ඊ නිව්ස් ප්‍රශ්න කිරීම ගෝඨාටත් දැනේ..! ආරක්ෂක අමාත්‍යාංශය ජනාධිපති යටතේ තබා ගත හැකිදැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසන්න යයි..! චන්ද්‍රප්‍රදීප් ලියයි

Syndicated from lankaenews,



(ලංකා ඊ නිව්ස් -2019.දෙසැ.13, ප.ව.7.20) ආරක්ෂක ඇමැතිවරයෙකු නැතිව අමාත්‍යාංශයක්..! ගෝඨා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩලා..! මැයෙන් ලංකා ඊ නිව්ස් පෙරේදා(11) පළ කළ පුවත ජනාධිපති ගෝඨාභයගේ ද අවධානයට ලක්ව ඇති අතර ඔහු ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට යයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍යාංශය තබාගත හැකිද කියා ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන්  අර්ථනිරූපනයක් ලබා ගැනීමට සූදානම් වන බව මාධ්‍ය වාර්තා කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසිය හැක්කේ ජනාධිපතිවරයාට සහ කතානායකවරයාට පමණි.
මීට ප්‍රථම ගෝඨාභය ජනාධිපති වීමට ප්‍රථම විපක්ෂයේ සාමාන්‍ය පුද්ගලයෙකු සේ සිටිය දී ඔහුගේ නඩු විමසීමට නොහැකි යයි කියා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරියක ඇතුළු විනිසුරුවරුන් සිව් දෙනෙකු නඩු කටයුතු වලින් ඉවත් වූ බවද සැලකිය යුතුය.
ජනාධිපතිවරයාගේ බලතල, කාර්ය සහ කර්තව්‍ය කවරේදැයි ව්‍යවස්ථාවේ 33 වැනි වගන්තියෙන් පැහැදිලි කර ඇති අතර 19 වෙනි සංශෝධයෙන් ඔහුට අමාත්‍යාංශ පවත්වාගෙන යාමට තිබූ හැකියාව ඉවත් කර ඇත. එසේ නමුත් නම් කරන ලද අමාත්‍යාංශ කිහිපයක් පමණක් ජනාධිපති යටතේ තබා ගත හැක්කේ සිරිසේන ජනාධිපතිට පමණක් බව 19 වන සංශෝධනයේ 51 වැනි අවසාන වගන්තියේ පැහැදිලිව සඳහන් වේ. ඒ අමාත්‍යාංශ කිහිපය නම් ආරක්ෂක අමාත්‍යාංශ, මහවැලි අමාත්‍යාංශය සහ පරිසර අමාත්‍යාංශය යන 3 යි. 19 වැනි සංශෝධනය අනුව සැබෑ ලෙසම විධායක බලතල ඉවත් කරන ලද ජනාධිපතිවරයා සිරිසේනගෙන් පසු පත්වන ජනාධිපතිවරයා බව නීතිය දන්නා සෑම දෙනාම කියා සිටියේ එබැවිනි. 
විධායක බලතල අඩු කිරීම සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාම පාර්ලිමේන්තුවට ගෙන ආ 19 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සභා සම්මත වුනේ මහින්ද රාජපක්ෂගේ ද සහාය ඇතිව, කතානායකතුමා හැර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 224 දෙනාගෙන් වැඩි ඡන්ද 214 ක් ලබා ගනිමිනි. විරුද්ධ වුනේ සරත් වීරසේකර පමණි. ‌පෙරටුගාමී මන්ත්‍රී ඡන්දය දීමෙන් වැළකී සිටියේ ය. බැසිල් රාජපක්ෂ රටේ හිටියේ නැත. ඉතිරි 7 දෙනා පාර්ලිමේන්තුවට එදා පැමිණ සිටියේ නැත. එහි අරුත නම් සිරිසේනගෙන් පසු එන ජනාධිපතිවරයාට අමාත්‍යාංශ තබා ගත නොහැකි යයි රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම අති බහුතරයකින් අනුමත කරන ලද්දක් වීමය. 

චන්ද්‍රප්‍රදීප්

Comments