Syndicated from lankaenews,
(ලංකා ඊ නිව්ස් -2020.ජන.04, ප.ව.3.10) වසර 1868 දී උපත ලැබූ ශ්‍රීමත් දොන් බාරොන් ජයතිලක හෙවත් ඩී. බී. ජයතිලක මෙරට බිහිවූ අග්‍රගන්‍ය බුද්ධිමතකු, අධ්‍යාපනඥයකු, රාජ්‍යතාන්ත්‍රිකයකු, දේශපාලනඥයකු මෙන්ම ප්‍රමුඛ සිංහල බෞද්ධ නායකයකු ද වශයෙන් සැලකිය හැකිය.
විද්‍යාලංකාර පිරිවනේ රත්මලානේ ශ්‍රී ධර්මාලෝක හිමියන් ගෙන් සිංහල, පාලි සහ සංස්කෘතය හැදෑරූ තරුණ ජයතිලකයන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබීම සඳහා කොළඹ වෙස්ලි විද්‍යාලයට ඇතුලත් විය. එහිදී කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ කේම්බ්‍රිජ් විභාගයන් ගෙන් සමත්වන ජයතිලකයන් උසස් අධ්‍යාපනය සඳහා ඉන්දියාවේ කල්කටා විශ්ව විද්‍යාලයට එක්විය. මූලික උපාධියෙන් පසුව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන හදාරණ ජයතිලකයන් නැවත ලංකාවට පැමිණෙන්නේ බැරිස්ටර්වරයෙකු වශයෙනි.
මේ වකවානුවේ දී ඔහුට කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් මුණගැසෙයි. රට පුරා බෞද්ධ පාසැල් ස්ථාපිත කිරීමේ වැඩ පිළිවෙලට එක් වන ජයතිලකයන් ධර්මරාජ විද්‍යාලයේ විදුහල්පතිවරයා වශයෙන් සේවය කළේය. ඉන්පසුව කොළඹ ආනන්ද විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා වශයෙන් සී. ඩබ් ලෙඩ්බීටර් යටතේ සේවය කරන ඔහු පසු කලෙක ආනන්දයේ විදුහල්පතිවරයා බවට පත් විය. වසර 1898 දී ඔහු තරුණ බෞද්ධ සමිතිය (YMBA) ආරම්භ කරමින් එහි සභාපති ධූරයේ කටයුතු කළේය. රටපුරා දහම් පාසැල් අධ්‍යාපනය ස්ථාපිත කිරීමට තරුණ බෞද්ධ සංගමය මගින් කටයුතු කළේ ජයතිලකයන්ය.
ප්‍රාඥයකු වශයෙන් ඔහුගේ මැදිහත්වීම සිංහල ශබ්දකෝෂය නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියේ දී ප්‍රදර්ශනය විය. ඔහු සිංහල ශබ්දකෝෂයේ ආරම්භක ප්‍රධාන කර්තෘවරයා ය. 1935 සිට 1941 දක්වා කාලය පුරා ඔහු රාජකීය ආසියාතික සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළේය.
ජයතිලකයන් අත් අඩංගුවට..
1915 ගැටුම් හිදී බ්‍රිතාන්‍ය පාලකයන් යුධ නීතිය යටතේ ජයතිලකයන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගත්තේය. ස්වල්ප කලකින් ඔහුව අත්අඩංගුවෙන් මුදාහැරීමට බ්‍රිතාන්‍යය පාලකයෝ ක්‍රියා කළහ. 1915 ගැටුමේදී බ්‍රිතාන්‍යය බලධාරීන් ක්‍රියාත්මක වූ නීති විරෝධී ආකාරය පිළිබඳ පැමිණිලි කිරීම සඳහා ඩී. බී. ජයතිලක බ්‍රිතාන්‍යයට ගියේය. බ්‍රිතාන්‍යය පාලකයන් ලංකාවේ සිදු කරන අසාධාරණකම් වලට එරෙහිව මෙන්ම 1915 ගැටුම පිළිබඳ පරීක්ෂා කිරීමට රාජකීය කොමිසමක් පත් කරන ලෙසට බලකරන උද්ඝෝෂණයක් ඔහු ආරම්භ කළේය. 1919 දී සියරට එන ජයතිලකයන් ලංකා ජාතික කොන්ග්‍රසය ආරම්භ කිරීමට සර් පොන්නම්බලම් අරුනාචලම්ට සහ සර් ජේම්ස් පීරිස්ට සහය ලබා දුන්නේය. ලංකා ජාතික කොන්ග්‍රසය ආරම්භ කිරීමෙන් පසුව ජයතිලකයන් ඔවුන්ගේ ලන්ඩන් නියෝජිතයා වශයෙන් කටයුතු ද කළේය. 1923 දී ඔහු ලංකා ජාතික කොන්ග්‍රසයේ සභාපති ධූරයට පත්විය.
