"ජනවරම පසෙකලා මර්දනය දොරකොඩට එන බැරැක්ක රටක් හදමින් ඉන්නවා" -අහවර කළ නඩුවක් යලි අදිමින් විදෙස් ගමන් තහනම් කිරීම ගැන චම්පික කියයි (Video)
Syndicated from lankaenews,
(ලංකා ඊ නිව්ස් -2019.දෙසැ.14, ප.ව.10.30) දේශපාලන පළිගැනීම්වලට කිසිම ආකාරයකට බිය වෙන්නෙ, පැකිලෙන්නෙ නෑ...! ආණ්ඩුවට අභියෝගයක් වියහැකි දේශපාලන නායකයින් දඩයම් කිරීම අරඹලා...!! පාස්කු ඉරිදා ප්‍රහාරකයින්ට, මහ බැංකු බැඳුම්කර වංචාකරුවන්ට අනිවාර්යෙන්ම දඬුවම් පමුණුවන බවට ජනතාව පොරොන්දු ලබාදෙමින්, දේශපාලනමය වශයෙන් මාධ්‍ය හරහා කූට නාටක රඟ දක්වා බලය ලබාගත් වත්මන් ආණ්ඩුව, ලබාගත් ජනවරම ගැන තැකීමක් නොකොට නඩු කටයුතු අවසන් කර ඇති සිදූවීම් පවා නැවත තම වාසියට හරවා ගනිමින් දේශපාලන පලිගැනීම් සඳහා කටයුතු කරමින් සිටින බව, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක අවධාරණය කර සිටී.
ඔහු මේ බව සඳහන් කර සිටියේ, මීට වසර හතරකට පමණ ඉහතදී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන්, ඔහුගේ සහ රියදුරුගේ විදේශ ගමන් බලපත්‍ර අත්හිටුවීමට ඊයේ(13) දින අධිකරණය අවසරදීම සම්බන්ධයෙන් අද(14) දින බත්තරමුල්ල ජාතික හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පවත්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය චම්පික රණවක..
"ඔබ සියලු දෙනාම ඉතා හොඳින් දන්නවා, ඊයේ(13) දින මාධ්‍ය වාර්තා කළා මට සහ මාගේ රියදුරාට විදෙස් ගමන් තහනමක් පනවන්න අධිකරණය අවසර ලබාදීල තියෙනව කියල. මීට අදාල සිදුවීම 2016 පෙබරවාරි 28 වෙනිදා රාත්‍රියේ 9.45 ත් 10.00 ත් අතර පාර්ලිමේන්තු පාරේ සරණ පාර ආසන්නයේ සිදුවෙච්ච සිදුවීමක්. මේ සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් කරල නඩු අංක 791/ 7 යටතේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධීකරණයේ නඩු පැවරීමක් රාජගිරිය පොලීසිය විසින් සිදුකළා. එහිදී පැමිණිල්ල සනාථ කිරීම සඳහා රාජගිරිය පොලීසියේ නිලධාරීන් ඉදිරිපත් කලා ඊට අදාල වාර්තා. එම වාර්තාවේ පැහැදිළිව සඳහන් කරල තියෙනව,
ඇත්ත වාර්තාව මෙන්න..
