පාර්ලිමේන්තුව අවසන් වීමත් සමග රට සීග්‍රයෙන් මිලිටරීකරණයට; සිද්ධි 3 ක් මෙන්න; සියල්ල නීති විරෝධියි..! නන්දසේනගේ 'රණවිරු මාන්දමට' රටේ නීතිය බිලි දිය යුතු නැත..! විමල් ධීරසේකර හෙළිකරයි
Syndicated from lankaenews,
(ලංකා ඊ නිව්ස් -2019.ජූලි.25, පෙ.ව.8.45) පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපති නන්දසේනට ලැබෙන පළමු අවස්ථාවේ දීම එය සිදුකරන බැවින් පසුගිය 20 වෙනිදා පාර්ලිමේන්තු රැස්වීම අවසන් රැස්වීම විය. පාර්ලිමේන්තුව අවසන් වීමත් සමග ජනාධිපති නන්දසේන නීති විරෝධී ලෙස සිවිල් ආයතනවලට හමුදා නිලධාරීන් පත් කරමින් රට වේගයෙන් මිලිටරීකරණය කරමින් සිටින නමුත් රටේ ප්‍රධාන විපක්ෂය මෙන්ම නීති ක්ෂේත්රය ඒ පිළිබඳ අවධානය මෙතෙක් යොමු කර නැත.
නන්දසේනගේ බරපතලම නීති විරෝධී හමුදා මැදිහත් කිරීම..
නන්දසේන පත් කළ නීති විරෝධී පත්වීම් අතර ප්‍රධාන තැනක් ගන්නේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් වශයෙන් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ පත් කිරීමයි. ඔහු ඊයේ(24) හමුදා ඇඳුමින්ම ගොස් තම නීති විරෝධී පත්වීමේ වැඩ බාර ගත් නමුත් වෙනදා තම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින රේගු නිලධාරීන්ගේ වෘත්තීය සමිති නායකයෝ ද වලිගය දෙපරහැන්ද අස්සේ සඟවාගෙන සිටිති.
රවිප්‍රිය නීති විරෝධී වන්නේ මේ ආකාරයට ය. ශ්‍රී ලංකාවේ ජනරජය විසින් 2005 ඔක්තෝම්බර් 28 දා ප්‍රකාශිත අංක 1419/3 දරණ අති විශේෂ ගැසට් නිවේදනය අනුව ශ්‍රී ලංකාවේ පරිපාලන සේවයේ ‘සුපිරි ශ්‍රේණියේ’ (Super Grade) නිලධාරීන් පමණක් පත් කළ යුතු අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ තනතුරු රැසක් නම් කර තිබේ. එහි 28 වෙනි තනතුර ලෙස සඳහන් කර ඇත්තේ පෙර කී රේගු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් තනතුරයි. එනම් ඊයේ පැන්සොන් මේජර් ජෙනරාල් රවිප්‍රිය වැඩ බාර ගත් තනතුරට පත් කළ හැක්කේ පරිපාලන සේවයේ නියුතු සුපිරි ශ්‍රේණියේ පරිපාලන නිලධාරියෙකු පමණි.
ජනාධිපති නන්දසේනට ඇති රණවිරු මාන්දම අනුව රේගුවට හමුදා නිලධාරියෙකු පත් කළ යුතුම නම් නීතියට අනුව කළ හැකි වන්නේ සුපිරි ශ්‍රේණියේ පරිපාලන නිලධාරියෙකු රේගු අධ්යක්ෂ ජෙනරාල් ලෙස පත් කර ඔහුට සහාය වීම සඳහා ජනාධිපති බලය ලත් හමුදා නිලධාරියෙකු පත් කිරීම මිස එකී තනතුරට හෝ එකී තනතුර අධීක්ෂණය කිරීමට හෝ හමුදා නිලධාරියෙකු පත් කිරීම රටේ පවතින නීතියට පටහැනිය. නීති ගරුක රටක් හදන්න ආ මිනිහාට නීතියට පටහැනිව ක්‍රියා කිරීමට කිසිසේත්ම ඉඩ දිය යුතු නැත.