බ්‍රිතාන්‍යය යටත්විජිත සමයේ පැවැති සීමිත නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය නියෝජනය කරමින් ඔහු ලංකා ව්‍යවස්ථාදායක සභාවට තේරී පත්විය. සර් ජේම්ස් පීරිස්ගේ අභාවයෙන් පසුව ඩී. බී. ජයතිලකයන් 1930 දී ව්‍යාවස්ථාදායක සභාවේ උප සභාපතිධූරයට පත් වන අතර ඔහු ලාංකිකයන්ගේ දේශපාලන නායකයා විය. ලංකා ව්‍යවස්ථාදායක සභාවේ නිළ බලයෙන් සභාපති වූයේ ආණ්ඩුකාරවරයාය. ඩොනමෝර් කොමිසමේ නිර්දේශ යටතේ ස්ථාපිත කරන නව ව්‍යවස්ථාදායක ව්‍යුහය වන ලංකා ජාතික සභාවට 1931 දී ජයතිලකයන් නිතරඟයෙන් තේරී පත්වන්නේ කැළණිය ආසනය නියෝජනය කරමිනි. ඔහු ලංකා ජාතික සභාවේ සභා නායක ධූරයට පත්වන අතර ස්වදේශ කටයුතු ඇමැතිවරයා වශයෙන් ද කටයුතු කළේය. ආණ්ඩුකාරවරයා බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයේ ප්‍රධානියා බැවින් ලංකා ජාතික සභාවේ ප්‍රධානියා වූ සභා නායක ධූරය රටේ අගමැති ධූරයට සමාන විය. 1936 දී පැවැත්වෙන දෙවන ලංකා ජාතික සභා මැතිවරණයෙන් ද නිතරඟයෙන් පත්වන ජයතිලකයන් යළිත් සභා නායකයා වශයෙන් කටයුතු කළේය.
නිදහස් සටනේ පුරෝගාමී නායකයෙකු, බෞද්ධ පුනර්ජීවයේ ප්‍රධානියා මෙන්ම සිංහල, පාලි, සංස්කෘත භාෂා ප්‍රාඥයකු වූ ඩී. බී. ජයතිලක පළමු සහ දෙවන ජාතික සභාවේ සභානායක ධූරය දැරීම මගින් ඔහු නිදහස් ශ්‍රි ලංකාවේ පළමු රාජ්‍ය නායකයාවීමේ සියලු සුදුසුකම් සපුරා සිටියේය.
ඔහු කිසිවිටක සිංහල බෞද්ධ අන්තවාදී නායකයකු නොවීය. බ්‍රිතාන්‍ය යටත්විජිතයෙන් ශ්‍රී ලංකාව නිදහස් කරගැනීමේ සටනේදී ජයතිලකයන් දෙමළ මුස්ලිම් නායකයන් සමග එක්සත්ව සමගියෙන් කටයුතු කළ අතර පොදු ජාතික අවශ්‍යතාවයන් සියලු ජාතික සහ ආගමික එක් පෙරමුණකට ගෙන ඒමේ හැකියාව ඔහු සතුවිය. ජයතිලකයෝ සිංහල ජාතිකවාදියකු වුවද ජාතිවාදියකු නොවූහ. දූපත් මානසිකත්වයේ හිර නොවූ ලෝකයට විවෘත වූ මධ්‍යස්ථ නායකයෙක් විය. මහාචාර්ය කේ. එම් ද සිල්වාගේ "A History of Sri Lanka" කෘතියේ සඳහන් වන පරිදි ජයතිලකයන් බ්‍රිතාන්‍ය පාලකයන්ගේ විශ්වාසය දිනාගත් වඩාත්ම විශ්වාසවන්ත නායකයා මෙන්ම මෙරට බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ අසහාය නායකයාය (පිටුව 32).
ලංකාවට එල්ල කළ ජපන් ප්‍රහාරය..