වාර්තාවේ මෙසේ දැක්වේ.... '2016.02.28 වන දින පැය 21.55 ට පමණ ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ ජනාධීපති විද්‍යාලය අසළ රිය අනතුරක් සිදුවී ඇති බවට ලද තොරතුරක් අනුව, පොලිස් කොස්තාපල් 89457 ලක්මාල් නිලධාරියා ඇතුළු නිලධාරීන් එම ස්ථානයට ගොස් විමර්ශනයකර විභාග සටහන් ඇතුළත්කොට ඇත. මේ අනතුර බත්තරමුල්ල දෙස සිට බොරැල්ල දෙසට ධාවනය වූ KP – 7545 දරන රථය ජයවර්ධනපුර මාර්ගයේ ජනාධිපති විද්‍යාලය හන්දිය අසලදී සරණ මාවතට මාර්ගයේ දකුණට හරවා යාමේදී බොරැල්ල දෙස සිට බත්තරමුල්ල දෙසට ධාවනය වූ BAJ – 2011 දරණ යතුරු පැදිය ජීප් රථයේ වම් පස දකුණු රෝදයට පිටුපස ගැටීමෙන් පැදිකරු හා පසුපැදිකරු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කර ඇත. මෙම මාර්ගයේ එක් දෙසකට මංතීරු තුනකින් කාපට් කරන ලද ලිස්සන සුළු නොමැති මාර්ගය මැද දූපතකින් යුක්ත, මාර්ගය මැද දූපතේ විදුලි පහන් ආලෝකයෙන් මාර්ගය ඉතා පැහැදිළිව දර්ශනය වෙන, ඉදිරි මීටර් 100 ට වඩා පැහැදිළිව පෙනෙන, අකාරයට පැවතී ඇති අතර අනතුරු සිදුවන වේලාව අනුව වාහන තදබදයක් නොමැති අවස්ථාවකි. ප්‍රධාන මාර්ගයේ පැමිණි ජීප් රථය දකුණට හරවා එම පැත්තේ තුන්වන මංතීරුව පසුකර යන අවස්ථාවේ බොරැල්ල දෙස සිට පැමිණි යතුරුපැදිය ජීප් රථයේ වම්පස පසුපස රෝදයට පිටුපසින් යතුරු පැදියේ පැදිකරු වන සංදීප් සම්පත් මේ වන විට තුවාල ලබා ප්‍රකාශයක් ලබාගැනීමට නොහැකිව සිටී. අනතුරට පත් ජීප් රථයේ රියදුරු අනතුරෙන් පසුව ජීප්රථය එම ස්ථානයෙන් ඉවත්කර රථයද සමඟ බොරැල්ල පොලිස් ස්ථානයට ගොස් බාරවී ඇත. එම ස්ථානයේ රියදුරු එම්. දිලුම් තුසිත කුමාර යන අය අත්අඩංගුවට ගෙන අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර රියදුරු බීමත්ව නොමැති බව සනාථ කර ඇත. රිය අනතුරක් කර දෙදෙනෙකුට තුවාල සිදුකිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඇත.' (උපුටා ගැනීම අවසන්)
මෙම සිදුවීම් ඒ කාලෙ එක්තරා මාධ්‍ය ආයතනයක හිමිකරුවෙක් හා වර්තමාන රජයේ ප්‍රධාන දේශපාලඥයෙක් මේ වටා විශාල කතාවක් ගෙතුව. ඒක තමයි මගේ නිල රථය විසින් ඒ කාලෙ තරුණයෙක් යටකොට පළා ගියා කියල. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරපු සියලු දෙනාමත් දන්නව. ඒ වගේම මේ ගැන රස පරීක්ෂක වාර්ථාවකුත් ගත්ත. ඉන් ඉතාම පැහැදිලි වුණා රථයේ පිටුපස වදින්නෙ. තුන්වන මංතීරුව පසුකරගෙන සරණ මාවතට හරවල යනකොට වාහනේ පිටුපස්සෙ ඇවිල්ල තමයි මේ අධිවේගී යතුරු පැදිය (1000 cc ට වැඩි) හැප්පෙන්නෙ. ඒ නිසා කිසියම් ආකාරයකට චේතාන්විතව මෙම වාහනයෙන් යතුරුපැදිකරුවෙක් යටකොට පලාගියේ නැති බව පැහැදිළියි. ඒ බව රස පරීක්ෂක වාර්තාවෙ ඉතාමත්ම පැහැදිළිව සඳහන් වෙනව. මේ සම්බන්ධයෙන් එදින රාත්‍රී 12.30 ට පමණ රාජගිරිය පොලීසියට මොහොමඩ් උවයිස් සිද්ධික් සහ ගයාශාන් විදුර පැහැදිළිව සාක්ෂි සටහන් දීල තියෙනව. හැබැයි දවස් 06 කට පස්සෙ මේ සියලු කතා වෙනස් කරල දිව්රුම් ප්‍රකාශ මගින් අධිකරණයට ඉදිරිපත් වෙනව. එහිදී ඔවුන් කියනව මේ රථය පැදෙව්වෙ රියදුරා නෙමෙයි පාඨලී චම්පික රණවක වන මමයි කියල.
