මහාචාර්ය හූල් මහින්ද ‌දේශප්‍රියගේ ‌රෙදි ගලවයි..! ‌ගෝඨාගේ පුරවැසිභාවය යට ගැසූ හැටි, ඡන්ද ප්‍රතිඵලයට ජිල්මාට් දැමූ හැටි ‌හෙළිකරයි..! යශෝවිජය ලියයි

Syndicated from lankaenews,



(ලංකා ඊ නිව්ස් -2019.නොවැ.29, ප.ව.5.10) ලංකාවේ මිනිස්සු රෑ වැටුණු වලේ දවල් පමණක් නොව උදෑසන, සවස් යාමයේ සහ ගොම්මන් යාමයේද වැටෙන පිරිසකි. ඇත්තෙන්ම කිව්වොත් වැටෙන පිරිසක් නොව කැමැත්තෙන්ම වලට පනින පිරිසකි. මේ නිසා බහුතර ජනතාව රැවටීමට පහසුය. අවශ්‍යය වන්නේ අනුන්ව රැවටීම සඳහා අවශ්‍යය තමන්ගේ මොඩලය තේරුම් ගැනීම පමණි.
මෙම රැවටීමේ කලාවෙන් එක්තරා මට්ටමිකින් ඉතාම ඉහළට ගිය අලුත් චරිතයක් ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වන මහින්ද දේශප්‍රිය හැඳින්විය හැකිය. ඔහුගේ වාචාල කට, බොහෝ දෙනෙකු දකින්නේ අච්ඡන්න මනසක් (විවෘත මනසක්) ඇති චරිතයක් ලෙසය. ඒ නිසාම මොහු ඇවටිලිකාර රැවටිලිකරුවෙකු ලෙස තේරුම් ගැනීම වෙනුවට දේශප්‍රේමී වීරයෙකු ලෙස දැකීමට බොහෝ දෙනෙකු ප්‍රිය කරති. දේශප්‍රිය මේ රඟපාන නාට්‍යය ඉතාම අපිරිසිදු එකකි. එසේම, ඔහු විසින් තම බලය අනිසි ලෙස භාවිතා කිරීමේ වන්දිය සමස්ථ ජාතියටම ගෙවීමට සිදු වී තිබේ.
මේ සටහන තබන්නේ  රටේ ඉතිහාසය වෙනස් කළ මැතිවරණයකින් ජාතක කළ ආඥාදායකයෙකු යටතේ  ගෙවා දමන සුන්දර සහ ආකර්ශනීය ආරම්භක මාස කිහිපය තුළදීය. ඉන් පසුව උදාවෙන අඳුරු අසුන්දර කාලයට හුරු වීමට හිත හදාගත යුතුව ඇති බැවිනි.

දේශප්‍රිය සිතා මතා බලය විකෘති කරයි..  

මැතිවරණ කොමිසමේ ප්‍රධාන සාමාජිකයින් තිදෙනෙකු සිටිති. ඒ තිදෙනාටම සමාන බලතල තිබෙන නමුත්, සභාපති දේශප්‍රිය සිතාගෙන සිටින්නේ ඔහු තිදෙනාගේ ලොක්කා කියාය. එසේම එම ව්‍යාජ මතය මාධ්‍යය විසින් යළි යළිත් පුනරුච්චාරණය කොට බොරුව, සත්‍යයක් බවට පත්කොට තිබේ. රටේ නීතිය අනුව මැතිවරණ කොමිසමට  කොමසාරිස්වරයෙක් නැත. ඉන්නේ සමාන බලතල පවරා ඇති සාමාජිකයින් තිදෙනෙකි. එම තිදෙනා විසින් එක පුද්ගලයෙකු සභාපති ලෙස තෝරා ගෙන තිබුණද ඔහුට අනෙක් දෙදෙනාගේ අනුමැතිය නොමැතිව කිසිඳු තීරණයක්ගැනීමට නොහැකිය. නමුත් දේශප්‍රිය හිතා මතාම මෙය උල්ලඝනය කොට තිබේ.

දේශප්‍රියගේ ‌රෙදි ගැලවූ හූල්..