ඩී. බී ජයතිලක වචනයේ පරිසමාර්ථාර්ථයෙන්ම සැබෑ ජාතික නායකයෙකු විය. දෙවන ලෝක සංග්‍රාමය පැවති එම වකවානුවේ ජපානය ශ්‍රී ලංකාව ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරයෙන් පසුව ජයතිලකයන් රටට ලබාදුන් නායකත්වය මෙයට එක් නිදසුනකි. 1942 අප්‍රේල් 5 වන දා එනම් පාස්කු ඉරිදා කොළඹ නගරය, වරාය ඇතුළු ස්ථාන ඉලක්ක කරගනිමින් උදෑසන 7:30 ට එල්ල වූ ජපන් ගුවන් ප්‍රහාරයන් හේතුවෙන් රටම භීතියෙන් ඇලලී ගියේය. අප්‍රේල් 9 වන දා ත්‍රිකුණාමලය වරාය ඉලක්ක කරගනිමින් ජපාන ගුවන් ප්‍රහාර එල්ල විය. එම ප්‍රහාරයෙන් පමණක් ජීවිත හත්සීයක් විනාශ විය.
මෙම ජපන් ගුවන් ප්‍රහාරයන්ගෙන් භීතියට පත් වූ ජනතාව කොළඹ අත්හැර ආරක්ෂාව සඳහා ග්‍රාමීය ප්‍රදේශ බලා ගියහ. රටේ ආර්ථික මධ්‍යස්ථානය වූ කොළඹ සම්පූර්ණයෙන්ම කඩා වැටුණි. කොළඹ වරායට එල්ල වූ ප්‍රහාරය හේතුවෙන් බියට පත් වරාය සේවකයෝ පලාගියහ. රටට ආනයනය කළ අත්‍යවශ්‍ය භාණ්ඩ වරායෙන් ගොඩබෑමට නොහැකි විය. රට තුල ආහාර හිඟයක් නිර්මාණය වෙමින් පැවතිණි. රටේ ව්‍යවස්ථාදායකයේ නායකයා වශයෙන් ඔහු වහාම අර්බූදය විසඳීමට මැදිහත් විය. පලාගිය වරාය සේවකයන් වෙනුවට ස්වේච්ඡාවෙන් කටයුතු කිරීමට ඉදිරිපත් වූ තරුණ පිරිසක් මෙහෙයවමින් ජයතිලකයන් වරායේ බඩු බෑමේ කටයුතු මෙහෙයවීය. සිය ජීවිත පවා අනතුරේ තබමින් සිය ගණනක් ජනතාව ජයතිලකන් වටා ඒකරාශී වූයේ ඔහු පිළිබඳව පැවති දැඩි විශ්වාසය හේතුවෙනි.
ජපානය බුරුමය අත්පත් කර ගැනීමත් සමග ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට සහල් ආනයනය කළ ප්‍රධාන මාර්ගය වැසීගියේය. ඉන්දියානු සාගරයේ නාවික ගමනාගමනය ඉලක්ක කරගත් ජපන් ගුවන් ප්‍රහාර හේතුවෙන් තත්ත්වය තවත් සංකීර්ණ විය. ඉන්දීයාවේ බෙංගාලයෙන් ශ්‍රී ලංකාවට සහල් ආනයනය කළේය. එහෙත් බෙංගාලයේ කෘෂිකාර්මික නිෂ්පාදන පහළ වැටීමත් , ආහාර හිඟයත් හේතුවෙන් ලංකාවට සහල් ඇතුළු කෘෂි නිෂ්පාදන අපනයන කිරීම ඉන්දීය බලධාරීන් අත්හිටුවීය. දෙවන ලෝක සංග්‍රාමය හේතුවෙන් ඉන්දියාවේ සිටි බ්‍රිතාන්‍යය බලධාරීන් අනුගමනය කළ ආහාර සුරක්ෂිතතා වැඩ පිළිවෙල හේතුවෙන් තත්ත්වය වඩාත් දරුණු විය. ඉන්දියාව සමඟ ඇති වූ මෙම ප්‍රශ්න විසඳාගැනීමට මැදිහත් වන ලෙසට ආණ්ඩුකාරවරයා සභානායක ඩී. බී ජයතිලකගෙන් ඉල්ලා සිටියේය. ජයතිලකයන් පිළිබඳව බ්‍රිතාන්‍ය මෙන්ම ඉන්දීය බලධාරීන් අතර ඉහළ පිලිගැනීමක් පැවතීම ඔහුට මෙම රාජත්‍රාන්ත්‍රික වගකීම පැවරීමට හේතුවිය. ඉන්දීයාව බලා පිටත්ව ගිය ජයතිලකයන් දීර්ඝ සාකච්ඡා වට කිහිපයකට පසුව නැවත ශ්‍රී ලංකාවට සහල් සහ අනෙකුත් කෘෂි භෝග ලබා ගැනීමේ එකඟතාවයක් ඇති කරගත්තේය.
