නව රජය සුළු ජාතීන් පාගා දමන අන්තවාදී ආණ්ඩුකරණ පාරේ..! මෙය අනාගත ව්‍යසනයක ආරම්භයකි..! චන්ද්‍රප්‍රදීප් ලියයි

Syndicated from lankaenews,



ගෝඨාභයගේ ජයග්‍රහණයෙන් පසු දිව්රුම් දුන් දිනයේම  ඔහු තමා පත්වුයේ සිංහල බෞද්ධ ඡන්ද වලින් පමණක් යැයි කී ප්‍රකාශයත්,  රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාට ඊයේ (24) එල්ල කළ ප්‍රහාරයත්, දෙමළ බසින් ඇති මාර්ග නාම පුවරු කඩා බිඳ දැමීමත් රාජපක්ෂවාදී ගණින්නාන්සේලාගේ සුළු ජාති විරෝධී ප්‍රකාශත් නව කැබිනට්ටුවේ සංයුතියත්  ආදිය විසින් නව රජය සුළු ජාතීන් පාගා දමමින් ක්‍රියා කරන අන්තවාදී රජයක් බවට ලකුණු ප්‍රකාශ කර ඇත.
හිටපු ඇමැති බදියුදීන් ඇතුළු පිරිසක් ඊයේ (24) සවස  මුන්දලම ප්‍රදේශයේ ආධාරකරුවන් හමුවීමට යද්දී මුන්දලම කනකමුල් ප්‍රදේශයේ දී පිරිසක් මාර්ගය හරස් කර වාහන වලට පහර දී තිබිණ. පිරිසක් මාර්ගය හරස් කර වාහන නවතා ඇති අතර සැඟව සිටි පිරිසක් කඩා වැදී පොලු මුගුරු වලින් වාහන පහර දී ඇත. තවත් පිරිසක් ගල් ප්‍රහාර එල්ලකර තිබේ. බදියුදීන්ගේ වාහනයට ද ගල් ප්‍රහාර එල්ල වීමෙන් හානි වී ඇත. පහර කෑ පිරිස් පුත්තලම රෝහලට ඇතුළු කර ඇති නමුත් මේ දක්වා කිසිවෙකු අත් අඩංගුවට ගෙන නැත. 
ජයග්‍රහණයෙන් පසු කොළඹ හා දිවයිනේ නොයෙකුත් ප්‍රදේශ වල මාර්ග පුවරු වල දෙමළ බසින් සඳහන් කොටස් ගලවා හෝ පාට ගා විනාශ කර තිබිණ. මහින්ද රාජපක්ෂ පමණක් ඊට සම්බන්ධ අය අත් අඩංගුවට ගන්නා ලෙස කීවද කිසිවෙකු තවමත් අත්අඩංගුවට ගෙන නැත. ඒ වෙනුවට පොලිසියට බාර දුන්නේ නගරය සුද්ද පවිත්‍ර කිරීමය. ආරක්ෂාවට කියා කැඳවූ හමුදාවද සුළු ජාතීන්ට එරෙහි මෙකී මැර ක්‍රියා මැඩ පැවැත්වීමට  කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. 
ඒ අතර වාරයේ රාජපක්ෂවාදී ප්‍රකට ගණින්නාන්සේ කෙනෙක් වන මුරුත්තෙට්ටුවේ ආනන්ද පවසා සිටියේ ‘හකීම්ලාගේ එක එකාගේ පස්සේ නොගිහින් ආණ්ඩු කිරීමට අවශ්‍ය සිංහල බෞද්ධ පමණක් තුනෙන් දෙකක් සිටින ආණ්ඩුවක් හදා ගත යුතු’ බවයි.
ඊටම උඩ ගෙඩි දෙමින් ගෝඨාභයගේ නව කැබිනට්ටුවේ එකදු මුස්ලිම් ජාතික ඇමැතිවරයෙකු නැත. මෙය ලංකා ඉතිහාසයේ කෙදිනකවත් නොතිබූ තත්ත්වයකි. ප්‍රභාකරන් වසර 30 ක් යුද්ධ කෙළේ වී නමුත් පැවැති සියලුම ආණ්ඩු දෙමළ ජාතිකයන් කැබිනට්ටුවට නොගෙන සිටියේ නැත. නමුත් සහරාන්ගේ බෝම්බය පාදක කරගෙන ලංකාවේ සමස්ථ මුස්ලිම් ජනයා නොතකා හැරීමට ගෝඨාභය ක්‍රියා කර තිබේ. 
මේ සියල්ලෙන් ප්‍රදර්ශනය කරන්නේ නව රජය සුළු ජාතිය මැඩ පවත්වමින් අන්තවාදී ආණ්ඩුකරණයක් කරා යන බවය. එය ‌ගෝඨාභය කරළියට ‌ගෙනා ට්‍රම්ප්වාදී ඇමරිකාවේ අවශ්‍යතාවයක් ද විය හැකිය. ඒ නිසාමදෝ ‌ගෝඨාභය ජනාධිපති වී සතියක් ගත වී ඇති නමුත්  මහා බ්‍රිතාන්‍ය, කැනඩාව, ඔ්ස්ට්‍රේලියාව සහ යුරෝපයේ එකදු රටක් ‌හෝ ‌එනම් බහුවාර්ගික බහුආගමික සමාජය අගයන රටවල් කිසිවක් තවමත් ‌ගෝඨාභයට සුභ පැතුවේ නැත.  
අන්තවාදී ආණ්ඩුකරණ පාරේ ‌ගෝඨාභය ‌දිගටම ගමන්කරන්නේ නම්  නිසැකවම එය ලංකාවේ අනාගත ව්‍යසනයක ආරම්භයක් මිස සුගතියක ආරම්භයක් නොවනු ඇත.

චන්ද්‍රප්‍රදීප් 

Comments