ඒ අනුව විනිශ්චයකාරවරයා නඩුවාර ගණනාවක් කැඳවා විවිධාකාරයේ නියෝග ලබාදුන්නා. අද ජාතික පුවත්පතක් මේ සම්බන්ධව වාර්තා කරල තියෙනව, ඒක එක්තරා ආකාරයකට පාර්ශවීය සටහන් කිරීමක්. මොරටුව විශ්වවිද්‍යාලය විසින් CCTV දර්ශන පරීක්ෂා කළ බවත්, ජංගම දුරකථන වාර්තා විමර්ශනය කිරීමෙන් ඊට මා කිසිදු ආකාරයකට සම්බන්ධයක් නොමැති බවට අනාවරණය වූ බවත්, ඒ අනුව මාගේ සම්බන්ධයක් නොමැති හෙයින් මා නඩුවෙන් ඉවත් කළ බවත්, අවසානයේ රියදුරාට දඩයක් පනවා නඩුව හමාර කළ බවද එහි සඳහන් කර නෑ.
මෙමඟින් ඉතාමත්ම බරපතල විදියට ජනතාව නොමඟ යවන ආකාරයට තමයි ඉදිරිපත් කරල තියෙන්නෙ. දේශපාලනමය වශයෙන් මාධ්‍ය හරහා කූට නාටක රඟ දක්වා බලය ලබාගත්ත පිරිස හදනවා අපිවත් දේශපාලන වශයෙන් විනාශ කරන්න මේ අකාරයට.
දේශපාලන පළිගැනීම්වලට අපි බිය වෙන්නෙ, පැකිලෙන්නෙ නෑ
වත්මන් ආණ්ඩුව බලයට ආවෙ, පාස්කු ඉරිදා ප්‍රහාරකයින්ට, මහ බැංකු බැඳුම්කර වංචාකරුවන්ට දඬුවම් දෙනව කියල. එහෙම ඇවිත් අවුරුදු 04 කට කලින් සිදුවෙච්ච රිය අනතුරක් පස්සෙ හඹා යාමෙන් සහ ඒ හරහා තමන්ට අභියෝගයක් වෙන්න පුලුවන් දේශපාලන නායකයින් දඩයම් කිරීම තමයි ඔවුන්ගේ අදහස, අභිලාෂය හා දුෂ්ඨ අරමුණ. ඒ නිසා අපි ඉදිරි කාලයේදී අධිකරණයට මේ පිළිබඳව අපගේ කරුණු දැක්වීමක් කරනව. ඒ වගේම මේ විමර්ශනය කරන පොලිස් නිලධාරීන් ස්වාදීනව මේ කටයුතු කරයි කියල අපි බලාපොරොත්තු වෙනව. ඒ සම්බන්ධයෙන් අපි පොලිස් කොමිෂන් සභාවටත් කරුණු දක්වන්න බලාපොරොත්තු වෙනව. මොකද නිදහස් ආකාරයට අපිමයි මේව සටන් කරල ලබාගත්තෙ.
අද වෙනකොට වැඩකරන ජනතාවට අතිකාල දීමනා ගෙවාගන්න බැරි තත්ත්වයට, ජීවන වියදම අහස උසට ගොස් තිබෙන, මර්ධනය දොරකොඩටම ගමන් කරමින් තිබෙන බැරැක්ක රටක් බවට මේ රට පරිවර්ථනය වෙමින් තිබෙන අවස්ථාවක ඊට එරෙහිව නැගී සිටින්නට තිබෙන බලවේග මර්ධනය කිරීමට, බිය කිරීමට උත්සහ කරනව නම් ඒක මුලාවක්.
අපි බොහොම පැහැදිළිව කියනව, මේ දේශපාලන පළිගැනීම්වලට කිසිම ආකාරයකට බිය වෙන්නෙ, පැකිලෙන්නෙ නෑ. ඒ වගේම අධිකරණය තුළ තියෙන ප්‍රශ්න සඳහා අපි අධිකරණයේදී මුහුණ දෙනවා. දේශපාලන ප්‍රශ්න සඳහා අපි දේශපාලනමය වශයෙන් මුහුණ දෙනවා. සමාජමය වශයෙන් අපි ඊට මුහුණ දෙනවා. මේ සිදුවීම්වලින් අපි වඩාත් නිර්භය වෙලා, වඩාත් එඩිතර වෙලා, සමඟි සම්පන්න වෙලා අපි ඉදිරියේදී කටයුතු කරනවා. ඒ මේ රටේ පොදු ජනතාවගේ නිදහසත් ප්රජාතන්ත්රවාදයත් වෙනුවෙන් පෙනී ඉන්නවා"
චම්පිකගේ ප්‍රකාශය සහිත වීඩියෝවක් පහතින්
Comments
Post a Comment