ඩී.එස්ට ජයතිලකයන් සමග හැරෙන්නට නොහැකි නමුත්..
සභානායක ඩී. බී ජයතිලක නිදහස් ලංකාවේ පළමු රාජ්‍ය නායකයා වශයෙන් මතුවීම නොවැළැක්විය හැකි විය. ඔහුට තිබූ සුදුසුකම් එවකට ලංකා ජාතික සභාව නියෝජනය කළ කිසිවෙකුට නොතිබිණ. ඔහුට යම් කිසි හෝ තරඟයක් දීමට හැකිව තිබුණේ ඩී. එස් සේනානායකට පමණි. ඒ ඔහුගේ නව පවුල් බලයේ ප්‍රතිඵලයක් වශයෙනි. එය සම්පූර්ණයෙන්ම මුදල පදනම්වූවකි. සේනානායක පවුල නව ධනපති නියෝජනයක් වශයෙන් මතුවූ ආකාරය පිළිබඳ අපූරු විස්තරයක් මහාචාර්ය කුමාරි ජයවර්ධනගේ "Nobodies to somebodies" කෘතියේ දැක්වෙයි. අධ්‍යාපනය, බුද්ධිමය පදනම, හෝ සමාජ පදනම සළකන විට ඩී. එස් සේනානායකට ජයතිලකයන් සමඟ හැරෙන්නට ද නොහැකිය. ඩී. එස්. යනු ගමේ චංඩියෙක්ය. එහෙත් ඔහු අංක එකේ දේශපාලන "ගේම්කාරයෙකි". දියරෙද්දෙන් බෙල්ල කැපීමෙහි සහ දියයටින් ගින්දර ගෙනයෑමේ අතිදක්ෂයෙකි. ඩී.බී. ජයතිලක සමග කරට කර තරඟයකින් ජය ගතනොහැකි බව අවබෝධ ගත් ඩී. එස්, අනුගමනය කළේ කකුල් මාට්ටු දැමීමේ උපක්‍රමයයි. ජයතිලකයන්ගේ මතුවීම නොරිස්සූ ප්‍රභූ කණ්ඩායමක් ද ඒ දිනවල සිටියේය. ඔවුන්ගෙන් ඇතැමෙක් හුදු පෞද්ගලික කුඩුකේඩුකම් හේතුවෙන් ජයතිලක විරෝධීන් වී සිටියහ. තවත් පිරිසක් ජයතිලකගේ මධ්‍යස්ථ සිංහල බෞද්ධ මතවාදය නොරිස්සූ සිංහල බෞද්ධ අන්තවාදීහු වූහ. මෙම කණ්ඩායම් දෙකම පිටුපස සිට ඔවුන් මෙහෙය වූයේ ඩී. එස්. සේනානායකය.
ජයතිලකයන්ව ඉන්දියාවට තල්ලු කර දැමීම..