පැවති ජනාධිපතිවරණයේ තිරය පිටුපස සිදු වූ බොහෝ දෑ ගැන එම කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් පළමුවරට හෙළිකොට ඇත. ඒ ඊ‌යේ(28) දින ප්‍රසිද්ධ වූ ඩේලි මිරර් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක්  ලබා දීමෙනි. දැන  ගැනීමට ඇති තොරතුරු වලට අනුව අදාළ සම්මුඛ සාකච්ඡාව ප්‍රසිද්ධ වීම ගැන දේශප්‍රිය භීතියෙන් පසු වේ. එසේම ඔහු හූල්ට වක්‍රව තර්ජනය කොට ඇත. දේශප්‍රිය කලබල වී ඇත්තේ ඔහු මේ දක්වා ලෝකය හමුවේ මාවගෙන සිටි මහත්මා ගුණය දියාරූ වීමට නියමිත බැවිනි. ජීවන් හූල් තම පිට කොන්ද කෙලින් තබාගෙන ඉදිරිපත් කොට ඇති තොරතුරු ඉතාම වැදගත්ය. පීඩිත සමාජයක රැවටිලිකරුවන් විසින් දිගින් දිගටම සිදු කරනු ලබන වින්නැහිය  තේරුම් ගැනීම සඳහා මෙය ප්‍රමාණවත්ය.

මහාචාර්ය හූල් මෙසේ කියන්නේය;

"මම එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් ජීආර්ගේ (ගෝඨාබය රාජපක්ෂගේ) පුරවැසිභාවය පිළිබඳව විමසීමක් කළ විට ඔවුන්ට ප්‍රතිචාර දැක්විය හැක්කේ කොමිසමේ නිල ඉල්ලීමකට පමණක් බව මට දන්වනු ලැබුවා. මම එය කොමිෂන් සභාවට ඉදිරිපත් කළා. එහිදී, ඒ වන විට ජීආර් තවමත් අපේක්ෂකයෙකු නොවූ නිසා මගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වුණා."
"ඊට පසුව, ජී.ආර්., අලි සබ්රි සහ තවත් අයෙකු අරාධනාවකින් තොරව කොමිසමට පැමිණියා. එතකොට එහි සිටියේ සාමාජිකයින් තිදෙනා පමණයි. අපෙන් කිසිදු ඉල්ලීමක් නොමැතිව, ජී.ආර්. එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් ලබා දුන් බව කියමින් ලිපියක් ඉදිරිපත් කරමින් ඔහුගේ එක්සත් ජනපද පුරවැසිභාවය අත්හැර දමා ඇති බවත්, අවලංගු කරන ලද එක්සත් ජනපද විදේශ ගමන් බලපත්‍රය සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසි සහතිකය ආදීය  ඉදිරිපත් කළා. මගේ සෙසු සාමාජිකයන් දෙදෙනා අදාළ ලේඛන එහෙන් මෙහෙන් පරික්ෂා කළා. ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ගැටලුව මම දැක්කා වගේම මේ නිසා ඔහු පුරවැසිභාවයක් නොමැත්තෙකු බවට පත්වීමට ඉඩ තිබු බව මම පෙනුණා. එය  අභියාචනාධිකරණයෙන් විසඳා ගත යුතුව තිබු ප්‍රශ්ණයක් වුණා".
"ඉන්පසු බොහෝ දේ සිදුවුණා.  දේශප්‍රිය, ජීආර් කඳවුර සමග රහස් ගනුදෙනුවක් කරන බවත් එහිදී ඔහු තමන්ට තිබෙන එකම ගැටලුව  මා පමණක් බවත් එය ඔහුට පාලනය කළ හැකි බව පවසා ඇති බව මාගේ මාධ්‍ය මිතුරන් පැවසුවා. එමඟින් ඔහු මගේ ජීවිතය අනතුරේ හෙළා ඇති හෙයින් මම ඉතාම අපහසුතාවයට පත්වුණා. අබේසේකර මහතා ඉදිරියේ මම ඔහුගෙන් එය විමසූ නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කළා. මේ අතර අලි සබ්රි, දේශප්‍රිය සමඟ රහසිගතව පටිගත කරන ලද පෞද්ගලික සංවාදයක් හෙළිදරව් කළා. එහි මගේ නම සඳහන් වී තිබූ අතර, පුරවැසි ලියකියවිලි අපට ලබා දී ඇති බව දේශප්‍රිය සනාථ කළ බව පෙනේ. එය එසේ වූයේ නම්, එය වෙනත් හමුවීකදී සිදුවුණා විය හැකියි."
"පුරවැසිභාවය යනු නාමයෝජනා දිනයේදී මාගෙන් විරෝධයක් ලෙස මතු කිරීමට තරම් බැරෑරුම් කාරණයක් බව මම සිතුවා. නමුත් මගේ සගයන් දෙදෙනා සහ නීතිඥ මිතුරන් විසින් උපදෙස් දෙනු ලැබුවේ අනෙක් අය එම විරෝධය ගොනු කරනු ඇති බවයි. එබැවින් එම විරෝධතා ගොනු කරන විට ඒවා පරීක්ෂා කර බැලීමට මා එවැනි විරෝධතා ගොනු කිරීමෙන් ඉවත්විය යුතු බව දැනුම් දෙනු ලැබුවා. විරෝධතා ගොනු කිරීමට නියමිත බව එහිදී සහතික වුණා. කෙසේ වෙතත්, අවසානයේ කිසිදු විරෝධයක් මතු නොවුණා. ඔබ සඳහන් කළ දිවුරුම් ප්‍රකාශය යනු නාමයෝජනා දීමේදී අපේක්ෂකත්වයට කිසිදු බාධාවක් නොමැති බවට කරන තහවුරු කරන ලියවිල්ලක්. එය පුරවැසිභාවය පිළිබඳ කාරණය වසා දැමුවා".

