Syndicated from lankaenews,
ගෝඨාභය රාජපක්ෂට අපහාස වන ආකාරයේ පුවත් පළ කළා යැයි කියමින් ‘නිව්ස් හබ්’ නැමැති පුවත් වෙබ් අඩවියට අද උදෑසන මිරිහාන පොලිසිය කඩා වැදී තිබේ. ස්ථාන පරීක්ෂාව සඳහා අධිකරණයෙන් ලබා ගත් වරෙන්තුවක් පොලිසිය පෙන්වන ලද නමුත් එය 2018 දී නිකුත් කරන ලද්දක් වන අතර එය 2019 දෙසැම්බර් දක්වා වලංගුතාවයක් තිබී ඇත.
නිව්ස් හබ් හි නිලධාරියෙකු ලංකා ඊ නිව්ස් වෙත ප්‍රකාශ කළ අන්දමට සිවිල් ඇඳුමින් සැරසුනු දෙදෙනෙක් ඊයේ (25) දා මෝටර් සයිකලයකින් ගංගොඩවිල නිව්ස් හබ් ආයතනය පිහිටා ඇති ගොඩනැගිල්ල වෙත පැමිණ “නිව්ස් හබ් කරන බී ටීම් ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනය තිබෙන්නේ මෙහිදැයි” එහි සිටි අයෙකුගෙන් විමසා ඇත. ඒ පුද්ගලයා ඒ ගැන දන්නේ නැතැයි කී විට “ආ එහෙමද අපි නම් දන්නවා අපි ආයිත් එන්නම්කෝ” යයි තර්ජන ස්වරයකින් පවසා යන්නට ගොස් තිබේ.
ඉන්පසුව අද (26) උදෑසන 9.00 ට පමණ මිරිහාන පොලිසියේ 10 ක පමණ පිරිසකගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණ ඉහත කී ලෙස ගෝඨාභය රාජපක්ෂට අපහාස වන අන්දමේ පුවත් පළ කරන ලදැයි තමන්ට පැමිණිල්ලක් ලැබී ඇති බවත් ඒ සඳහා ස්ථාන පරීක්ෂාවක් අවශ්‍ය බවත් කියා අධිකරණයෙන් නිකුත් කරන ලද පැරණි වරෙන්තුව පෙන්වා තිබේ. පසුව සවස් වන තුරුම සියළුම පරිගණක පරීක්ෂා කරමින් ‘ගෝඨා’ යන වදන යොදමින් සෙවුම් මාර්ගයෙන් අපහාස අන්දමේ ලිපියක් සෙවූ නමුත් එවැන්නක් හමුවී නැත. ඉන්පසුව පොලිස් කණ්ඩායම පිටත්ව ගොස් තිබේ.
නිව්ස් හබ් වෙබ් අඩවිය ත්‍රෛභාෂාවෙන් පුවත් පළ කරන අතර වීඩියෝ නිෂ්පාදන ද බහුල ලෙස සිදුකරන ආයතනයකි. නිව්ස් හබ් මුහුණ දුන් මේ සිදුවීම පැහැදිලි ලෙසම මාධ්‍ය ආයතන බිය ගැන්වීමකි. ඔවුන් කෙතරම් බිය වී ඇත්ද යත් තම ආයතනයට එල්ල වූ මර්දනය ගැන පුවත පළ කිරීමට හෝ පියවර ගෙන නැත.
මෙවැනි සිදුවීම් රාජපක්ෂ යුගයේ දී ඉතා බහුල ලෙස සිදු වූ අතර මාධ්‍ය ආයතන රැසක් ගිනි තැබීමට ද ලක් විය. පසුව බලයට ආ යහපාලන යුගයේ දී කිසිදු මාධ්‍ය ආයතනයකට පොලිසිය කඩා පැනීමක් සිදුවූයේ නැත.
Comments
Post a Comment