ඉන්දියාව සමඟ කටයුතු කිරීමට ලංකාවේ ස්ථිර නියෝජිතයකු එහි සිටිය යුතු බවට අදහසක් රාජ්‍ය සභාව තුල නිර්මාණය විය. මෙම අවස්ථාව උපයෝගී කරගනිමින් ඩී. බී. ජයතිලකයන්ව ලංකා දේශපාලන චිත්‍රයෙන් ඉවත් කිරීමට ඩී. එස් සේනානායක ක්‍රමන්ත්‍රණය කළේය. ජයතිලකයන්ව ඉන්දියාවට තල්ලු කර දැමීම එම ක්‍රමන්ත්‍රණ විය. ඉන්දියාවේ ස්ථිර නියෝජිතයා ජයතිලකයන් පත් කළ යුතුය යන අදහස ස්ථාපිත කිරීමට ඩී. එස් මෙන්ම ජයතිලක විරෝධී කණ්ඩායම් කටයුතු කළේය. ආණ්ඩුකාරවරයා ද එම මතයට නම්මා ගත්තේ ඩී. බී ජයතිලකයන් එයට පෙර ඉන්දියාව සමඟ සිදු කළ රාජ්‍ය තාන්ත්‍රික ගණුදෙනුහි සාර්ථකත්වය ගෙනහැර දක්වමිනි. රට වෙනුවෙන් ජයතිලකයන් එම තනතුර භාර ගතයුතුය යන මතය ඩී. එස්. ඇතුළු කණ්ඩායම ස්ථාපිත කළේය. ආණ්ඩුකාරවරයාගේ මෙන්ම ජාතික සභාවේ ඉල්ලීම හේතුවෙන් ජයතිලකයන් අවසානයේ දී ඉන්දියාවට යෑමට එකඟ විය. 1942 නොවැම්බර් මාසයේදී ඩී.බී ජයතිලක කැළණියේ සිය රාජ්‍ය සභා අසුනෙන්ද ඉල්ලා අස්වූයේ දේශපාලනයට සමුදෙමින්ය. ඩී. එස් සේනානායක වහාම සභා නායක ධූරය ඩැහැගත්තේය. සෙස්ස ඉතිහාසයයි.
1943 අගෝස්තුවේ දී ඉන්දියාවට ගිය ඩී. බී ජයතිලක 1944 මැයි මාසයේදී බැංගලෝරයේදී මියයන්නේ හෘදයාබාධයකින්ය. ඔහු සිය අවසාන කාලය ඉමහත් කලකිරීමෙන් දිවිගෙවූ බව ප්‍රසිද්ධ රහසකි. මධ්‍යස්ථ බුද්ධිමත්, සිංහල බෞද්ධ නායකයකු වන ඩී. බී ජයතිලකව කපා දමන්නේ තවත් සිංහල බෞද්ධ යැයි කියාගන්නා පිරිසක් විසින් වීම විශේෂත්වයකි.
ජයතිලකයන් විනාශ කිරීමෙන් දශක 7 කට පසු චම්පික..
ඩී. බී. ජයතිලකයන්ගේ දේශපාලන ජීවිතය විනාශ කර දශක හතකට පසු අද සිදුවන්නේ ද එයට සමාන ක්‍රියාදාමයකි. මෙවර ඉලක්කය පාඨලී චම්පික රණවකය. ජයතිලක සහ චම්පිකගේ සමාජ, ආර්ථික දේශපාලන පසුබිම සමාන නැත. එහෙත් දෙදෙනාට එක් මහා පොදු සාධයක් වෙයි. එනම් දෙදෙනාම ඒ යුගයේ ප්‍රමුඛතම මධ්‍යස්ථ බෞද්ධ නායකයන්වීම ය.
චම්පික පහළ මධ්‍යම පංතික පදනමක් සහිත චරිතයකි. ඔහු ඩී. බී ජයතිලක මෙන් රිදී හැන්ද මුවේ රඳවා ගෙන උපන්නෙකු නොවේ. ඔහු නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් සහ සිය අසීමිත දක්ෂතා හේතුවෙන් ඉදිරියට පැමිණි චරිතයකි. චම්පිකගේ කුඩා කළ ජීවිතය ආර්ථික දුෂ්කරතාවයන් පිරුණ පරිසරයකි. එහෙත් අධ්‍යාපනය හරහා ඔහු සියලු බාධක ජය ගත්තේය. පහේ ශිෂ්‍යත්ව විභාගය සමත්ව හොරණ තක්ෂිලාවට එන චම්පික උසස් පෙළ ඉහළින්ම සමත්ව මොරටුව විශ්ව විද්‍යාලයට ඇතුළුවේ. ඔහු වෘත්තීයවේදියෙකු වශයෙන් විදුලි ඉංජිනේරුවෙකි.
