍රහකර ඇත.
෴ පනතේ වගන්ති 13 හි රටේ ස්වෛරීභාවයට හානියක් නොවන සේ රාජ්‍ය නොවන සංවිධාන වලින් ආධාර ගැනීමට හැකියාව සහ බලය ඇත.
෴ පනතේ වගන්ති අංක 14 මගින් "ව්‍යසන පාලන උචිත පියවර " පුළුල්ව දක්වා ඇති අතර ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය කැඳවීම සහ යොදාගැනීම දක්වා ඇත. එම පනත ප්‍රකාරව ගනු ලබන උචිත පියවරයන් ඔස්සේ පසුව ක්‍රියාත්මක කරන නිලධාරියෙකුට විරුද්ධ ව නඩු පැවරිය නොහැක. ( පනතේ වගන්ති 23- නිලධාරීන්ගේ මුක්තිය) උචිත පියවර ගැනීමේදී නිලධාරියෙකු අතින් සිදුවෙන පාඩුවක් සඳහා රජය වන්දිගෙවනු ලබයි. (වගන්ති අංක 15- )
෴ ව්‍යසන කලමනාකරනය සඳහා යොමුවන නිලධාරීන්ට  රාජකාරීමය වශයෙන් පූර්ණ සුරක්ෂිත භාවයක් මෙම පනත මගින් ලබා දී ඇත. දැනට ක්‍රියාත්මක වෙන ක්‍රමය හරහා එවන් සුරක්ෂිත භාවයක් නීත්‍යානුකූලව නැත.
෴ ව්‍යසන කලමනාකරණයට අදාල මුදල් රජයේ ඒකාබද්ධ අරමුදලෙන් (වගන්ති අංක 17) හෝ ඔ්නෑම ආයතනයකින් ලබා ගැනීමට බලය ඇත. ඔනෑම රාජ්‍ය ආයතනයක සම්පත් ද භාවිතා කිරීමට බලය ඇත.
෴ ව්‍යසන කලමනාකරනයකදී බාධා පමුණුවන්නන් හට නඩු පැවරීමට ද මෙම පනතේ වගන්ති අංක 24 මගින් ප්‍රතිපාදන සලසා ඇත.
෴ මෙවන් ව්‍යසනයන් මර්දනය සඳහා විශාල රාජ්‍ය මුදල් ආයෝජනය කර පුහුණුවීම් සඳහා යොමුකළ නිලධාරීන් මෙම ව්‍යසන කලමනාකරණ මධ්‍යස්ථානයේ ඔ්නෑ තරම් ඇත.
෴ වත්මන් covid 19 වෛරස් වසංගතය මර්දනයට යොදාගෙන ඇත්තේ ඉහත මධ්‍යස්ථානය සතු හදිසි ඇමතුම් අංශය පමනි. (117) මෙම හදිසි ඇමතුම් අංශය ද ලංකාවේ ඇති තාක්ෂනයෙන් දියුණුම ඇමතුම් මැදිරියයි. පොලිස් ඇමතුම මැදිරි‌යේ ( 119) පුහුණුවෙන නිලධාරීන්ට පෙන්වන ආදර්ශ මැදිරිය මෙයයි.
෴ දුරකතන සහ සියලු මාධ්‍යය ආයතන බිඳ වැටුනත් ජනතාව ශබ්ද විකාශන මගින් ඇමතිය හැකි පද්ධතියක් ( කුලුණු 77 කින් සමන්විත ) සතුව ඇත්තේ ‌මෙම මධ්‍යස්ථානයට පමණි. 
෴ දිස්ත්‍රික්ක වශයෙන් නවීන සැටලයිට් තාක්ෂන පහසුකම් සහිත වාහන 25 සහිත මෙම ව්‍යසන කලමනාකරන මධ්‍යස්ථානය භාවිතය මේ මොහොතේ මෙම වසංගතය මර්දනයට ඇති හොඳම විකල්පයයි.
෴ ජනාධිපතිතුමා විසින් ජාතික සභාව ගැසට් කිරීමත්, ව්‍යසන කලමණාකරන මධ්‍යස්ථානය බල ගැන්වීමත් හරහා දැනට ක්‍රියාතමක කොරෝනා වෛරස මර්දන වැඩපිලිවෙල ඉතාමත් සක්‍රීයව සහ වගකීම් සහගතව ඉදිරියට සාර්ථකව ගෙන යා හැකිය. එය දිනෙන් දින කල් දැමීම ‌හෝ් ‌නොතකා සිටීම ව්‍යසනය මර්දනය කිරීමට විශාල බාධාවක් වනු ඇත. 

ඒකේෂ්වර ‌කෝට්ටෙගොඩ විතාන 

Comments