මූ.ආනන්ද හාමුදුරුවන්ගේ ඩොලර් යෝජනාවට අපෙනුත් පැන්සයක්..! අඤ්ඤතරා පුත්ත ලියයි

Syndicated from lankaenews,

(ලංකා ඊ නිව්ස් -2019.දෙසැ.12, ප.ව.11.30) මේ අලුත් ආණ්ඩුවේ අලුත් පත්වීම් බෙදන සමයයි. මහා භාණ්ඩාගාරයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස අලුත් තනතුරක් තෙමේම ලබාගෙන ඇති නාරාහේන්පිට මු.ආනන්ද හාමුදුරුවන් මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා ඇත්තේ ආණ්ඩුව කරගෙන යාමට මුදල් නැති නිසා විදේශගත ලාංකිකයන් හැකිතාක් ඩොලර් ලංකාවට එවිය යුතු බවයි. 
ඒ මදිවාට දානපතියන් හැකිතාක් මුදල් රජයට පරිත්‍යාග කළ යුතු බවත් ජනතාව ටික කලක් පටි තදකරගෙන ඉවසා සිටිය යුතු බවත් උන්නාන්සේ වැඩි දුරටත් දෙසා වදාරා තිබේ. 
පසුගිය ආණ්ඩුව විසින් කරන ලද නාස්තිය හා දූෂනය හේතුවෙන් වත්මන් ආර්ථිකය මේ තරම් අසීරු තත්ත්වයට පත්ව ඇති බවද උන්නාන්සේ පෙන්වා දී තිබේ. 
බුද්ධාගම හැර අන් සියල්ල දන්නා වූත් බුද්ධාගම හැර අන් සියල්ල ගැන කතා කරන්නා වූත් අපේ මැදමූලන නිකායේ භික්ෂූන් වහන්සේලාගේ ධර්මෝපදේශ හිස් මුදුනේ තබා පිළිගත යුත්තේම ය. 

සාධු… සාධු… සාාාා ආාාා ධූ..ඌෟෟ…! 

කොහොමත් කොයි කාලෙත් හරවත් ප්‍රකාශ නිකුත් කරන අර්ථයක් ඇති වැඩ පමණක්ම කරන උන්නාන්සේගේ මේ කතාව අහක දමන්නට බැරිය. ඒ නිසා අපිත් ඉල්ලා සිටින්නේ විදේශගත ලාංකිකයන් සියළු දෙනාම මාටියා ගහන්නේ නැතිව තම තම හැකි පමණින් ඩොලර් පමණක් නොව පවුම්, ඩිනාර්, රියාල්, ලීරා, යෙන්, ඩොයිෂ් මාක්, යූරෝ ආදී මෙකී නොකී සෑම මුදලක්ම ලංකාවට එවීම ජාතික යුතුකමක් සහ වගකීමක් බව ය. 
රාජපක්ෂතුමාගේ රූපය පිටේ පච්චා කොටාගෙන කමිස නැතිව සීතල රටවල පාර දිගේ ඇවිදින ලංකාවේ දේශප්‍රේමීන්ට ඔ්වා සුළු වැඩ ය. එතකොට ඒ සල්ලි වලින් රට ගොඩ දාන්නට පුළුවන් ය. 
අවසරයි අපේ හාංදුරුවනේ.., ඔබ වහන්සේ ගෙනැවිත් ඇත්තේ පංකාදු යෝජනාවකි. ඔය යෝජනාව ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ යුත්තේ කෙසේදැයි අපේ පෘථග්ජන නුවණට වැටහෙන අන්දමට කියා සිටින්නට කැමැත්තෙමු. 
එනම් ධනපති දානපතියන්ටත්, සෙසු ගිහියන්ටත්, තම සල්ලි මුදල් වලින් කරන්නට නා නා ප්‍රකාර වැඩ ඇති නිසා උන්ගෙන් එහෙමට සල්ලියක් ඔය වැඩේට ලැබෙන එකක් නැත. එහෙත් සසරින් එතෙර වීම සඳහා පෙරුම්පුරන ඔබ වහන්සේලා වැනි පින්වත් උතුමන්ලාගේ බැංකු ගිණුම් වල එදා ආනන්ද හාමුදුරුවන් සමග ගිය බුදුරජාණන් වහන්සේ දුටු ‘සර්පයන්’ පොදි ගණන් ඇති බව අප දැන ගත්තේ සක්විති රණසිංහට විරුද්ධව පැමිණිලි කරන්නට මිරිහාන පොලිසියට වැඩම කොට සිටි සඟ සන්නිපාතය දුටු දවසේ ය. ඒ නිසා අන්න ඒවායින් ටික ටිකක් ඔබ වහන්සේලා වැනි උදවියගේ පින්වත් දෑතින්ම පරිත්‍යාග කරමින් වැඩේ පටන් ගත්තොත් කිරි ගහට ඇන්නා වැනිව වැඩේ සාර්ථක වෙනවා සිකුරුය. 
ඒ නිසා නාරාහේන්පිටින් පටන්ගෙන බෙල්ලන්විලෙන්, ගංගාරාමෙන්, නා ලොවින් ධාතු වැඩි කැළණියෙන්, කිරි වෙහෙරෙන්, ගැටඹෙන්, දඹුල්ලෙන්, මල්වත්තෙන්, අස්ගිරියෙන්, ඇලන්මැතිණියාරාමයෙන්, කිරිබත්ගොඩින්, නැදිමාලේ රහතන් වහන්සේගේ බංගලාවෙන් සහ ගෝතමී උයනේ සදහම් සෙවණෙන් විතරක් එකතු කළත් රටත් ගොඩ දමා ණයත් ගෙවා තවත් කීයක් හරි ඉතිරි කරගන්නට පුළුවන් වනවාට සැකයක් නැත. එවිට ජනතාවට පටි තද කර ගැනීමක් අවශ්‍ය වන්නේත් නැත.
මක්නිසාද යත්, ජනතාව පටි තද කර ගන්නට පටන් ගැනීම වැරදිලාවත් පන්සලට දෙන සලාක දානයෙන් පටන්ගතහොත් ඒක සුපිරිසිදු ථෙරවාද බුදු දහම නැසීමට එන තවත් බටහිර හෝ ඇන්ග්ලිකානු හෝ ඉස්ලාම් කුමන්ත්‍රණයක් වීමට ඉඩ ඇති හෙයිනි. 
ඒ වගත් මෙසේම,

අඤ්ඤතරා පුත්ත

Comments