නන්දසේනගේ දෙවන නීති විරෝධී හමුදා මැදිහත් කිරීම..
නන්දසේන නීති විරෝධීව පත් කළ මේජර් ජෙනරාල් වරයෙකුගෙන් යුක්ත දෙවැනි හමුදා නිලධාරීන් කණ්ඩායම පත් කර ඇත්තේ පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අධීක්ෂණය කිරීමට ය.
එකී නීති විරෝධී ක්‍රියාව සාධාරණය කිරීම සඳහා තවත් නීති විරෝධී පත්වීමක සිටින පැන්සොන් හමුදා නිලධාරියෙකු වන ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න පවසා ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩුවේ විමර්ශන ඵලදායී නොවූ බැවින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනවල ප්‍රගතිය සොයා බැලීමට ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් ජගත් අල්විස් ගේ ප්‍රධානත්වයෙන් හමුදා බුද්ධි අංශ නිලධාරීන් 6 දෙනෙකුගෙන් සමන්විත කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබෙන බවයි. ඔවුන්ගේ ප්‍රධාන කාර්ය වන්නේ සීඅයිඩිය සිදුකරන විමර්ශන වල ප්‍රගතිය සොයා බලා සෑම සතියකටම වරක් තමාට වාර්තාවක් ඉදිරිපත් කිරීම බවද ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න කියයි. තමා මේ පත්වීම් කෙළේ ජනාධිපති ගේ උපදෙස් මත බවද හේ පවසයි.
කමල් ගුණරත්නත් නීති විරෝධියි කළ වැඩෙත් නීති විරෝධියි..
කමල් ගුණරත්නගේ පත්වීම නීති විරෝධී වන්නේ කිසිවෙක් නිසා නොව ආරක්ෂක ඇමැතිවරයෙකු නොමැතිව ආරක්ෂක ලේකම් වරයෙකු සිටිය නොහැකි බැවිනි. දැනට රටේ නීත්‍යාණුකූල ආරක්ෂක ඇමැතිවරයෙකු නැත. 19 වැනි සංශෝධනය අනුව සිරිසේන ජනාධිපතිගෙන් පසුව පත් වන ජනාධිපතිලාට කිසිදු ඇමැතිධූරයක් තබා ගත නොහැකි අතර ඇමැතිධූරයක වැඩ බැලීමට ද නොහැකි ය. අගමැතිට ආරක්ෂක ඇමැතිධූරය ලබා දී ද නැත. ඒ අනුව කමල් ගුණරත්න ඉන්නේද නීති විරෝධී පත්වීමකය.
එවැනි තත්ත්වයක සිටින කමල් ගුණරත්න පොලිසියේ සීඅයිඩියේ විමර්ශන අධීක්ෂණය කිරීමට හමුදා නිලධාරීන් කණ්ඩායමක් යෙදැවීම සපුරා නීති විරෝධී වන්නේ පොලිසියේ කවර නම් කොට්ඨාශයක් විසින් සිදුකරන විමර්ශණ අධීක්ෂණය කළ හැක්කේ පොලිස්පතිවරයාට සහ නීතිපතිවරයාට පමණක් වන බැවිනි. ඊට පිටස්තර අයෙකුට පොලිස් අපරාධ විමර්ශනයක් අධීක්ෂණයට හෝ උපදෙස් දීමට නොහැකිය. නීති විරෝධී ය. වැඩ බලන පොලිස්පති වරයා බලුගුදයට ඇද වැටී ඇති නමුත් තමා සතු බලය හමුදාවට පැවරීම ගැන අඩුම ගණනේ නීතිපතිවරයා හෝ යමක් කළ යුතුය.