පාසැල් සමයේ සිට දේශපාලනයට සම්බන්ධ වන චම්පික විශ්වවිද්‍යාලයේ දී ජවිපෙ ක්‍රියාකාරිකයකු ලෙස මතුවේ. 1988 දී එජාප විරෝධී සන්ධානයක් බිහි කිරීම සඳහා රුක්මන් සේනානායක මහතාගේ වුඩ්ලන්ඩ්ස් නිවසේ පැවැත්වෙන සාකච්ඡාවන්හිදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නියෝජනය කරමින් සහභාගී වන්නේ චම්පිකය. ජවිපෙ කැරැල්ලේ අවසාන භාගයේ දී ජවිපෙන් ඉවත් වන චම්පික නලීන් ද සිල්වාගේ ‘ජාතික චින්තන’ කණ්ඩායම සමග එක්වෙයි. ඒ වකවානුවේ ජවිපෙ නායකයෙකු යැයි සැකකර ඔහුව පැහැරගෙන ගොස් කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨ වධකාගාරයේ රඳවා ගෙන සිටියේය. තමා සිටින්නේ ජවිපෙ විරෝධී ස්ථාවරයක බව වධකයන්ට ඒත්තු ගැන්වීමෙන් පසුව චම්පික ආශ්චර්යකින් මෙන් ජීවිතය බේරා ගත්තේය. ජාතික චින්තනයෙන් විතැන් වී මාලිංග සෙනවිරත්න සහ අතුරලියේ රතන හිමි සමඟ එක්ව චම්පික ‘ජනතා මිතුරෝ’ නම් හරිත දේශපාලන සංවිධානයක් පිහිටුවා ගනියි. ඉන්පසුව ‘සිහල උරුමය’ පිහිටුවීමට මූලික වන චම්පික ‘ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය’ නමින් එල්.ටී.ටී.ඊ විරෝධී මධ්‍යස්ථානයක් ස්ථාපිත කරයි. සිංහල බෞද්ධ ආධිපත්‍යය තහවුරු කිරීමේ අරමුණින් භික්ෂූන් වහන්සේ පාර්ලිමේන්තු යැවීම සඳහා ඔහු ‘හෙල උරුමය’ නිර්මාණ කරයි.
චම්පිකගේ මෙම දේශපාලන රූපාන්තරණයන්හි ප්‍රධාන පොදු සාධකය වන්නේ සිංහල බෞද්ධ තනි දේශපාලන බලයක් රට තුළ ස්ථාපිත කිරීමයි. නිදහසට පෙර සිටම සිංහල බෞද්ධ බලයක් ස්ථාපිත කිරීමේ අදහස මතවාදී වශයෙන් පැවතිය ද එය ප්‍රායෝගිකව මහ පොලොවේ ස්ථාපිත කිරීමට නොහැකි විය. එම අභියෝගය ජය ගත්තේ චම්පිකය. ඔහු ඒ සඳහා අවශ්‍ය මතවාදී ප්‍රවාහය ජය ගැනීම සඳහා විවිධ කෘති ජනගත කළේය. ඒ අතරින් "සිහල අභියෝගය", "කොටි විනිවිද දැකීම", "නැගෙනහිර සිහල උරුමය", "ත්‍රස්ත විරෝධී ජාතික සැලැස්ම", සහ "අල් ජිහාඩ්-අල් කයිඩා: ඉස්ලාමීය මූලධර්මවාදයේ අතීතය, වර්තමානය සහ අනාගතය" ප්‍රධාන වෙයි.
චම්පිකගේ පරිණාමය..
චම්පිකගේ දේශපාලන ගමනේ දැකිය හැකි එක් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ආරම්භයේ සිංහල බෞද්ධ මුලධර්මවාදී මතවාදයේ සිට මධ්‍යස්ථ සිංහල බෞද්ධ නායකයකු වශයෙන් පරිණාමය වීමයි. ඔහු අද නායකත්වය ලබාදෙන හෙල උරුමයේ විවිධ මතවාදී පදනම් සහිත චරිත දක්නට ලැබේ. චම්පිකගේ සමීපතම දේශපාලන සගයා වන අශෝක අබේගුණවර්ධන යනු කොමියුනිස්ට් පක්ෂයේ නායකයකු වූ හැරී අබේගුණවර්ධනගේ පුත්‍රයාය. 1994 පොදු පෙරමුණු රජයේ ප්‍රබල ඇමැතිවරයකු වූ මහාචාර්ය ජී. එල්. පීරිස් ගේ සම්බන්ධීකරණ ලේකම් මෙන්ම "සුදු නෙලුම" ව්‍යාපාරයේ ප්‍රධානියෙක් වූ කරුණාරත්න පරණවිතාන දැන් හෙල උරුමයේ නියෝජ්‍ය නායකයාය. ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදීම වෙනුවෙන් පෙනී සිටින්නන් ඝාතනය කළ යුතු බව වරෙක පැවසූ අනුරුද්ධ ප්‍රදීප් අද චම්පිකගේ දකුණු අතකි. මෙම විවිධ චරිත ඒකරාශී කරගනිමින් චම්පික අද මධ්‍යස්ථ සිංහල බෞද්ධ බලවේගයකට නායකත්වය දෙමින් සිටියි. ජාතිකවාදී මධ්‍යම පංතිය ආමන්ත්‍රණය කරයි.