'ලංකා මෘදුකාංග පදනම' ප්‍රතිඵලය විකෘති කළාද..?

එසේම මැතිවරණ කොමිසමේ ඇති තාක්ෂණික දුප්පත්කම ගැන මහාචාර්යය හූල් මෙසේ සඳහන් කරන්නේය.
"මෙවර අපේ ක්‍රමවේදය පරිගණක ගත කළා. එය 'ලංකා මෘදුකාංග පදනම' අප වෙනුවෙන් නොමිලේ සිදු කරනු ලැබුවා. ඔවුන්ට ස්තූති කරන අතරම, මට ඇසීමට ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. සැබෑ දත්ත සහිත පද්ධතිය අපට 2019.11.16 වන තෙක් දැකීමට සැලැස්වුවේ නෑ. 'ලංකා මෘදුකාංග පදනම' විසින්ම එම පද්ධතිය ක්‍රියාත්මක කළා. එය යාවත්කාලීන කළ පාලක මැදිරියේ නාඳුනන අය සිටියා." 

ගෝඨා හොර පාරෙන් වඩම්මවනු ලැබූ පුද්ගලයෙක්..

එසේ නම් සිදු වී ඇති දේ ගැන ඕනෑම අයෙකුට සිතා ගත හැකිය.  හොර පාරෙන් වඩම්මවනු ලැබූ පුද්ගලයෙකුට රටේ ඉරණම තීන්දු කිරීමට බලය ලබා දී ඇත.
මේ සියලුම දෑ සිදුවන්නේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වන මහින්ද දේශප්‍රියගේ මැදිහත්වීම යටතේය. විවිධ මාධ්‍යය සහ සමාජ ජාලා තුළ  "සරල රාජ්‍යය සේවකයා" ලෙස විවිධ ගරු නම්බු නාම ලබා දෙමින් සමස්ථ ජාතියම තම වගකීම් අනිසි ලෙස භාවිතා කොට මුලාවේ හෙළනු ලැබූ මෙම දේශප්‍රිය, රට යළිත් ගොඩ ඒමට නොහැකි අගාදයකට තල්ලු කොට ඇත. රත්නපුර, බදුල්ල සහ මොණරාගල  ආදී දිස්ත්‍රික්ක වන අධික වර්ෂාව නිසා ඡන්ද ප්‍රතිඵල ලැබීම ප්‍රමාද වන බව සඳහන් කළ මේ සභාපතිවරයා ඒවා ගණනය කිරීමේදී ද කුමන හෝ ජිල් මාට් වැඩක් දැමීමට ඔහු රෑට රෑට හොරෙන් ගනුදෙනු කළ පාර්ශවය සමග කටයුතු කළ බව තවත් කාලයකින් ඔප්පු වුවහොත් ඒ ගැනද පුදුමයක් නැත.
ඉතින් මේ සියල්ල අවසානයේ එක කරුණක් පැහැදිළිය. වෙනස්ම ස්වරූපයේ කපටි රැවටිලි කාරයෙකුට සමස්ථ ජාතියම අකුලේ හෙළීමට හැකි වී ඇති බවයි. එය සිරිසේන ජනාධිපතිවරයා විසින් සිදුකළ අගතියට වඩා වැඩි අගතියකි. ඉතින් දේශප්‍රිය මහත්තයෝ ඔයාගේ ඔය වාචාල කටේ ඇත්ත තේරුම් නොගෙන එය  වීරයෙකුගේ උදාන වාක්‍යය වහරණ  සුපුරිසිදු මුඛයක් බවට පත් කළ අපේ ජනමාධ්‍යවේදීන්ට සහ සමාජ ජාලා ක්‍රියාකාරීන්ට අපි පින් දෙමු. අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රැක්කාට අපි ඔබට ස්තූති කරමු.

යශෝවිජය

Comments