සැකයි සැකයි සැකයි..
අනෙක් අතට මෙකී පාස්කු ප්‍රහාරයේ පොලිස් විමර්ශන අධීක්ෂණයට හමුදා බුද්ධි අංශ යෙදැවීම සැක කටයුතු ය. ඒ මන්ද යත් ප්‍රහාරය සිදුකළ සහරාන්ගේ නායකත්වයෙන් යුත් තවුහිද් ජමාද් සංවිධානය පිහිටුවන ලද්දේ එවක හමුදා බුද්ධි අංශය විසින්ම නිසාත්, සහරාන්ට හමුදා බුද්ධි අංශය විසින් ගෙවීම් කළ බව ආණ්ඩුවේ සම මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල විසින් ප්‍රසිද්ධියේ පිළිගෙන තිබෙන නිසාත්, සීඅයිඩී විමර්ශන වලදී හමුදා බුද්ධි අංශයේ සම්බන්ධතාවයන් හෙළි වීම වැළැක්වීමට විමර්ශන අධීක්ෂනයට කියා හමුදා බුද්ධි අංශය පත් කළාදැයි ඇතිවන්නේ බරපතල සැකයකි.
නන්දසේනගේ තුන්වන නීති විරෝධී හමුදා මැදිහත් කිරීම..
නන්දසේන විසින් කරන ලද තුන්වන නීති විරෝධී හමුදා මැදිහත් වීම නම් කොළඹ රථ වාහන හැසිරවීමට යුද හමුදාවේ මිලිටරි පොලිසිය යෙදැවීමයි. යුද හමුදාවේ පමණක් නොව නාවික හා ගුවන් හමුදාවන්හිද නාවික හමුදා පොලිසියක් සහ ගුවන් හමුදා පොලිසියක් තිබේ. ඒ ත්‍රිවිධ හමුදා පොලිසිවලට නියමිත රාජකාරී මොනවාදැයි කියා ඒ ඒ හමුදා පණත් වලින් නියම කර තිබේ. යුද හමුදා පණත, නාවික හමුදා පණත, ගුවන් හමුදා පණත අනුව ඒ ඒ හමුදාවල පොලිසිවලට නියමිත කාර්ය වන්නේ ඒ ඒ හමුදා අභ්‍යන්තරයේ සිදුකරන වැරදි වලට සම්බන්ධ අය සොයා බලා ඒ ඒ යුද අධිකරණ මගින් දඬුවම් පැමිණවීමයි. ඔවුනට මහා මාර්ගයේ රථ වාහන හැසිරවීම වැනි සිවිල් කාර්යයන්ට මැදිහත් විය හැක්කේ විශේෂ නීතිමය ප්‍රතිපාදන අනුව ය. ජනාධිපති නන්දසේනට තම රණවිරු මාන්දම සනීප කර ගත යුතුම නම් කළ යුත්තේ පෙර කී හමුදා පණත් සංශෝධනය කර අවශ්‍ය දේ කර ගැනීම මිස නීතිය අභිබවා ක්‍රියා කිරීම නොවේ.
මහජන ආරක්ෂාවට හමුදාව කැඳවනවා කියා ගැසට්ටුවක් ගසා මිලිටරි පොලිසියට සිවිල් කටයුතු බාර දිය නොහැකිය. එසේ නම් පාර්ලිමේන්තු අනුමැතිය සහිත හදිසි නීතිය පනවා ඒ යටතේ මිලිටරි පොලිසියට ලැබෙන නිශ්චිත බලතල මොනවාද කියා යලි ගැසට් මගින් ප්‍රකාශිත විය යුතුය. යුද සමයේ හදිසි නීතිය පවතිද්දී පවා බස් රථ පරීක්ෂා කරද්දී හමුදාව මැදිහත් වූයේ පොලිස් නිලධාරියෙකු සමග බව අමතක කළ යුතු නැත. ඒ මන්ද යත් හදිසි නීතිය යටතේ පවා රථයක් නතර කළ හැක්කේ පොලිස් නිලධාරියෙකුට පමණක් වූ නිසා ය.