කලෙකට පෙර දෙමළ ජාතික සන්ධානයට දැඩිව පහරදුන් චම්පික පසුකාලීනව එහි නායක ආර්. සම්බන්ධන් මහතා සමඟ සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියේය. පසුගිය දෙසැම්බර් 6 වන ඉරිදා "රාවය" පුවත්පතට සම්මුබ සාකච්ඡාවක් ලබාදෙන චම්පික කියාසිටින්නේ යහපාලන ආණ්ඩුව කළ යුතුව තිබුණේ දෙමළ ජාතික සන්ධානයට කැබිනට් ඇමැතිධුර කිහිපයක් ලබාදී ආණ්ඩුවට සම්බන්ධ කරගනිමින් උතුරු නැගෙනහිර ප්‍රදේශ සංවර්ධන කිරීම බවයි. දෙමළ ජනතාවගේ ප්‍රධාන නියෝජිතයාවූ දෙමළ ජාතික සන්ධානය බලයේ මධ්‍යයට සම්බන්ධ කර ගැනීම ප්‍රගතිශීලී අදහසකි. සැබැවින්ම එක්සත් ජාතික පෙරමුණ, ජාතික ආණ්ඩුව නිර්මාණය කරගතයුතුව තිබුණේ දෙමළ ජාතික සන්ධානය සමඟ මිස සිරිසේනගේ ශ්‍රීලනිප සමඟ නොවේ. (මෙය එකල කීවේ ලංකා ඊ නිව්ස් පමණි)
රාජපක්‍ෂ පවුල් සමාගමට අභියෝග කළ හැකි එකම පුද්ගලයා...
කොටි සංවිධානය පරාජය කර රට එක්සේසත් කළ වීරයන් මෙන්ම සිංහල බෞද්ධ දේශපාලනයේ එකම නියෝජිතයා වශයෙන් අද පෙනී සිටින්නේ රාජපක්‍ෂ පවුල් සමාගමයි. එහෙත් වසර 2005දී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිධූරයට පත්වන විට ඔහුට කොටි සංවිධානය පරාජය කිරීමේ වුවමනාවක් හෝ සිංහල බෞද්ධ ජනතාවගේ එකම නියෝජිතයා වශයෙන් පෙනී සිටීමට අවශ්‍ය නොවීය. ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයේ දී මෙන්ම ඉන්පසුව කොටි සංවිධානය යුධමය වශයෙන් පරාජය කිරීම සහ සිංහල බෞද්ධ දේශපාලන බලයක් ස්ථාපිත කිරීමේ මතවාදය සමාජගත කළේ චම්පික රණවකය. ජනාධිපති මහින්ද රාජපක්ෂට අවශ්‍ය මතවාදී මගපෙන්වීම මෙන්ම බලපෑම කළේ ඔහුය. ඒ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ කිහිප අවස්ථාවක ප්‍රසිද්ධියේ පිළිගත්තේය (ජවිපෙ ද කොටි සංවිධානය පරාජය කිරීමට බලපෑම් කළේය).
චම්පිකගේ පහනින් එළිය දුටු රාජපක්‍ෂ පවුල් සමාගම අනෙක් කවරෙකුටත් වඩා චම්පිකගේ දක්ෂතා සහ ඔහුගේ බලපෑම් ගැන නිසි තක්සේරුවක් ඇති බවට සැකයක් නැත. චම්පික සිංහල බෞද්ධ මූලධර්මවාදයෙන් විතැන්වන විට රාජපක්‍ෂ ලා එයට කර ගැසූවේ සිංහල බෞද්ධයන්ගේ සැබෑ උරුමක්කාරයන් ලෙසයි. රාජපක්ෂ පවුල් සමාගම අද සිටින්නේ සිංහල බෞද්ධ ජාතිවාදයේ උපරිම මට්ටමේය. රාජපක්‍ෂ සමාගමේ දේශපාලන පදනම වන සිංහල බෞද්ධ සූත්‍රයට අභියෝග කළ හැකි පුද්ගලයා චම්පිකය. ඔහු දැනට සිටින ප්‍රමුඛතම මධ්‍යස්ථ සිංහල බෞද්ධ නායකයාය. සිංහල බෞද්ධ ජාතිකවාදී මධ්‍යම පංතිය ආමන්ත්‍රණය කළ හැකි නායකයා ඔහුය.
