Syndicated from lankaenews,
ජනාධිපතිවරණ පරාජයත් සමගම එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස කණ්ඩායම ඉතා දැඩි කළබලයකින් හදිසියකින් කටයුතු කරන ආකාරය දක්නට ලැබේ. එජාප නායක රනිල් වික්‍රමසිංහ වහාම පක්ෂ නායකත්වයෙන් හා විපක්ෂ නායකත්වයෙන් ඉවත් වී සජිත් ප්‍රේමදාස මහතාට එම වගකීම් පවරා දිය යුතු බව ඔවුහු අවධාරණය කරති. එය වහාම සිදු නොවන්නේ නම් එක්සත් ජාතික පක්ෂය හැර යන බවට තර්ජනය කරන පාර්ශව අතර හරීන් ප්‍රනාන්දු වැනි පුද්ගලයන් මෙන්ම කැපිටල් මහරාජා වැනි ජනමාධ්‍ය දේශපාලන පක්ෂද සිටිනු දැකිය හැකිය. ඔවුන්ගේ එම හදිසි කඩිනම් ක්‍රියා කළාපය හේතුවෙන් සිදුවන්නේ සජිත් ප්‍රේමදාස තව තවත් විනාශයේ මුවවිටට තල්ලු වීම බව එක්කෝ ඔවුන් නොදන්නවා වියයුතුය. නැත්නම් එය නොසලකා ඔහේ කරන්නන් වාලේ කරනවා විය යුතුය. එසේත් නැත්නම් සජිත් ප්‍රේමදාස විනාශ මුඛයට හිතාමතාම තල්ලු කිරීමේ අරමුණින් යුතුව එසේ ක්‍රියා කරනවා වියයුතුය. මන්ද කුමන ආකාරයකට සළකා බැලුවද සජිත් ප්‍රේමදාස වහාම මහත් හදිසියකින් යුතුව එජාප නායකත්වයට හා විපක්ෂ නායකත්වයට පත්කිරීමෙන් අත්වන කිසිදු සෙතක් නොමැති බැවිනි.
ජනාධිපතිවරණය ගෝඨාභය රාජපක්ෂ ජයගත්තේ සජිත් ප්‍රේමදාසට වඩා වැඩි ඡන්ද ලක්ෂ 14 කින් පමණ ලබා ගනිමිනි. එහිදී සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ලැබුණු ඡන්ද ලක්ෂ 55න් දල වශයෙන් ඡන්ද ලක්ෂ 14ක් පමණ දෙමළ ජාතික සන්ධානය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය ඇතුලු එජාප නොවන වෙනත් පක්ෂ වල ඡන්ද පදනම් බවට ගණන් බලා තිබේ. ඒ අනුව ඉදිරි මහ මැතිවරණයේදී සහ පළාත් සභා මැතිවරණ වලදී එජාපයට ලැබෙන ඡන්ද ප්‍රමාණය එහි පාක්ෂිකයන් උපරිම ලෙස ඡන්දය භාවිත කළද ලක්ෂ 40ක මට්ටමේ හෝ බොහෝවිට ඊටත් අඩු ස්ථානයක රැදෙනු ඇත. ඒ අනුව එජාපය ඉදිරියේ නුදුරේ තිබෙන ඡන්ද විමසීම් දෙකම නියත වශයෙන්ම එජාපය පරාජයට පත්වන ඒවාය. ඒ අනුව මේ මොහොතේ සජිත් ප්‍රේමදාස එජාප නායකත්වයට සහ විපක්ෂ නායකත්වයට පත්කරගැනීමෙන් සිදුවන්නේ කුමක්ද? ඉහත කී අනිවාර්ය පරාජයන් දෙකම සජිත් ප්‍රේමදාසගේ ගිණුමට බැරවීම පමණි.
එම පරාජයන්ගෙන් පසු ඔහු වටා ඒකරාශී වූයේ යැයි කියන නිද්‍රාශීලී එජාප පාක්ෂිකයන් පක්ෂය හැරගොස් සජිත් නිසා නැවත පක්ෂයට එකතු වූවන් (එවැනි අය සැබැවින්ම සිටී නම්) නියත වශයෙන්ම සජිත්වද හැර යනවා ඇත. එවිට එජාපය ඒ හරහා මුහුණ දෙන්නේ එය දේශපාලන පක්ෂයක් වශයෙන් ඉතිහාසයේ මුහුණදුන් දැවැන්තම පසුබෑමට වේ. එම පසුබෑමේ ඍණාත්මක බලපෑම 2025 ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයට මෙන්ම 2030ටද බොහෝ විට ඉතා තදින් බලපානු ඇත්තේය.