ජනාධිපති නන්දසේන මෙලෙස නීති විරෝධී ආකාරයෙන් පොලිසියේ සිවිල් කාර්යයන්ට හමුදාව යෙදැවුවහොත් නුදුරේදීම පොලිසියේ සිටින ස්ථානාධිපතිවරයාට ඉහලින් හමුදා නිලධාරියෙකු පත් කරනුද නොඅනුමාන ය.
නීතිය නොසලකන නන්දසේනගේ පුරුද්ද..
අප යළි යළිත් අවධාරණය කරනුයේ මේවා කළ යුතුම නම් නීති සංශෝධනය කර නීතියට අනුව ක්‍රියා කළ යුතු බවයි. නමුත් මේ දක්වා නන්දසේන ජනාධිපති පෙන්වා ඇත්තේ තමන් රටේ නීතිය නොසලකන පුද්ගලයෙකු බවයි. ඊට හොඳම උදාරහරණය වන්නේ "නීති රීති නිසා සාමාන්‍ය මිනිහෙක්ට නිදහසේ ජීවත්විය නොහැකි වටපිටාවක් නිර්මාණය වී ඇත" යි පසුගිය 20 වැනිදා පැවැති සමස්ත ලංකා සමෘද්ධි සහ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිෂ්පාදන සංගමයේ 22 වැනි වාර්ෂික මහා සම්මේලනයට සහභාගී වෙමින් ඔහු කළ ප්‍රකාශයයි. නන්දසේන වැනි නීතියට පිටින් මිනිස් ඝාතන, මූල්‍ය වංචා, රාජ්‍ය මුදල් දූෂණ සිදුකළ බවට අධිකරණ රැසක චෝදනා විභාග වූ අයෙක්, රටේ නායකයා වූ පසු ලැබෙන මුක්තිය නිසා නිදහසේ සිටින අයෙක් මෙලෙස ක්‍රියා කිරීම බලාපොරොත්තු විය යුතු නමුත් ඊට ඉඩ දිය නොහැකිය.
69 ලක්ෂයක් ඡන්දය දුන් නිසා තමාට ඔ්නෑ දෙයක් කළ හැකි යයි ඇමරිකන් නන්දසේන සිතාගෙන සිටිනවා නම් ඔහු ඉන්නේ වලිගය පාගා ගෙන ය.
මජර පරාජදාස මර නින්දේ නමුත් ඔබ පෙරට ආ යුතුය..
ඉහත කී ආකාරයෙන් ජනාධිපති නන්දසේන නීති වීරෝධී ආකාරයෙන් රට වේගයෙන් මිලිටරීකරණය කරමින් සිටියදී බලෙන් ඉල්ලා රටේ විපක්ෂ නායකයා වූ මජර පරාජදාස මර නින්දේ ය. මන්ද යත් ඔහුට රාජපක්ෂලාටත් වඩා තදින් ‘රණවිරු මාන්දම’ වැළඳී ඇති බැවිනි. ඔහු සිතන්නේ හමුදා පත් කිරීම් වලට විරුද්ධව කතා කළොත් තම ‘මුග්ධ රණවිරු මාන්දමට’ කෙළවෙනු ඇත කියා ය.
විපක්ෂ නායකයාට කුද ගහගන්නැයි කියා නැගී එන නීති විරෝධී බිහිසුනු මිලිටරීකරණයට විරුද්ධව නැගී සිටීම නීති ගරුක ප්‍රජාවේ, නීති ක්ෂේත්රයේ සිටින්නවුන්ගේ සහ සැබෑ මාධ්‍යවේදීන්ගේ පරම පවිත්‍ර යුතුකම වනු ඇත.
Comments
Post a Comment