Syndicated from lankanewsweb,
රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක තනතුරෙහි සිටියේ නම් රජය විසින් ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුව අනිවාර්යයෙන්ම සම්මත කරවා ගැනීමට ඉඩ තිබුණු බව කැබිනට් ප්‍රකාශක බන්ධුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබේ.
ඒ, පසුගිය 22 වනදා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවෙහි පැවති විශේෂ මාධ්‍ය හමුවේදීය.
කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවීමට නම් අනිවාර්යයෙන්ම ණය සීමාව ඉහළ නංවා ගැනීමට සිදුවන බව පැවසූ ඒ මහතා ඊට ඉඩ නොදීමේ වගකීම සජිත් ප්‍රේමදාස මහතා විසින් භාරගත යුතු බවත් වත්මන් තත්වය අනුව තමන්ට මුදල් ගෙවීමට සිදුවන්නේ නව ආණ්ඩුවක් පිහිටුවා මාසයක් පමණ කාලයක් ගතවීමෙන් අනතුරුව බවත් ඒ මහතා එහිදී සඳහන් කර තිබිණි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම චෝදනාවන්ට පිළිතුරු දෙමින් ප්‍රකාශ කර තිබුණේ අතුරු සම්මත ගිණුමට සංශෝධන ඉදිරිපත් කරමින් ආණ්ඩුව ඉදිරිපත් කළ යෝජනාවෙහි කොටස් දෙකක් තිබුණු බවත් එහි සැපයුම්කරුවන්ට ගෙවීම්, සහන සහ සංවර්ධන කටයුතු සඳහා මුදල් ගෙවීමට තමන් එකඟ වූ අතර විරුද්ධ වූයේ ණය සීමාව වැඩි කිරීමට පමණක් බවත්ය. ආණ්ඩුව සිය වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා බදු ආදායම් අහිමි කරගෙන ඇති අතර එය ණය වශයෙන් ජනතාව මත පැටවීමට ඉඩදිය නොහැකි බවයි ඒ මහතා අවධාරණය කළේ.
එසේම, මින් වෙන් කෙරෙන මුදල් අනිවාර්යයෙන්ම සැපයුම්කරුවන්ට සහ කොන්ත්රාත්කරුවන්ටම ගෙවන්නේය යන්න තහවුරු කිරීම සඳහා වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන ලෙස තමන් යෝජනා කළ අවස්ථාවේදී ආණ්ඩුව ඊට ප්‍රතිචාර නොදැක්වූ බවත් ඒ අනුව මේ මුදල් වෙන්කර ගැනීමට උත්සාහ කළේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන්ය යන සාධාරණ සැකය මතුවුණු බවත් චම්පික රණවක මහතා ද පවසා තිබිණි.
ආණ්ඩුව අවසානයෙහිදී කර තිබුණේ සමස්ත යෝජනාවම ඉල්ලා අස්කර ගැනීමය. මෙතරම් වැදගත්, මෙතරම් බරපතළ යෝජනාවක් හදිසියේම ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් පමණක් නොව අවම වශයෙන් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණ නොසිටීම ද විපක්ෂය විසින් ප්‍රශ්න කරන ලදී.
කෙසේවෙතත් නිල නොවන ආරංචිමාර්ග සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද මෙම පරිපූරක ඇස්තමේන්තුව සම්මත කිරීම සඳහා ආණ්ඩුවට සහාය දිය යුතු බව එජාප ජ්‍යේෂ්ඨයින් කිහිප දෙනෙකු සමඟම ප්‍රකාශ කර තිබුණු බවකි.
RN
Comments
Post a Comment