එබැවින් මෙහිදී එජාපය අනුගමනය කළ යුත්තේ ක්‍රිකට් ක්‍රීඩාවේදී භාවිත වන එක්තරා පිළිගත් උපක්‍රමයකි. එනම් තරඟයේ වේගය මදක් අඩු කර මන්දගාමී කරගැනීමය. යම් පන්දු ඕවරයක පළමු පන්දුවට සහ දෙවන පන්දුවට පිතිකරුවා විසින් පිළිවෙළින් හයේ පහර දෙකක් පිට පිටම එල්ල කළේ නම් පන්දු යවන්නා මෙන්ම පන්දු රකින කණ්ඩායමේ නායකයා අනුගමනය කරන පිළිවෙත් කිහිපයක් වෙයි. පන්දු යවන්නා ඊළග පන්දුව යැවීමට ආරම්භ කරන සීමාව වෙත ඇවිද යාමේ වේගය අඩුකරයි. ඒසේ තමන්ගේ සීමාව කරා සෙමෙන් ගමන් කරන පන්දු යවන්නා අසළට යන නායකයා ඔහු සමග කුමක් හෝ කතා කරමින් සීමාව දක්වා සෙමෙන් යන ගමන තවත් මන්දගාමී කරයි. අත්‍යවශ්‍ය වුවත් නැතත් පිටියේ පන්දු රකින්නන් සැකැස්ම මදක් වෙනස් කරයි. ඇතැම් විට තර්ඩ් මෑන් ක්‍රීඩකයා එක්ස්ට්‍රා කවර් වෙත කැදවා පන්දු යැවීමට සූදානම් වී නැවතත් එය නවත්වා පෙරකී පන්දු රකින්නාව නැවත තර්ඩ් මෑන් වෙතම යොමු කරයි. කුමක් කළද එහි අරමුණ තරගය මදක් මන්දගාමී කරගැනීමය. හිතන්නට තවත් අමතර තත්පරයක් ලබාගැනීමය. ඒ හරහා ඉතා දැඩි ආත්ම විශ්වාසයෙන් සිටින පිතිකරුවාගේ ගම්‍යතාවයේ (momentum) ඇති අඛණ්ඩ බව මඳක් බිද දැමීමය.
කලකට පෙර ඔස්ට්රේලියා කණ්ඩායමට එරෙහිව පැවති තරගයකදී සංගක්කාර මහේල ඇන්ජෙලෝ මැතිව්ස් ලසිත් මාලිංග සහ තිසර පෙරේරා එක්ව තරගයේ තීරණාත්මක අවසන් පන්දුව යැවීම විනාඩි එකහමාරක පමණ කාලයක් හිතාමතා පමා කළෝය. පන්දු යවමින් සිටි තිසර පෙරේරා අසළට ගිය ඔවුන් සිව්දෙනා තිසර සමග විවිධ දෑ සාකච්ඡා කිරීමට කාලය ගත කළෝය. එවිට පන්දුවට මුහුණ දීමට නියමිතව සිටි ග්ලේන් මැක්ස්වෙල් තමාගේ ගම්‍යතාවය (momentum) අඩු කිරීමට එම උපක්‍රමය ක්‍රියාත්මක කරන බව දැන මහත් කෝපයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට බැණ වැදුණේය. අවසානයේ තිසර පෙරේරා යැවූ පන්දුවට ජයග්‍රාහී පහරක් එල්ල කිරීමට ග්ලේන් මැක්ස්වෙල් අසමත් විය. ඔහු පමණක් නොව ඩේවිඩ් වෝනර් පවා තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට තරගය මන්දගාමී කිරීම පිළිබදව අප්‍රසාදය පලකරනු දක්නට ලැබුණි. නමුත් අවසාන ප්‍රතිඵලය වූයේ ජයග්‍රහණයයි.
මේ මොහොතේ එජාපය අනුගමනය කළ යුතු වඩාත් ප්‍රශස්තම උපක්‍රමය වන්නේ එයයි. එසේ නොමැතිව ලබන සතියේ නැවත ජනාධිපතිවරණයක් තිබෙනවා මෙන් මහා හදිසියකින් කඩි කුලප්පුවකින් යුතුව කටයුතු කිරීමෙන් සියල්ල නැවත යථා තත්වයට පත් කළ නොහැකි ලෙස ඉහිරී යනවා විනා අත්වන සෙතක් නැත. ඒ අනුව සජිත් ප්‍රේමදාස හෝ වෙනත් යම් කෙනෙකු එජාප නායකත්වයට සහ විපක්ෂ නායකත්වයට පත්කරගන්නේ නම් ඒ සඳහා උචිතම කාල වකවානුව වන්නේ 2023 වසරේ මැදභාගය මිස වර්තමානය නොවේ.
දේශපාලනයේ විචක්ෂණශීලීව ක්‍රියා කිරීමෙන් කළ නොහැකි දෑ නොමැති බවට ලෝක දේශපාලනය මෙන්ම ශ්‍රී ලංකා දේශපාලනයේ ඉතිහාසය අපට පාඩම් උගන්වා තිබේ. එසේ කළ නොහැකි යැයි කියන්නන්ට 1970-77 ද, 1999-2002ද, 2015-2019ද විශේෂයෙන්ම 2010-2015ද නැවත දේශපාලනිකව කියවා ගන්නා මෙන් ආරාධනා කරමි.
Comments
Post a Comment