මහ බැංකු හොරු අල්ලන බවට වසර හතරකට අධික කාලයක් පොහොට්ටුවෝ පරම්බෑහ. පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් පරසක්වළ ගසන බවට වේදිකා දෙදරවූහ. එහෙත් ඒ සියල්ල පසෙක තබා චම්පිකව වසර හතරකට පෙර සිදුවූ රථවාහන අනතුරකට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කළේය. රාජපක්ෂ පවුල් සමාගම තම දේශපාලන සතුරා අපූරුවට ගණනය කර තිබේ. තම සිංහල බෞද්ධ පදනමට අභියෝග කළ හැකි වඩාත් ශක්තිමත් චරිතය වශයෙන් ඔවුන් චම්පිකව හඳුනාගෙන ඇත. ඔහුව දේශපාලන වශයෙන් විනාශ කිරීම ඔවුන්ගේ එකම අභිප්‍රාය බවට සැකයක් නැත. සිංහල බෞද්ධයන්ගේ එකම නියෝජිතයා වශයෙන් පෙනී සිටින රාජපක්ෂ පවුල් සමාගම තමන්ට තර්ජනයක් විය හැකි තවත් සිංහල බෞද්ධ නායකයකු දං ගෙඩියට යැවීමට කැසකවමින් සිටියි.
දෙවනුව එක්සත් ජාතික පෙරමුණට සිටින කැපීපෙනෙන සටන්කාමී නායකයා චම්පිකය. සැබෑ නායකයන් මතුවන්නේ පරාජයන් අභියෝග ඉදිරියේය. පසුගිය ජනාධිපතිවරණ පරාජයෙන් පසු සජිත් ප්‍රේමදාස සැඟවෙනවිට එක්සත් ජාතික පෙරමුණු ජනතාවට බලාපොරොත්තුවක් ලබාදුන්නේ පාඨලී චම්පික රණවකය. මැතිවරණ පරාජයෙන් පැය හතලිස් අටක් යෑමට ප්‍රථම ඔහු මැතිවරණ පරාජය පිළිබඳ සිය විශ්ලේෂණ ඉදිරිපත් කරමින් වීඩියෝ පණිවිඩයක් අන්තර් ජාලයට මුදාහැර තිබිණ. එහි විශේෂත්වය වන්නේ ලක්ෂ පනස්හයකගේ බලාපොරොත්තු බිඳ නොදමා ඔවුන්ට බලාපොරොත්තුක් ලබා දීමය. යළි දේශපාලන බලය සඳහා සටන් කිරීමට මගපෙන්වීමක් ලබාදීමය. පරාජය ජයග්‍රහණයක් බවට පත්කර ගැනීමේ ගම්‍යතාවය පැහැදිලි කිරීමය.
සජිත් ප්‍රේමදාස පරාජයට මුහුණදීමට නොහැකිව සැඟවී සිටියදී එජාප නායක රනිල් වික්‍රමසිංහ ගෝඨාභයගේ ජයග්‍රහණයේ සුභපතන්නෙකු වී සිටියේය. එජාපයේ අනෙකුත් දේශපාලන ඩීල්කරුවෝ පොහොට්ටුවේ හූ හඬ මධ්‍යයේ ගෝඨාභයට සුභ පැතීමට පොරකෑහ. එහෙත් මැතිවරණ පරාජයෙන් අකම්පිතව ඒ පිළිබඳව විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීමට හැකිවූයේ චම්පිකට පමණි. ඔහුව විනාශ කිරීම හරහා රාජපක්‍ෂ පවුල් සමාගමට හිමිවන්නේ දැවැන්ත දේශපාලන වාසියකි. ඒ පිළිබඳ සැකයක් ඇත්නම් චම්පික නව වසරේ අභියෝග පිළිබඳව විශ්ලේෂණය කරන වීඩියෝව පහතින් නරඹන්න
අනුභාවනන්ද
anubhawananda1@gmail.com
චම්පිකගේ 2020 දැක්ම සහිත වීඩියෝව පහතින්
---------------------------
Comments
Post a Comment